Print this Article


සත්පුරුෂ දහමක රුව ගුණ මහිමය

සත්පුරුෂ දහමක රුව ගුණ මහිමය

කළගුණ දන්නා බව කෘතඥතාවය යි. එය වඩාත් පැහැදිලි වනුයේ “කතඤ්ක්‍දුතා නාම අප්පස්ස වාබහුස්ස වා යෙන කෙනචි කතස්ස උපකාරස්ස පුනප්පුනං අනුස්සරණභාවෙන ජානන්තා” යන අටුවා පාඨයෙනි. කෘතඥතාව නම් යම් කිසිවකු විසින් කරන ලද කුඩා වූ හෝ මහත් වූ හෝ උපකාරයක් වේ නම්, එය නැවත නැවත සිහිකරමින් හොඳීන් මතකයේ තබා ගැනීම බව පැහැදිලි කොට ඇත.

කළගුණ සැලකීම යැයි කියන්නේ මෙය මැ යි. ලෝකයෙහි පුද්ගලයන් දෙදෙනෙක් දුර්ලභ වෙතැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ දෙදෙනා නම්, උපකාරයක් ලැබුණේ නැති ව පළමුවෙන් උපකාර කරන තැනැත්තා සහ උපකාර ලබාගෙන එය නො සඟවා ප්‍රකට කරන තැනැත්තාත් යන දෙදෙනා ය.

සමහරුන් අනුනට බොහෝ සෙයින් ම උපකාර කරන්නේ තමන්ටත් යම් උපකාරයක් ලැබී තිබෙනවා නම් පමණි. නොඑසේ නම්, අනාගතයෙහිවත් මොහු මට උපකාර කරාවිය, මාගේ ආපදාවන්හි දී පිහිට වේවි ය යන අදහසිනි. එවන් අදහස් නොමැති ව හුදු පිරිසිදු සිතින් උපකාර කරන අය කවදත් මිනිස් සමාජයේ සොයා ගැනුමට අපහසු නිසා දුර්ලභ පුද්ගලයෙකැ යි වදාළහ.

දුර්ලභ වූ අනෙක් තැනැත්තා නම් උපකාර ලැබ, ඒවා මතකයේ තබාගෙන නිතර සිහි කරමින් තමන් විසින් ද “ඔහුට හැකි හැම යහපතක් ම කළමනාය”යි සිතා එසේ කරන පුද්ගලයා ය. මෙසේ කළගුණ සලකන්නා වූ තැනැත්තා සත්පුරුෂයා නමින් හඳුන්වනු ලබන්නේ ය. “කෙවලා එසා භික්ඛවෙ සප්පුරිස භූමි යදිදං කතඤ්ක්‍දුඟක්‍දුතා කතවෙදිතා” යනුවෙන් ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ මහණෙනි, යම් ඒ කළගුණ දන්නා බවෙක්, කළගුණ සැලකීමක් වේ නම්, සත්පුරුෂ භූමිය (සත්පුරුෂත්වය පිහිටා තිබෙන තැන) එය යැයි දේශනා කළ සේක. මෙයින් සත්පුරුෂත්වය පිහිටා තිබෙන්නේ කළ උපකාර මතකයේ තබා ගැනීම උඩ බව පැහැදිලි කළ සේක. තමන්ට අනුන්ගෙන් සිදු වී ඇති උපකාර මතක තබා නො ගෙන ඒවා අමතක කොට දමනවා නම්, ඔහු හා සමාන අසත්පුරුෂයෙක් වෙන නැත. ලොකු ම අසත්පුරුෂයා ඔහු ය. මේ අනුව සත්පුරුෂත්වය කළ උපකාර නිතර සිහිකරමින් අමතක වියැ නොදී රැකැ ගැනුම මත ම පිහිටා තිබෙන මහඟු ගුණරුවනක් බව සක්සුදක් සේ පැහැදිලි

වන්නේ ය. තමා හට කැරුණු හොඳ සමරමින්, තමන් ද තම හැකියාව පරිදි ඔහුට හොඳක් කිරීම ස්වකීය සත්පුරුෂත්වය ඔපවත් වීමට හේතු වන බව සිහිකළ මනා ය.

පරම සත්පුරුෂ වූ ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ කෘතෝපකාර සැලකීමේ උතුම්කම නොයෙක් තන්හි ප්‍රකාශ කොට වදාළ සේක්, පමණක් නොව, තමන් වහන්සේගේ ආදර්ශයෙන් ද එය සත්පුරුෂ ලෝකයට පුරුදු පුහුණු වන්නට මඟ එළි පෙහෙළි කොට තිබේ. උන්වහන්සේට සිත් පිත් නැති ගසෙකින් යම් උපකාරයක් ලැබුණත්, ඒ ගසට ගලටත් සැලකිලිමත්වීමට උන්වහන්සේ අමතක නොකළ සේක. උන්වහන්සේට ලොවුතුරා බුදු බව ලබා ගැනීම පිණිස බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණ සලසා දීමෙන් හා වජ්‍රාසනය වැඩ හිඳීමට උපකාර වීමෙන් ද තමන් වහන්සේට සැලසුණු පහසුව සිහිකොට, බුදු වූ ඉරියව්වෙන් ම සතියක් විමුක්ති සුඛපටිසංවේදී වැ, ගතකොට දෙවන සතියේ මුලදී එම ඉරියව්ව වෙනස් කොට, මුළු දෙවන සතිය ම බෝධීන් වහන්සේත් වජ්‍රාසනයත් දෙස ඇසි පිය නොසොල්වා (අනිමිසලෝචනයෙන්) බලා සිටි වග කුඩා දරුවන් පවා දන්නා ආදර්ශයකි. එසේම විශාලා මහනුවර වාසය කොට පිරිනිවන් පෑම සඳහා කුසිනාරාව බලා වැඩම කරන්නට පිටත් ව විශාලා මහනුවර දෙස ඇත් බැල්මෙන් බලා වදාළ සේක. (ඇත් බැල්මෙන් බැලීම නම් ඇතා ආපසු බලන ලෙස බැලීම ය. ඇතා ආපසු බලන්නේ මුළු ඇඟ ම හැරවීමෙනි. බුදුරජාණන් වහන්සේ ද ආපස්සට හැරී බැලූ සේක.) එසේ විශාලා මහ නුවර දෙස බලා වදාළේ තමන්ගේ ශාසනික සේවාවට මේ විශාලා මහනුවර මහත් සේ උපකාර වීම සැලකීම් වශයෙන් සිහි කිරීමෙනි.

උන්වහන්සේ බෝසත් කල්හි තමන්ට සිදු වූ සුලු උපකාරයට මහත් සේ ප්‍රත්‍යෝපකාර කළ සැටි දැක්වෙන පුවත් බොහෝ ය. පෙරැ අප මහ බෝසතාණන් වහන්සේ මහා අස්සාරෝහ නමින් බරණැස් නුවර රජ වී වසත් ම, පසල් දනව්වෙහි හටගත් නො සන්සුන්තාවයක් සංසිඳුවන්නට සහපිරිවරින් ගොස් යුදයෙන් පරාද වූහ. රජ පිරිස සී සී කඩ වී පැන ගියහ. එයින් එක පුරුෂයෙක් රජු සිය නිවසට කැඳවා ගෙන ගොස්, සිය අසුන්හි හිඳුවා භාර්‍ය්‍යා ව ලවා පා සෝදවා, තමන් එයට දිය වත්කොට කෑම්බීම් ආදියෙන් ද සංග්‍රහ කොට, දින කීපයක් ම තම නිවසෙහි රඳවා ගත්තේ ය. අශ්වයාටත් කළ මනා සාත්තු සප්පායම් කිරීමෙන් විඩා දුරු වූ කල්හි, රජ සිය නිවසට යන්නට පිටත් ව තමන් වාසය කරන්නේ බරණැස් නගරය මැද බව ත්, ඕනෑම මොහොතක ගොස් දකුණු වාසල දොරටු පාලකයාගෙන් මහා අශ්වාරෝහකයාගේ නිවස දැනගෙන

එහි පමුණුවා ගත හැකි බවත්, ඔබ නො වරදවා එහි පැමිණිය යුතු බවත්, කියා නික්ම ගියේ ය. රජ තමන්ට උපකාර කළ තැනැත්තා අද ඒවි, හෙට ඒවි යනුවෙන් මග බලා සිටි නමුත් නො පැමුණුන නිසා ඒ පෙදෙසේ අය බද්ද තුන් වාරයක් ම වැඩි කළේ ය. ඒ පෙදෙසේ වැසියෝ රජුට උපකාර කළ තැනත්තා හමු වී, රජු මෙහි සිට ගියාට පසු තෙවරක් ම අයබද්ද වැඩිකොට තිබෙන නිසා, එහි ගොස් අපට තිබෙන අපහසුතාව දැන්වුවොත් සහනයක් සැලසෙනු නො අනුමානය යි කීහ. එවිට ඔවුන් ලවා ප්‍රණීත ආහාරාදියත් තෑගිත් සූදානම් කරවාගෙන පෙරැ කී ලෙස රජ නිවසට ගිය කල්හි, රජ මහත් සේ සතුටු ව පිළිගෙන, තමන් දිය වත්කොට සිය මෙහෙසිය ලවා පා සෝදවා ඔහු ගෙන ගිය රසමුසු බොජුන් එක්ව අනුභව කොට, පහසුව සලසා දින කීපයක් ගියාට පසු සුවඳ පැනින් නහවා කසී සලු හඳවා, රාජාභරණ පළඳවා, ස්වකීය

රාජ්‍යයෙන් අඩක් දී දෙදෙනා එක්ව, රජකම කළාහු ය. ඔහුගේ අඹුදරුවෝ ද ගෙන්වා එහි ම වාසය කැරැවූහ. මේ වැඩ පිළිවෙළ රට වැසියනට රිසි නොවී ය. පිටිසර ගොවියකුට රජයෙන් අඩක් දී මහජනයා ලවා පමණක් නොව රජ කුමරුවන් ලවා ද ඔහුට වන්දවමින් මේ කරන්නේ කුමක්දැ යි විරුද්ධ වී රට වැසියෝ රජ කුමරුවන් පොළඹවා අශ්වාරෝහක රජුගෙන් මෙ කරුණ විමසන්නට සැලසූහ. රජකුමරු අවුත් එය විමැසූ විට “පුතුනි, මේ පිටිසර ගොවියා නිසා, මගේ ජීවිතය ආරක්‍ෂා විය. යුදයෙන් පැරැදි අවස්ථාවේ දී මොහු මට හමුනොවී නම් මට රජකම් කරන්නට තබා ජීවත් වන්නටවත් ලැබෙන්නේ නැත. මා රැකබලා ගත්තේ මොහු ය. ඒ අසරණව සිටිය දී මට කළ උපකාර සලකා මෙසේ කෙළෙමැ යි රජ ප්‍රකාශ කෙළේ ය.

මේ පුවතින් ඒ බෝසත් රජතුමා දෙතුන් දවසක් තමන්ට කළ සංග්‍රහ සිහිකොට රජයෙන් අඩක් වෙන් කොට දී, රජ තනතුරින් පවා සම්මාන කිරීම ගැන සිතත් ම බෝසත් කල්හි ද උන්වහන්සේ කොතරම් කෘතඥ වී දැයි තේරුම් ගත හැකි ය. එය එසේ මැ යි.

සරුකෙතක වපුළ බිජුවට සියදහස් ගුණයෙන් අස්වැන්න ලබා දෙන්නාක් මෙන්, සත්පුරුෂයා තමන් ලැබූ උපකාරයට වැඩි වූ සිය දහස් ගුණයෙන් ප්‍රත්‍යුපකාර කරන බව සත්පුරුෂ ගති විමැසීමෙන් පැහැදිලි වන්නේ ය. ශිලා ලේඛණය සේ නොනැසී රැක ගන්නේ ය. අසත්පුරුෂයකුට කොතරම් උපකාර කළත් එය,

යථා බීජං අග්ගිස්මිං - ඩය්හති න විරූහති එවං කතං අසප්පුරිසෙ - ඩය්හති න විරූහති

ප්‍රකාශිත පරිදි ගින්නෙහි ලූ බිජුවට මෙන් උපකාර ලැබීමත් සමඟ ම අමතක කොට දමන බව පැහැදිලි ය. එය දිය මතැ ඇඳී සිතුවමක් මෙන් වහා ම අමතක වන්නේ ය.

එ මතු නොව, අකෘතඥ අසත්පුරුෂයන් බොහොම යටහත් වැ ඉතා ම ලෙන්ගතු වැ බැගෑපත් ලෙස කතා කරමින් “අපට අසුවල් උදව්ව කිරීමට, පිහිට වීමට ඔබතුමා හැර වෙන කෙනෙක් නැත. ඒ නිසා මේ අවස්ථාවේ දී අපට පිහිට වුව මැනැව” යි යාඥා කොට සිය කාරිය කරවා ගත්තාට පසු , උපකාර නිසා ම සිය දීන තත්වය යටපත් වී ගොස් උසස් වූවාට පසු උදව් කළ අය අමතක කරනවා පමණක් නොව හැකි හැම විරුද්ධකමක්මත් කොට ඔවුන් නැත්තට ම නැති කරන්නට පවා පසුබට නො වන අය සොයා ගැනීම ද මේ කාලයේ එතරම් අපහසු නැත.

සත්පුරුෂ අය උපකාර කරන්නේ පිවිතුරු අදහසින් නිසා ත්, ලෝ තතු සලකා බැලීමට සමත් නිසා ත්, කපන්න කපන්න සුවඳ විහිදෙන සඳුන් ගස මෙන් ඉඩ ලද විටෙක නැවතත් ඔවුනට උපකාර ම කරති.

බුදුරජාණන් වහන්සේ සුලු උපකාරයට ත් ප්‍රත්‍යුපකාර කළ යුතු බව වදාළ සේක. බුද්ධ කාලයෙහි රාධ නම් මහලු බමුණෙක් පැවිදි වනු කැමැති ව ඒ බව භික්‍ෂූන් වහන්සේට දන්වා සිටියේ ය. භික්‍ෂූහු ඔහු පැවිදි කිරීමට මැළි වූහ. එපවත් දැනගත් බුදුරජාණන් වහන්සේ “මේ බමුණාගෙන් කිසියම් උපකාරයක් ලැබූ භික්‍ෂුවක්වත් නැද්දැ”යි විමසූ විට, සැරියුත් මහ රහතන් වහන්සේ “දවසක් මේ බමුණා මට පිණ්ඩපාතය සැන්දක් බෙදා තිබේ” යයි පැවසූ සේක. බුදුරජාණන් වහන්සේ “ශාරිපුත්‍රය, එසේ නම් එය ලොකු උපකාරයකි. පොඩි උපකාරයක් නොවේ.” ඒ උපකාරය සලකා මොහු පැවිදි කළ මනාය”යි වදාළ කල්හි සැරියුත් මාහිමියෝ ඔහු පැවිදි උපසපන් කළහ.

නොබෝ කලෙකින් හේ රහත් විය. සත්පුරුෂ උතුමන් මෙසේ කළගුණ සලකතත්, අසත්පුරුෂයන් උපකාරයන් කළවුනට අවැඩක් ම කිරීම ස්වභාවය යි. මහාකපි ජාතකයෙහි දී ගැඹුරු වලක වැටී සිටි මිනිසකු එයින් ගොඩ ගෙන සාත්තු කළ බෝසත් වඳුරු රාජයාගේ මස් කා බඩගිනි නිවා ගන්නට අදහස් කළ ද, එය නො සලකා මා මේ දුෂ්ට මිනිසා අත්හළොත් මොහු මහ වනයෙහි අතරමං වේය යි අනුකම්පා කොට ගසින් ගසට පනිමින් මිනිස් පියසට සෙන්දු කළ සැටි ත්, එසේ ඒ දුෂ්ට මිනිසාට මඟ පෙන්නීමට ගසින් ගසට පැන පැන යද්දීත් ගල් ගසා වඳුරු රජා බිම හෙළා ගෙන මස් කන්නට ම මහන්සි ගත් සැටි ත්, සලකත් ම ඒ මිනිසාට වඩා තිරිසන් වඳුරු රාජයාගේ ගුණ මහිමය වර්ණනා විෂයාතික්‍රාන්ත බව පෙනේ. සීලව නාගරාජ කාලයෙහි බෝසත් හස්ති රාජයාගේ දළ කපාගෙන ගොස් මස් සිඳ විකොට, නැවතත් අවුත් ඉතිරි දළ කෑලි මුලින් ම කපා ගැනීමට බෝසත් හස්ති රාජයා ද උදව් කොට සිඳගෙන යද්දි පොළෝ පළා නිරයවන් සැටි ත්, සලකත් ම උපකාර කළවුනට ද්‍රෝහ කිරීම ස්වකීය පිරිහීම ළඟාකරැ ගැනුම බව ද පැහැදිලි ය. එවන් අය උසුලන්නට මහ පොළොවවත් කැමැති නැත.

“කොපමණ ගුණ කළත් - දුදනෝ නොවෙති යහපත්

කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්”

යන්නෙන් එය වඩා ත් පැහැදිලි වන්නේ ය. යම් ගසක් යට සෙවණට සිටියොත් ඒ ගසේ කොළයක්වත් කඩා හෙලීම මිත්‍ර ද්‍රෝහී කමෙකැ යි,

යස්ස රුක්ඛස්ස ඡායාය - නිසීදෙය්‍ය සයෙය්‍යවා

න තස්ස පත්තං භිටන්‍දය්‍ය - මිත්තදුබ්භො හි පාපකො යන්නෙන් පැහැදිලි ය.

යස්සෙක රත්තිම්පි ඝරෙ වසෙය්‍ය - යත්ථන්නපානං පුරිසො ලභෙථ

න තස්ස පාපං මනසාපි චින්තයෙ - අදුබ්භපාණී දහතෙ මිත්තදුබ්භිං

යමෙක් යමකුගේ නිවසෙහි රැයක් පමණවත් වාසය කොට තිබේ නම්, යම් තැනක දී යම් තරමකින්වත් කෑමක් බීමක් ලැබී තිබේ නම්, ඔහුට වරදක් කරනවා තබා සිතින් වත් අහිතක් නොසිතන්නේ ය. එසේ අහිතක් කිරීමට සිතුවොත් අහිංසක තැනැත්තාගේ අහිංසක ගුණ බලයෙන් හිංසකයා වැනැසෙන්නේ ය යනු එහි අදහස යි.

මේ කාලයෙහි දරුවන් අතර ද අකෘතඥ දරුවෝ අධික ය. කෘතඥ දරුවෝ අඩු ය. සිය දිවි දෙවැනි කොට සලකා, තමන්ගේ පහසුව නො තකා, හැම පහසුවක් ම සලසා, මිහිරි හැම දැයින් ම සංග්‍රහ කොට, අනන්ත දුක් ගැහැට විඳීමින් දරුවන් හදන මව්පියන් කෙරෙහි උවටැන් කෙරුම්, ගරු බුහුමන් කෙරුම් තබා, ස්වකීය මාපියෝය යි හිතමිතුරන් දැනගත්තොත් මදි පුංචි කමෙකැ යි සිතන තරම් අකෘතඥ දරුවෝ ද නැත්තාහු නොවෙති. ඇතැම් දරුවන් මඳ සැලකිල්ලක් කරතත්, එය මා පිය උරුමය ලැබෙන තුරු පමණි. එය ලැබුණාට පසු මාපියන් නිවෙස්වලින් බැහැරලන්නට වුවත් පසුබට නොවෙති. සමහර දරුවන්ට කො පමණ දුන්නත් ඔවුහු සෑහීමට පත් නොවෙති.

කළගුණ නො දත්, නිතර අනුන්ගේ වැරදි (සිදුරු) සොයන අසත්පුරුෂයාට සක්විති රජකම දුන්නත් සෑහීමට පත් නොවන බව බුදුරජාණන් වහන්සේ දෙසූ සේක. කො තරම් දුන්නත් මදි ය කියන එවන් දරුවෝ ද නැත්තාහු නොවෙති.

සත්පුරුෂ දරුවෝ හැකි හැම අයුරකින් ම මාපියන් සනසති. මාපියන් සැනසීමට වඩා වැඩි වැඩක් තමන්ට නැතැ යි සලකා ක්‍රියා කරති. බුදුරජාණන් වහන්සේ බෝසත් කල්හි තිරිසන් ව උපන් ජාතීන්හි පවා මාපිය ගුණ සැලැකූ සැටි සාලිකේදාර ජාතකාදියෙන් උගත හැකි ය. සුදෝවුන් මහරජට බණ දෙසා රහත් මඟඵල ලැබෙන්නට සැලැසීම ත්, මාතුල දෙවිපුත් හට අබිදම් දෙසීම ත්, යනා දී පුවත් බුදු වැ මාපියනට කළගුණ සැලැකීම් ය. සැරියුත් මා හිමියෝ මිසදිටු මෑණියන් සමිදිටු කිරීමට බණ දෙසා, පිරිනිවනට වැඩි සැටි ත්, මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව වැඩම කිරීමට කල් බලමින් කාලය පැමිණෙන තුරු වේදිසගිරියෙහි විසූ තම මෑණියන් දක්නට ගොස්, බණ දෙසා සමිදිටු ගැන්වූ සැටි ත්, සලකත් ම රහතන් වහන්සේ පවා මාපියනට කළගුණ සැලැකීමේ ආදර්ශය දුන් සැටි පැහැදිලි වන කරුණු ය.

කළගුණ නො සලකන්නා වූ දරුවන් මෙන් ම, කළගුණ නො සලකන ශිෂ්‍යයන්ගෙන් ද මේ කාලයේ අඩු බවක් නොමැත. පෙරැ වචනයක් දෙකක් ගාථාවක් හමාරක් යම් ගුරුවරයකුගෙන් උගත් කෘතවේදී ශිෂ්‍යයෝ ගුරුනට උවටැන් කොට ගුරුසිත සනසාලූහ. ගුරුන් උදෙසා සියදිවි පිදුමට වුවත් සූදානම් වූහ. බුදුරජාණන් වහන්සේ,

යම්හා ධම්මං විජානෙය්‍ය - සම්මා සම්බුද්ධදෙසිතං
සක්කච්චං තං නමස්සෙය්‍ය - අග්ගිහුත්තං ව බ්‍රාහ්මණො

යී යමකුගෙන් ධර්මය උගත්තේ නම්, ඒ ගුරුවරයාට බමුණකු මහත් හරසරින් හෝමාග්නිය පුදන්නාක් මෙන්

සකසා නමස්කාරාදිය කටයුතු බව දේශනා කළ සේක. යම් ගුරුවරයකුගේ ශිෂ්‍යයකු වශයෙන් බුදු සසුන්හි පැවිදි වූ යමෙක් ඇත්නම්, ඔහු ඒ ගුරුවරයාට සහමුලින් ම ණය ගැති ය. ඔහුගේ ලොවුතුරා දියුණුවට වැඩි උපකාර නොකළත්, ඔහු පැවිදි කිරීම පමණක් වුවත් ගුරුවරයාගෙන් සැලසුණු මහෝපකාරයක් සේ ගණන් ගත යුතුයැ යි ද දක්ඛිණවිභංග සූත්‍ර පාලියෙන් හොඳීන් පැහැදිලි වෙයි. වත්මන්හි ගුරුවරුන් අතර වැඩි දෙනෙක් ම ගෝලයාගේ දියුණුව අපේක්‍ෂාවෙන් සුවපහසු සලසා දෙමින්, නිසිමඟ පෙන්වා දී, හැම උපකාරයක් ම කරමින්, ගෝලයන් හදති. එහෙත් ඒ උපකාර මතකයේ තබා ගෙන, ගුරුවරුන්ගේ සිත්සතන් සැනසීම තමා සතු ලොකු යුතුකමෙකැ’යි සිතන මතන අය පවා අද දුර්ලභය යි නො කමැත්තෙන් වුවත් පවසන්නට සිදු වී තිබේ. ඇතැම් ගෝලයන් ගුරුවරයාගේ මාර්ගයෙන් හැම දියුණුවක් ම සැලැසී රට තොට හොඳීන් දැන අඳුනා ගත්තාට පසුව මුළු අතීතය අමතක කොට, ගුරු සිත් රිදෙන පරිදි, ඇවැතුම් පැවතුම් බහුලව ක්‍රියා කරනු පහසුවෙන් දක්නට පිළිවන් ය. මේ කාලයේ මූසිලයාටත් වඩා දුෂ්ට ගෝලයන් නැතැ යි නො කිය හැකි තරම්, අකෘතඥ ගෝලයන්ගෙන් අඩුවක් නොමැත. පුහුදුන් බැවින් ගුරුවරයාගෙන් වුව කියැවුනු නුරුස්නා වචනයකින් හෝ සුළු දඬුවමකින් හෝ ගුරුවරයා කළ සියලු ඇප උපකාර අමතක කොට දමා, තමන් නුරුස්නා ඒ වචනය හෝ තමන් නුරුස්නා ඒ දඬුවම හෝ සිහි කරමින් අසත්පුරුෂ ලෙස හැසිරෙන ගෝලයෝ ද නැත්තාහු නොවෙති. ඒ අය හරය යටට හලා දමා රොඩු බොල් ටික පමණක් ඉතිරි කරගන්නා වූ පෙනේරය බඳු වෙති.

සත්පුරුෂ කෘතඥ පුද්ගලයා එසේ නොව, ගුරුවරුන්ගේ යම්බඳු දොසක් ඇතත්, එය අමතක කොට රොඩු බොල් ඉවතලන කුල්ල මෙන් හොඳ දේ පමණක් ගෙන මුළු දිවිය ගුරුන් උදෙසා කැප කොට ක්‍රියා කරති. සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ සේවාන් වීමට දම් දෙසූ අස්සජි මහ රහතන් වහන්සේ වැඩ සිටුනා දෙස සලකා ඒ දෙසට හිස දමා සැතැපුණු සැටි සලකත් ම, උන්වහන්සේ කොපමණ කෘතඥ උතුමෙක් දැ යි වැටැහේ. උන්වහන්සේ “යො මෙ ආචරියො ධීරො - අස්සජිනාමසාවකො තස්සාහං වාහසා

අජ්ජ ධම්ම සෙනාපතී අහුං” අස්සජි නම් වූ මහ නුවණැති සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙනක් වෙත් නම්, උන්වහන්සේ මාගේ ආචාර්‍යවරයන් වහන්සේ ය. උන්වහන්සේගේ උපකාරයෙන් මම අද ධම්ම සේනාපති වීමි යි කෘතඥ වූහ. ගුරුවරුන්ගේ සිත් ගෙන විසීම හැම යහපත ම සැලසෙන්නක් බව ත්, ගුරු ආශිර්වාදය තරම් උතුම් වූ ද, උසස් වූ ද ආශිර්වාදයක් තවත් නොමැති බව ත්, ගුරුවරුන්ට ද්‍රෝහිවී ගුරු සිත් වේදනා සහගත කිරීම තරම් පිරිහෙන්නට හේතු වන්නා වූ අන් කිසිවක් නැති බව ත් නොයෙක් පුවත් අනුව පැහැදිලි ය. මොන කෙනෙක් හෝ තමන්ට සිදු වූ උපකාර අමතක කෙරෙත් නම්, ඔහු අසත්පුරුෂයෙකි. සත්පුරුෂයා කළ උපකාර සිහි කරන්නෙකි. තමන් ලැබූ උපකාරයන්ටත් වඩා වැඩි උපකාර කොට ප්‍රත්‍යුපකාර කරන්නෙකි. එවන් කළගුණ දන්නා වූ සත්පුරුෂයා බුද්ධාදී උතුමන්ගේ පැසැසුමට භාජනය වන්නේ ය.