සම්බුදු දහමේ ධනාත්මක චින්තනය
විනී නානායක්කාර
නූතන අපරදිග පඬුවන් ස්වකීය සොයා ගැනීම් ලෙසට මහ ඉහළින් වර්ණනා කරන ඇතැම් කළමනාකරණ
මූලධර්ම අදින් දෙදහස් හයසිය වසරකට පෙර අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට
වදාළා.
එමෙන්ම උචිත අවස්ථාවල දී උන්වහන්සේ විසින් අතිසාර්ථකව ක්‍රියාත්මක කරන ලද
සිද්ධාන්තයන් බව විදහා දැක්වෙන බුද්ධ කාලයේදී වූ සිදුවීම් කිහිපයක් විග්‍රහයට ලක්
කිරීම මෙම ලිපියේ අරමුණයි.
කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් හෝ විසින් අනාගත අභිවෘද්ධිය අපේක්ෂාවෙන් ඉටු කිරීමට
යෝජිත යම් කාර්යයක් ඇරඹීමට මත්තෙන් සිය ශක්තීන්, දුර්වලතා, වාසිදායක අවස්ථා හා
තර්ජනයන් පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීම යෝග්‍ය බව බටහිර කළමනාකරණ විද්‍යාව පිළිගනී.
මෙම පරීක්ෂණය එදා බුදු හිමියන් විසින් ද සිදුකරන ලද්දක් බව අප බොහෝ දෙනා හොඳින්
දන්නා චුල්ලපන්ථක කතා පුවත විමසා බැලීමේදී පෙනී යයි.
මහා පන්ථක මහරහතන් වහන්සේ වෙතින් පැවිදි බව ලැබූ, ගිහි කල උන්වහන්සේගේ බාල සොහොයුරා
වූ චුල්ලපන්ථක හිමියන් සතර පද ගාථාවක් කටපාඩම් කර ගැනීමට හාර මාසයක් තිස්සේ
අපොහොසත් වීම හේතු කොටගෙන මහණකමින් ඉවත්ව ගිහි ජීවිතයක් අරඹන ලෙසට සිය වැඩිමහල්
සොහොයුරාගෙන් ලද උපදෙසින් එම හිමියන් බලවත් ශෝකයට පත් විය. මෙම අවස්ථාවේ දී
තථාගතයන් වහන්සේ ඒ හිමියන්ගේ පූර්ව ජන්මයන් පරික්ෂා කොට මතක ශක්තිය නොපිහිටීමේ
දුර්වලතාවට හේතුව,ද පෙර භවයන්හි දී දියුණු කරගත් ශක්තීන් කවරේද යන්න ද හඳුනාගත්
සේක.
පෙර ආත්ම භවයක දී ශිෂ්‍යනමක් ධර්ම කරුණු වනපොත් කර ගැනීමට අසමත් වූ විටෙක එම
ශිෂ්‍යයා සමච්චලයකට හා අපහාසයට ලක් කිරීමේ අකුසල කර්මයේ විපාක පල දීම මෙයට හේතු වී
ඇති බව දක්නා ලදි. එසේම වෙනත් භවයක දී රජ කෙනකු ව සිට දහවල් පිරිසිදු සළු පිළි හැඳ
රජ මාලිගයෙන් පිටත්ව වීථි සංචාරයේ නිරත වීමේදී දහඩිය හා දූවිලි වැදී පොරවා සිටි
සළුව කිළිටි වූ අයුරු දැකීමෙන් කලකිරීමට ලක් වීම ඔහු සතු සත්‍යය අවබෝධ කර ගැනීමේ
ශක්තිය බව ද බුදුරදුන් දුටහ.
ඒ අනුව උන්වහන්සේ චුල්ල පන්ථක භික්ෂුව අතට පිරිසුදු රෙදි කඩක් ලබා දී “රජෝහරණං” යන
පාඨය කියවමින් එය පිරිමදින ලෙසට දන්වා පෙර භවයේ දී වර්ධනය කරන ලද ශක්තියට ගැළපෙන
කමටහනක් ලබා දුන් සේක. සුළු වේලාවක් තුළ දී එම රෙදිකඩ අපවිත්‍ර වන අයුරු දුටු
චුල්ලපන්ථක හිමියන් උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගත් බව අප අසා ඇත. මේ අනුව
වර්තමානයේ කළමනාකරණ විද්‍යාඥයන් හඳුන්වන පරීක්ෂණය ඔවුන්ගේ නව සොයා ගැනීමක් නොව එදා
බුදු හිමියන් විසින් සාර්ථක ව ක්‍රියාත්මක කරන ලද්දක් බව පැහැදිලි ය.
තවත් මෙවැනිම සිද්ධියක් ස්වර්ණාකාර හිමියන් පිළිබඳ කතා පුවතින් අනාවරණය වේ.
ස්වර්ණාභරණ තැනීමේ නිරත ව සිටි තරුණයෙක් සැරියුත් මහ රහතන් වහන්සේ හමුවේ මහණ වෙයි.
සෑහෙන කාලයක් මහණ දම් පිරුවද කිසිම ප්‍රගතියක් අත් නොවූයෙන් සැරියුත් හිමියෝ එම
හිමිනම බුදුරජාණන් වහන්සේ වෙතට කැඳවාගෙන යයි. මෙම අවස්ථාවේදී ද තථාගතයන් වහන්සේ
විසින් පූර්ව ජන්මයන් නිරීක්ෂණය කරන ලදුව එකී හිමිනම පෙර ආත්ම ගණනාවකදීම රන්කරුවකු
වූ බව ද රනින් නිම වූ නෙළුම් මලක් ඔප දැමීමේ දී දෑතේ දහඩිය එකතු වී එය දුර්වර්ණ වන
අයුරු දැක අනිත්‍ය මෙනෙහි කිරීමට පුරුදු වීම ඔහු සතු ශක්තියක් බව ද හඳුනා ගෙන ඇත.
බුදු හිමියන් එම භික්ෂුව අතට නෙළුම් මලක් ලබා දී ඒ දෙස බලා සිටින ලෙස දැන් වූ අතර
සවස් භාගය වන විට මල දුර්වර්ණ වීම, පර වීම ආදී විපරිනාම දැකීමෙන් මාර්ගඵල උදාකර ගත්
බව සඳහන් වේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම වශයෙන් දැක්වෙන සතර සම්‍යක් ප්‍රධන් වීර්යයේ
නූපන් කුසල් ඇති කර ගැනීම හා උපන් කුසල් වැඩි දියුණූු කර ගැනීම, කළමනාකරණ
විද්‍යාඥයන් විසින් “ශක්තීන් හා උචිත අවස්ථා” ලෙසට ද, නූපන් අකුසල් ඇති නොවීමට
කටයුතු කිරීම හා උපන් අකුසල් මැඬපැවැත්වීම “දුර්වලකම් හා අවදානම්” ලෙසට ද පිළිගෙන
ඇතැයි සිතිය හැකිය.
මෑතක සිට බටහිර කළමනාකරණවේදීහු හෙවත් ධනාත්මක චින්තනය නමින් හඳුන්වන සංකල්පයට අනුව
දියුණුව අපේක්ෂා කරන පුද්ගලයන් සර්ව අශුභවාදී නොවිය යුතු යැයි දක්වති. එම කරුණු
බුදුරජාණන් වහන්සේ වඩා විස්තරාත්මක සිඟාලෝවාද සූත්‍රයෙහි අලසයකු සතු දෝෂයක් ලෙසට
දක්වා ඇත.
1.
ඉතා ශීත යැයි වැඩ නොකරයි. (අති සීතන්ති කම්මං න කරෝති)
2.
ඉතා උෂ්ණ යැයි වැඩ නොකරයි. (අති උණ්හන්ති කම්මං න කරෝති)
3.
ඉතා සවස් යැයි වැඩ නොකරයි. (අති සායන්ති කම්මං න කරෝති)
4.
ඉතා උදෑසන යැයි වැඩ නොකරයි. (අති පතෝති කම්මං න කරෝති
5.
ඉතා බඩගිනි යැයි වැඩ නොකරයි. (අති ජතෝස්මිති කම්මං න කරෝති)
6.
ඉතා බඩ පිරී යැයි වැඩ නො කර යි. (අති ධාතෝසිමිති කම්මං න කරෝති)
එමෙන්ම යමෙක් දැන් ඉතා සීතල ය. දැන් උණුසුම් ය. ආදී වූ ඍණ ආකල්පයන්ගෙන් බැහැර ව එම
බාධක තණපතක් පමණටවත් නොසලකා උත්සාහයෙන් වැඩ කරයි නම්, ඒ තැනැත්තා දියුණුවට පත්වන්නේ
යැයි (යෝච සීතඤ්ච උණහඤ්ච තීණ හීය්‍යොන මඤ්ඤති කරං පුරිස කිච්චානි සෝ සුබා න විහායනී
ති) වදාළ සේක. උන්වහන්සේගේ විග්‍රහය නූතන ධනාත්මක චින්තනයට වඩා පරිපූර්ණ සංකල්පයකි. |