Print this Article


නිතර සිහි කළ යුතු ධර්මතා

නිතර සිහි කළ යුතු ධර්මතා

“අසුභසඤ්ඤා මරණසඤ්ඤා ආහාරේ පටිකූල සඤ්ඤා සබ්බලෝකේ අනහිරතසඤ්ඤා අනිච්ච සඤ්ඤා පභානසඤ්ඤා විරාගසඤ්ඤාති”

බුදු දහමට අනුව ‘සඤ්ඤා’ යනු සිතට නැඟෙන හැඟීම්වලට හෝ අරමුණුවලට කියන නමකි. ශ්‍රද්ධාකාමී ප්‍රඥාවන්ත බෞද්ධ ජනතාව විසින් සංසාරය සහ නිර්වාණය අතර පවතින වෙනස නිවැරැදිව වටහා ගනු පිණිස නිතර මෙනෙහි කළයුතු අරමුණුූ නවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. අප සාමාන්‍යයෙන් ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පංච ඉන්ද්‍රියන් මඟින් ලෝකය දෙස බලන අතර එහිදී රූප, ශබ්ද හා ස්පර්ෂයන් ‘සුබ’ ලෙස ගැනීම පෘථග්ජන ස්වභාවයයි. එහෙත් එම වැරදි හැඟීම් (සඤ්ඤා) නිසා සිත තුළ තෘෂ්ණාව, උපාදානය සහ වෛරය වැනි අකුසලයන් හටගනී. ජීවිතයේ යථාර්ථය දැකීමට නම් පහත දැක්වෙන නව වැදෑරුම් සඤ්ඤාවන් වර්ධනය කරගත යුතුය.

අප බොහෝ විට රූප දැක ඒවායේ අලංකාරයට වශී වෙමු. නමුත් සැබෑ තත්වය නම් ශරීරය අශුභ බවයි. මෙම අශුභ ස්වභාවය මෙනෙහි කිරීම තුළින් රූප කෙරෙහි ඇතිවන තෘෂ්ණාව හා බැඳීම පාලනය කරගත හැකිය.

මරණය යනු කාටත් පොදු ධර්මතාවකි. අප බොහෝ විට අවමංගල්‍ය උත්සවවලට සහභාගී වී නිෂ්ඵල කතා කරමින් කාලය ගත කළ ද, මෘත දේහයක් දෙස බලා ජීවිතයේ අනියත බවත් මරණානුස්සතියත් වඩන්නට හැකි නම් ජීවිතයේ යථා තත්වය පසක් වේ. සිතේ පවතින තෘෂ්ණාව හා උපාදාන දුරු කර සිත පහන් කර ගැනීමට මරණ සඤ්ඤාව උපකාරී වේ.

මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ‘කබලිංකාරාහාරය’ හෙවත් අප අනුභව කරන කැබලි කළ ආහාර පිළිබඳවයි. ආහාරයේ පවතින පිළිකුල් සහගත බව මෙනෙහි කිරීම තුළින් ආහාර පිළිබඳ තණ්හාව පාලනය වේ. මීට අමතරව ස්පර්ශය (ඵස්සාහාර) සහ මනසේ සිතිවිලි (මනෝසංචේතනාහාර) ආහාර ලෙස ගන්නා පිරිස් ද ලෝකයේ සිටිති.

ලෝකය යනු සදාකාලික දෙයක් නොව කැඩෙන බිඳෙන සුළු දෙයකි. කාම, රූප හෝ අරූප යන සියලු ලෝකයන් කෙරෙහි නොඇලී, නොගැටී වාසය කිරීම උතුම් ප්‍රතිපදාවකි. සසර ගමන නිමා කිරීමට නම් කිසිදු ලෝකයක ඉපදීමට ඇති ආශාව දුරු කළ යුතුය.

අප අවට ඇති සජීවී හා අජීවී ලෝකයේ සියලු දේ අනිත්‍ය බව මෙනෙහි කිරීම මෙයින් අදහස් වේ. බුදුරජාණන් වහන්සේ විශාඛා මහෝපාසිකාවට දේශනා කළේ “පි‍්‍රය වස්තු සියයක් තිබේ නම් දුක් සියයක් තිබේ.” යනුවෙනි.

යමක් අනිත්‍ය නම් එය දුක් සහිතය (යදනිච්චං තං දුක්ඛං) අනිත්‍යය නිසාම හටගන්නා මෙම දුක්ඛ ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුය.

දුක් සහිත වූත් අනිත්‍ය වූත් දේ තුළ ‘මම’ හෝ ‘මගේ’ කියා ගත හැකි සාරයක් නැත. මහා රාහුලෝවාද සූත්‍රයේ දී බුදු හිමියන් දේශනා කළේ “මේ මගේ නොවෙයි, මේ මම නොවෙයි, මේ මගේ ආත්මය නොවෙයි” (නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තා) යනුවෙන් දකිමින් අනාත්ම සඤ්ඤාව වර්ධනය කරගත යුතු බවයි.

සිතට බලපාන ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් සහ පංච නීවරණාදී කෙලෙස් ධර්මයන් ප්‍රහාණය (දුරු) කිරීම පිළිබඳව මෙනෙහි කිරීමයි. කෙලෙස් දුරු කිරීම පිළිබඳ නිරන්තර අවධානය මෙයට අයත් වේ.

රාගයෙන් දුරු වී විරාගී චරණයකට යොමු වීම මෙනෙහි කිරීම මෙයින් අදහස් වේ. රාගය හා සමාන ගින්නක් ලොව තවත් නැති අතර, විරාග සඤ්ඤාව මඟින් සිතට සැබෑ සැනසීම උදා වේ.

ප්‍රහාණය කිරීමේ ක්‍රමවේදය

කෙලෙස් දුරු කළ හැකි ක්‍රම තුනක් දහමේ උගන්වයි, තදංග ප්‍රහාණය - යම් කුසලයක් කරන මොහොතේ ඒ හා සම්බන්ධ අකුසලයක් යටපත් කිරීමයි. (උදා - දානයක් දෙන විට ලෝභය යටපත් වීම) මෙය තාවකාලික තත්වයකි.

වික්ඛම්භණ ප්‍රහාණය - පංච ඉන්ද්‍රියයන් පිනවීමෙන් වැළකී භාවනාමය මෙනෙහි කිරීම් තුළින් කෙලෙස් යටපත් කිරීමයි.

සමුච්ඡේද ප්‍රහාණය - අරහත් මාර්ගඵල ලැබීමත් සමඟ සියලු කෙලෙස් සහමුලින් ම වඳ කර සසර දුකින් නිදහස්වීමයි. මෙය සරත් කාලයේ වලාකුළු නැති අහසේ හිරු බැබළෙන්නාක් වැනි පිවිතුරු තත්වයකි.

ගෘහස්ථ ජීවිතය සහ ධර්මය

බුදු දහම ගෘහස්ථ ජීවිතයට හෝ අඹුසැමි ප්‍රේමයට විරුද්ධ නැත. ගෘහජීවිතය ධෛර්යයෙන් හා වීර්යයෙන් දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් රැසක් සූත්‍ර ධර්මවල අඩංගු වේ. එහෙත්, සංසාර දුක ගැන වැටහීමක් ඇතිව නිවන් මඟ ප්‍රාර්ථනා කරන ආර්ය ශ්‍රාවකයන් විසින් මෙම සඤ්ඤා ධර්මයන් නිතර ප්‍රගුණ කළ යුතු ය.

යම් කලෙක සියලු සංස්කාරයන් අනිත්‍ය බව ප්‍රඥාවෙන් දකින්නේ නම් (සබ්බේ සංඛාරා අනිච්චාති....) එවිට ඔහු දුක කෙරෙහි කලකිරීමට පත්වේ. එයම නිවන් මාවතට පිවිසීමේ දොරටුවයි. එබැවින් ප්‍රඥාවන්ත පින්වතුන් විසින් අංගුත්තර නිකායේ සඤ්ඤා සූත්‍රය යළි යළිත් අධ්‍යයනය කරමින් ජීවිතයේ යථාර්ථය වටහා ගැනීමට උත්සාහ කළ යුතුය. මෙම උතුම් ධර්ම කරුණු මෙනෙහි කිරීමෙන් ලැබෙන කුසල් බලයෙන් සැමට නිර්වාණාවබෝධය පිණිස මඟ පෑදේවා.