Print this Article


චින්තාමය ප්‍රඥාවට උපකාරී වන ධර්ම සාකච්ඡාව

චින්තාමය ප්‍රඥාවට උපකාරී වන ධර්ම සාකච්ඡාව

බුද්ධ ධර්මය ප්‍රඥාගෝචර ධර්මයකි. නුවණින් විමසා බලා පිළිගත යුතු ධර්මයෙකි. නුවණින් විමසා නොබලා පිළිගන්නැ යි ඉගැන්වීමක් බුදු දහමේ නොමැත.

යමෙකුට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද? නැද්ද? කියා සැකයක් විමතියක් පහළ වුවොත් ඒ සැකය විමතිය ඇති ව සිටින්නේ නැති ව කළ යුත්තේ කුමක්දැ යි ප්‍රකාශ කොට වදාළ බුදුරජාණන් වහන්සේ

“වීමංසකෙන භික්ඛවේ, භික්ඛුනා පරස්ස වේතොපරියායං අජානන්තේන තථාගතෙ සමන්නෙසනා කාතබ්බා ‘සම්මා සම්බුද්ධො වා නො වා’ ඉති විඤ්ඤාණාය”

පරසිත් නො දන්නා වූ, විමසනු කැමැති භික්‍ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ (සර්‍වඥ) ද නැද්දැ යි සැකයක් පහළ වුවොත් ඒ සැකය ඇතිව වසන්නේ නැතිව තථාගතයන් වහන්සේ කෙරෙහි සොයා බැලිය යුතුය යැයි වීමංසක සූත්‍රය තුළින් එළිපෙහෙළි කළ සේක.

කාලාම සූත්‍ර දේශනාවෙන්ද ඒ බව පැවසූ සේක. අන්ධ විශ්වාසයක් බුදු දහමේ නොමැත. මැනැවින් කරුණු තේරුම් කරගෙන බුදු දහම කෙරෙහි පහන් සිත් ඇතිකර ගත් අන්‍යාගමිකයන්ට (උපාලි ගෘහපති වැනි අයට) පවා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාළේ

“අනුවිච්චකාරං ඛො, ගහපති, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොති”

ගෘහපතිය, හොඳීන් කරුණු වටහාගෙන පහදින්න. කරුණු තේරුම් ගෙන පැහැදීම ඔබ වැනි ප්‍රසිද්ධ අයට සුදුසු ය යනුවෙනි.

බුද්ධ කාලයෙහි “දම්සභා” නමින් ධර්ම සාකච්ඡාවන් සඳහා රැස්වන සිරිතක් තිබිණ. භික්‍ෂුන් වහන්සේ එහි රැස්වී ධර්මය පිළිබඳ ව ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවන්නා වූ ප්‍රධාන කටයුත්ත විය. ඔය කී දම් සභාවට බුදුරජාණන් වහන්සේ ද වැඩම කොට, තමන් වහන්සේ එහි සැපත් වනවාට කලින් කවර කතාවකින් යුතුව හුන්නාහුදැ යි භික්‍ෂුන්ගෙන් විචාරා, ඊට අවශ්‍ය ප්‍රකාශ කරන සේක. බුද්ධ ධර්මය නො සඟවා විවෘත කළ තරමට බබළන්නේ යැයි බුදුරජාණන් වහන්සේ ම, මෙසේ වදාළ සේක.

“තථාගතප්පවෙදිතො ධම්මවිනයො භික්ඛවේ විවටො විරෝචති නො පටිච්ඡන්නො” මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම විවෘත වූ (එළිපෙහෙළි වූ) තරමට බබළන බවත්, සඟවා තබන ලද දහම එසේ නො බබළන බවත් දේශනා කළ සේක. ධර්ම සාකච්ඡා කිරීම ධර්මය තව තවත් බැබළීමට හේතුවන නිසා ත්, ධර්ම සාකච්ඡා කිරීම මෙලෝ පරලෝ වැඩදායක වන්නා වූ පින්කමක් ද වේ. ධර්ම සාකච්ඡා කිරීමේ උතුම් සිරිත පුරාණ ගිහි - පැවිදි දෙපිරිස අතර ම තිබිණි. මිනිසුන් රැස් වී කතා බස් කරන කල්හි බොහෝ විට කතා කරන්නේ මෙලොව පරලොව දෙක ම පිරිහෙන තිරස්චීන කතා ගණයට අයත් වන්නා වූ දේ ය. අප බුදුරජාණන් වහන්සේගේ අදහස වූ කලී මෙසේ ය. “සන්නිපතිතානං වො, භික්ඛවෙ, ද්වයං කරණීයං: ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො”

මහණෙනි, රැස් වූ ඔබ හැම විසින් කළ යුතු දෙයක් තිබේ. කතා කරනවානම් දැහැමි කතාවක් කිරීම හා එසේ දැහැමි කතාවක් නොකළ හැකි නම් ආර්යයන් වහන්සේ මෙන් නිශ්ශබ්දතාවයෙන් විසීම යි. ධර්ම සාකච්ඡා පැවැත්වීමේදී ඒ සාකච්ඡාවන්ට භාජන වන්නා වූ කරුණු තේරුම් බේරුම් කරන්නට ධර්මය පමණක් නොව තවත් බාහිර දේ ගැනත් අවබෝධයක් තිබිය යුතු ය. ඒ ඒ අවස්ථානුරූපව කරුණු පැහැදිලි කිරීම පිණිස සිතන්නට සිදුවීම නිසා චින්තාමය ප්‍රඥාව ද තමන් තුළ දියුණු පමුණු වන්නේ ය.

ධර්ම සාකච්ඡා පවත්වන විට පැන නඟින්නා වූ නොයෙක් ප්‍රශ්න කෙරෙහි ඉවසීමෙන් කලබල නොවී විසඳීය යුතු ය. මේ කාලයෙහි ඉතා විරලව පැවැත්වෙන්නා වූ ධර්ම සාකච්ඡාවන් නැවතත් මුළු රටේ ම පවත්වමින් මිනිස් සමාජයෙන් ගිලිහෙමින් පවත්නා මනුෂ්‍ය ධර්ම නැවත ඉස්මතු කිරීම පිණිස දහම්ගරුක, දහමට ළැදි ඔබ කවුරුත් උනන්දු වෙත්වා යි මෙත් සිතින් සිහිපත් කරමි.