Print this Article


මෙලොව සැප ලැබෙන පරලොව සැනසීම දෙන ජීවිතයේ අවස්ථා තුන

මෙලොව සැප ලැබෙන පරලොව සැනසීම දෙන ජීවිතයේ අවස්ථා තුන

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බෝධිරාජ නම් කුමාරයෙක් විසී ය. හේ බොහෝ ධනවත් ය.

ඔහුට විසීම පිණිස ඉතා අලංකාර වූ මහා ප්‍රාසාදයක් කරවී ය. ඒ ප්‍රාසාදය දුටු බෝධිරාජ කුමාරයා “මේ ප්‍රාසාදය කරවූ වඩු කාර්මිකයා මෙබඳු හෝ මීට වඩා අලංකාරවත් වූ හෝ ප්‍රාසාදයක් යම් කිසිවකු උදෙසා කළොත්, මගේ මේ පහයෙහි අගය අඩු වන්නේ ය. ඒ නිසා මෙය කළා වූ වඩු කාර්මිකයා ගේ අතපය සිඳලන්නට හෝ, මරන්නට හෝ වටනේ ය” යි සිතා ඒ බව තම යහළු සංජීවක තැනැත්තාට හෙළි කළේ ය.

එඇසූ සංජීවක “කුමාරයා අදහස් කරන්නා වූ දුෂ්ට ක්‍රියා සිදුකොට, මෙ තරම් දක්‍ෂ වඩුවා නැති කළොත් මුළු රටට ම මහා පාඩුවකි’ යි සිතා රහසින් වඩු කාර්මිකයා හමුවී කුමාරයා ගේ අදහස දැනුම් දී කෙසේ හෝ ස්වකීය ආරක්‍ෂාව සලසා ගන්නටැ” යි කීය.

දිනක් වඩු කාර්මිකයා ගේ නිවසට බෝධිරාජ කුමාරයාගොස් “කාර්මිකය, කෙසේද ප්‍රාසාදයේ වැඩ අවසන් දැ’ යි ප්‍රශ්න කෙළේ ය. “නැත ස්වාමීනී, ඉතා සියුම් වැඩ රැසෙක් ඇත. ඒ පිණිස ඉතා සැහැල්ලු දැව මෙතරම් අවශ්‍ය ය. ඒවා ලැබෙන්නට සැලැසුව මනාය”යි කීය.

කුමාරයා ඒ දැව ගෙන්වා දුණි. එවිට කාර්මිකයා බෝධිරාජ කුමාරයාට “දේවයන් වහන්ස, ඉතිරි වැඩ ඉතා විවේකීවැ කළ යුතු සියුම් වැඩයි. ඒ නිසා තමුන්නාන්සේ මා දන්වනතුරු එහි සැපත් නොවන්නැ” යි කියා සිටියේ ය. ඉන්පසු කාර්මිකයා දොරගුළු ලා ගෙනැ බෝධිරාජ කුමාරයා ගෙන්වා දුන් සැහැල්ලු දැවයෙන් අහස් යානයක් තනා අඹුදරුවන් හා වටිනා දේපළ ද රැගෙන හිමාලය බලා පියාසර කොටැ, එහි

විසුම් ගත්තේ ය. පසුවැ හේ ඒ පෙදෙසේ කාෂ්ට වාහන නමින් රජ වීය. බෝධිරාජ කුමරා ද සිය පහය ගෙවැදීමේ මංගලාවස්ථායෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඇරයුම් කොටැ, පහය පිරිබඩ ගන්වා සුවඳවත් කොට එළිපත සිට පාවාඩයක් අතුරා මට පුතෙක් හෝ දුවෙක් හෝ ලැබේ නම්, බුදුරජාණන් වහන්සේ මේ පාවාඩය පාගාගෙනැ වඩනා සේක්වා යි අදහස් කෙළේ ය. බුදුරජාණන් වහන්සේ පාවාඩය නොපාගා සිටුවනම සිටි සේක. බෝධිරාජ කුමාරයා ගේ අදහස ඉටු නොවන නිසා ය. ආනන්ද මාහිමියෝ පාවාඩය

හකුලා දමන්නටය යි නියම කළහ. පාවාඩය හකුළා දැමූ පසු පහය තුළට වැඩම කළ සේක. කුමාරයා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන්පැන් වළඳවා, වැඳ එකත් පස්වැ “ස්වාමීනී බුදුරජාණන් වහන්ස, මම තෙවරක් සරණගියා වූ උපාසකයෙක්මි. එසේ වූ මා අතුරණ ලද පාවාඩය නොපෑගූසේක්, කවර හෙයිදැ”යි ඇසීය.“කුමාරය, ඔබේ අදහස හරි නොයන නිසාය”යි බුදුහු පිළිතුරු දුන්හ.

ස්වාමීනී මට දරුවෙක් නො ලැබෙන්නේ කුමක් නිසාදැ යි ඇසූවිට

“කුමාරය, පෙරැ දවසැ නුඹ අඹුව හා එක්වැ මහා අපරාධයක් කළ හෙයිනැ”යි බුදුහු පැවසූහ.

එය දනු කැමැත්ත කුමරා පළ කෙළෙන් එය මෙසේ හෙළපෙහෙළි කළ සේක.

පෙර ජාතියෙක්හි දී ඔබත් බිරියත් නැවකින් යද්දී නැව මුහුදේ විනාශ විය. එහි ගිය අනෙක් අය මුහුදුබත් වුව ද, ඔබ දෙපොළ පුවරුවක ආධාරයෙන් ගොඩබිමට පීනා, කුරුලු දූපතකට ගොඩබැස එහි වෙසෙමින්, එහි වෙසෙන කුරුල්ලන් ගේ මසින් දැඩි කුසගින්න නිවා ගන්නට පටන්ගන්නා ලදී වරෙකැ කුරුළු බිත්තරත්, වරෙක කුරුලු පැටියනුත්, වරෙක සෙසු කුරුළු කිරිල්ලියනුත් අනුභව කළාහු ය. කිසිවිටෙක තමන් කළ මෙකී ප්‍රාණඝාත කර්මයෙහි පාපයක් දෙයක් සැලැකුවේ නැත. මේ අප කරන්නේ මහා අපරාධයකැ යි සැලැකීමත් නොකොළෝ ය. යම් විදියකින් ඔබ දෙපොළෙන් එක්කෙනෙකුවත් තමන් කළ එහි වරදවත් සැලැකුවා නම්, ඒ නිසාවත් දරුවකු ලබන්නට තිබිණ. දෙපොළට ම එබඳු සංවේග මාත්‍රයක්, හැඟීමක් පහළ නොවීම නිසා මෙසේ ඔය දෙපොළ වඳවූහ”යි වදාළ සේක. එය නිමිත්තෙන් ඉහත සඳහන් කරන ලද ගාථාව දේශනා කළ සේක. ඒ ගාථාවේ අදහස මෙසේ ය.

“තමන්ට තමන් ප්‍රිය යයි සලකනවා නම්, ඒ තමා හොඳීන් ආරක්‍ෂා කැරැගත යුතු ය. නුවණැති තැනැත්තෙක් නම් බාල, තරුණ මහලු යන තුන් වයසින් එක වයසකදීවත් තමා කුසලයෙන් ශක්ති සම්පන්න කර ගන්නේ ය.” යන ගාථාවේ කෙටි අදහස ය.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අදහස් කරන ලද්දේ තමන්ට තමන් ප්‍රිය කරනවා නම්, ආදරය කරනවා නම්, තුන් අවස්ථාවේ දී ම බැරි නම්, ඒ තුන් අවස්ථාවෙන් මොන අවස්ථාවක දී හෝ, තමන් අකුසලයෙන් මිදී කුසලයෙහි පිහිටිය යුතු බවයි.

හැම සත්ත්වයෝ ම “තමන්ට වැඩිය ප්‍රිය කෙනෙක් නැතැ”යි සලකති. යමෙක් “මම මට වඩා අසුවලාට ප්‍රිය කරමි, ආදරය කරමි”යි කියත් නම් එය බොරුවකි. එබඳු කිසිවෙක් නොමැත. විශේෂයෙන් පුහුදුන් සත්ත්වයා සිතන්නේ තමන්ගේ වැඩටික කොහොමහරි කර ගැනීමට ය. කාට කරදරයක්, හිරිහැරයක් ඇති වුවත්, ඒවා ගණන් නොගෙනැ, තමන්ගේ කාරිය පමණක් සම්පූර්ණ කැරැගැනුමට ම ක්‍රියා කිරීම ස්වභාවය යි. එය නො මැනැවි. බුදුරජාණන් වහන්සේ :-

“සබ්බාදිසා අනුපරිගම්ම චෙතසා - නේවජඣගා පියතර මත්තනාක්වචී
ඒවං පියො පුථු අත්තං පරේසං - තස්මා නහිංසෙ පරං අත්තකාමො”

මම හැම දෙසම සිතින් පිරික්සා කොටැ බැලීමි. එසේ සෝදිසි කොට බැලූ මට කිසිවකුට තමන්ට වඩා ප්‍රියතර කෙනෙක් සිටිතැ යි පෙනුණේ නැත. මෙලෙස හැම දෙනාට ම වෙන් වෙන්වැ, තමා ම තමන්ට පිය වන්නේ ය. ඒ නිසා (තමන්ට තමන් ම ප්‍රිය නිසා) තමන්ගේ කැමැත්ත අනුව තමන් වෙන සතුන්ට හිංසා, පීඩා, ඝාතන නොකට යුතු ය, යනු දේශනා කළ සේක. මෙයින් හැම දෙනා ම අන් කාටත් වඩා ප්‍රිය කරන්නේ තමන්ට බව පැහැදිලි කොට, යම් කෙනකු තමන්ට හිංසා පීඩා කරනවාට තමන් කැමැති නො වන්නාක් මෙන් ම, අනෙක් සත්ත්වයෝ ද අනුන්ගේ හිංසා, පීඩා, ඝාතන නො කැමැත්තාහයි දේශනා කළාක් මෙන් ම, ඒ හිංසා පීඩාදිය අනුන්ට නොකළ යුතු යැයි එළිපෙහෙළි කළ සේක.

මේ අනුව පැහැදිලි වන්නා වූ කරුණක් නම්, තමන්ගේ ජීවිතය පිළිබඳ අයිතිය, ආධිපත්‍යය ඒ ඒ සත්ත්වයන් සතුවැ පවත්නා බවයි. කිසිම සතකුගේ අයිතිය මොන ම බලවතකුටවත් නැත. මැසි මදුරු, කුරා කුහුඹු ආදී සතුන්ට පවා තම ජීවිතය පිළිබඳ අයිතිය ඔවුන් සතු ය. එබැවින් තම දිවි රැක ගැනීම ම ඒ සත්ත්වයන්ගේ එක ම බලාපොරොත්තුව ය. එහෙයින් කිසිම සතකුගේ ජීවිතයට බලහත්කාරකම් කිරීම මොන බලවතකුටවත් අයිතියක් නැත. යම් කෙනෙකු මොන සතකුට හෝ බලහත්කාරකම් කරනවා නම් එය ලොකු අයුක්තියකි. එසේ තිබිය දී බෝධිරාජ කුමාරයා සහ ඔහුගේ බිරිය එදා කළා වූ ප්‍රාණඝාත අකුසලය නිසා ඒ අයට දරුවන් නො ලැබුණු බව පැහැදිලි විය. එසේ ම ඒ අය තුන් වයසින් එක වයසක දී හෝ ඒ ගැන සැලකිලිමත් වූවා නම් ඔවුනට එක දරුවකුවත් ලබන්නට හැකියාව තිබුණු බව දේශනා කළ සේක.

අවස්ථා තුන

මෙයින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ ජීවිතයේ බාල, තරුණ, මහලු යන අවස්ථා තුනයි. ඇතැම්විට මහළු නොවී තරුණ තුරුණු වියේදී ද, ළදරු වියේදී ද මැරෙන්නට සිදුවන්නේ ය. පරමායුෂ නො ගෙවා ඇතැම් අය තරමක් කල් ජීවත්වී වයස අවුරුදු හැට හැත්තෑව වන විට මැරෙති. ඒ කොයි වයසේදී මැරුණත් කුඩා කාලයේ සිට ම වරදෙහි නොබැඳී යහපත් දෙයෙහි යෙදී ජීවත්විය යුතු ය. කුඩා කාලයෙහි ජීවිත හැඩගැස්සීම පිණිස පළමුකොට මවුපිය ගුරුවරා දී වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතු ය.

දරුවන් තනන මව්පියන් පළමුකොට තමන් ආදර්ශ සම්පන්න වී, දරුවෝ තැනිය යුත්තාහ. මවුපියන් ආදර්ශ සම්පන්න නොවී, කො තරම් ඒ මාපියනට තම දරුවන් යහපත් අය කිරීමට අවශ්‍යතාව ඇතත්, එය කිසිකලෙක සාර්ථක වන්නේ නැත. යම් ජීවිතයක් කුඩා කාලයෙහි හැඩගැසුණොත්, ඒ හැඩගැස්ම බොහෝ විට ජීවිතාවසානය දක්වා ම පවත්නේ ය. එසේ කුඩා අවදියේ දී හැඩ නො ගැසුණොත්,

තුරුණු වියේ දී මැනවින් කරුණු තේරුම් ගත හැකි නිසා, වරදින් මිදී නිවරදිවැ, හැසිරිය යුතු ය. කවරකුගේ ජීවිතයේ වුවත් තරුණ වයස හැම වයසකට ම වඩා වටිනා අවස්ථාව බව සැලැකුව මනා ය. ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව තරුණ අවස්ථාව බව හොඳීන් තේරුම් ගත මනා ය. තුරුණු වියේ දී නො මඟ ගියොත් මහලු වූවාට පසු, සැනැසෙන්නට පිළිවන් වන්නේ නැත. එවිට සුසුම් හෙළමින් මඤ්චපරායනවැ වෙසෙන්නට සිදුවන්නේ ය. ඒ නිසා තුරුණු වියේ දී හැඩගැසිය යුතු ය. යම් කෙනකුට තුරුණු වියේදීත් හැඩගැසෙන්නට නො පිළිවන්වී, මහලු වනතුරු වෙසෙන්නට ලැබුණොත්, ඒ මහලු වියේදීවත් පස්පව් ආදී පව්කම්වලින් වැළැකී සිල්වත්වැ, ගුණවත් ව, පින් දහම්හි නියැළිවැ, විසුව මනා ය. එසේ නොවුවහොත් ඔහු හෝ ඇය හෝ මිනිස් දිවියක් ලැබීමේ මහා වාසනාව නිරර්ථක ලෙස ගෙවා දැමීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. හරියට තමන් කෙරෙහි හිත මනාපයක් තිබේ නම්, ඒ අය තමන්ගේ රැකවරණය සලසාගත මනා ය. මෙහිලා රැකවරණයයි කියන්නේ සොර සතුරන්ට ළං විය නොහැකි ලෙස මහා ප්‍රාසාදයන්හි හෝ ගල්ගුහා ආදියෙහි හෝ සැඟවී ජීවත්වීම නොවැ, තමන්ගේ සිත, කය, වචන යන තිදොර මැනැවින් පාවිච්චි කිරීමයි.

නරක අදහස් නො සිතා, නරක වචන නො බැණෑ, නරක ක්‍රියා නොකොටැ, හොඳ අදහස් පහළ කරමින්, හොඳ වචන බෙණෙමින්, හොඳ ක්‍රියා කරමින් ජීවත්වීමයි. එසේ ජීවත්වන්නා වූ පින්වතා හෝ පින්වතිය එළිමහනේ විසුව ද, තමන්ගේ ආරක්‍ෂාව මැනැවින් සලසා ගෙන, සුරක්‍ෂිත ව වාසය කළා වන්නේ ය. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් තමන්ට හිතවත්, තමන්ට ආදරය තිබෙන අය නම් එසේ කළ යුතු යයි

දේශනා කළ සේක. එසේ නොවැ අකුසල් කරමින් වෙසෙන අයට මෙලොවැ සැනැසිල්ලක් නො ලැබෙනවා මෙන්ම, පරලොවැ අපාගත වන්නටත් සිදුවන්නේ ය. එබැවින් හැමෝම කුඩා කාලයේ සිට ම මනා ගතිගුණවලින් අලංකාරවත් වූ ජීවිත ගතකොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සුව ලැබීමට බලාපොරොත්තු වෙත්වා ! මේ ගාථාවේ අවසන්හි බෝධිරාජ කුමාරයා සෝවාන් විය.