පිරිසුදු සිතින් දෙන දානයේ විපාක ප්‍රමාණ කරන්නට බැහැ
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අද මේ කියන්න යන කථාව ලංකාවේ සිදුවුණු එකක් නම් නෙවෙයි. අතීතයේ දඹදිව සිදුවූ
සිදුවීමක්.
අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ටික කලක් ඉක්ම ගොස් තිබුණා.
මේ කාලයේ පැළලුප්නුවර කියන නුවරට කිට්ටුව පිටිසර ගමක් තිබිලා තියෙනවා. ඒ ගමේ ඉදඳලා
තියෙනවා දුප්පත් මිනිසෙක්. කුලීවැඩ කරලා දුකසේ හොයා ගත්ත මුදල්වලින් තමයි මොහු
ජීවත් වෙලා තියෙන්නේ. ඒ අතරේ ටික ටික මුදල් ඉතුරු කරලා තමන් කැමැති ම විදිහේ වගේම
ඉතාම වටිනා, ලස්සන සුවපහසු කමිසයකුයි, සරමකුයි මිල දී ගත්තා.
දිනක් තමන් ජීවත් වන ගමේ සිට අනෙක් ගමක ජීවත් වන තමන්ගේ ඥාතීන්, යහළුවන් බලා ඒ
ගම්පළාතේ තියෙන දෙයක් ගෙන එන්න ඕන කියා හිතා ඒ ගමට යන්න පිටත් වුණා. මේ ගමන යන්න
තිබුණේ කැලෑ පාරකින්. ඒ පාරෙන් යන එක ගොඩාක් ම පහසුයි. වැඩි වේලාවක් යන්නෙත් නෑ.
හැබැයි ගැටලුවකට තියෙන්නේ ඒ පාර වැටිලා තියෙන කැලෑවේ හොරු ඉන්නවා. ඒ අය මංපහරනවා.
ඉතින් ඒ නිසා කවුරුත් ඒ පාරේ වැඩිය යන්න කැමැති නෑ. යනවා නම් යන්නේ පිරිසක් එක්ක
වගේම ආයුධ සන්නද්ධව තමයි.
ඉතින් මේ දුප්පත් තරුණයා කල්පනා කරලා, කල්පනා කරලා තීරණය කළා යනකොට කිසිම භාණ්ඩයක්
අරගෙන යන්නේ නෑ. හිස් අතින් ම යනවා එතකොට මගෙන් ගන්න දෙයක් ඒ අයට නෑ කියලා හිතලා
ගමන් පහසුව සලකා බලලා හොරු ඉන්න කැලෑ පාරෙන් ම යන්න පටන් ගත්තා. ඔහොම යන කොට හොරු
රංචුවකට අහුවුණා.
මේ දුප්පතා ළඟ මොකුත් නෑ කියලා යන්න ඉඩ දුන්නා. ඔහොම තවදුරටත් ඉස්සරහට යන කොට තව
තැනක හැංගිලා සිටි හොරෙක් මේ දුප්පත් මිනිහා පස්සෙන් දුවගෙන එන්න පටන් ගත්තා. මේ
දුප්පත් මනුෂ්‍යා ඒ හොරා එන දිහා බල බලා දැන් ඉස්සරහට වේගයෙන් වේගයෙන් අඩිය තිය
තියා යන්න පටන් ගත්තා. හැබැයි දිවුවේ නෑ. මේ යන අතරේ මෙහෙම කල්පනා කරනවා. මම ගොඩාක්
වෙහෙස මහන්සිවෙලා ගත්ත මගේ මේ ඇඳුම ගලවා ගන්න තමයි ඔය එන්නේ. අනිත් හැම තැනක ම
හිටපු හොරු මගේ ළඟ මොකුත් නැති නිසා යන්න දුන්නා. ඒත් මේ හොරා එන්නේ නම් මගේ මේ
ඇඳුම ගලවා ගන්නම තමයි. දැන් කරන්න තියෙන්නේ පණ බේරාගෙන දුවන එක. එහෙම නැත්නම් නතර
වෙලා හොරා එක්ක පොරබඳලා පරාජය කරලා ජයගෙන යන එක. ඉතින් ඔය දෙකම කරන්න මට
පුළුවන්කමක් ඇත්තේ නෑ. හොරාට වගේ වේගයෙන් මට දුවන්නත් බෑ. සොරාට වගේ මට
ශක්තිසම්පන්නව ගහගන්නත් පොරබදන්නත් පුළුවන්කමක් ඇත්තේ නෑ. හොරා ඇවිත් දැන් මට ගහලා
මගේ මේ ඇඳුම් ටික බලහත්කාරයෙන් ගන්නවා. එහෙම වුණාම මගේ සිතටත් වේදනයි. තැළුම් නිසා
ශරීරයටත් වේදනයි. සමහර විට මේ හොරා මගේ මේ ඇඳුම් අරගෙන මාව මරලා දාලා යන්නත්
පුළුවන්. දැන් ඉතින් හොඳම තීරණය ගන්න ඕන. කොහොමටත් හොරාට මේ ඇඳුම් අයිති වෙන එකනේ.
මා දුකට වේදනාවට පත් වෙලා ඒවා හොරා ලබා ගන්නවාට වඩා හොඳයි හිතින් ම අත්හැර දාන එක.
ඒ නිසා මම මේ ඇඳුම් දෙක හොරාට දන් දෙනවා‘යි හිතා ගමන නතර කරලා ඇඳුම් ගලවා ඒවා අතේ
තියාගෙන යන්න පටන් ගත්තා.
හොරා දුවගෙන ඇවිත් ඒ මනුෂ්‍යාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ඒ මොහොතේ අර දුප්පත්
මනුෂ්‍යයා හොරා දිහාවට හැරිලා කියනවා ‘මට වදහිංසා කරන්න එපා. මගේ මේ ඇඳුම් ඔබට
දෙන්නම්‘යි කියලා කිවුවා. ඒ එක්ක ම මෙහෙම හිතුවා
‘මාගේ වස්ත්‍ර දානය මතු උපදින හැම සසරක ම සියලු සැප සම්පත් විඳීමට ඒකාන්තයෙන් ම
හේතු වේවා‘යි ප්‍රාර්ථනාව ඇති කරගෙන දාන චේතනාව උපදවාගෙන හොරා අතට ගෞරවාන්විතව ඒවා
දන් දුන්නා.
සොරා ඒ ටික ගෙන කැලෑ අතුරු පාරකින් යන්න ගියා. මේ දුප්පත් මනුෂ්‍යාට දැන් මේ පාරේ
යන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. විටින් විට මහ පිරිස් එනවා. ඒ නිසා කොළ අතු ඇඳගෙන
කැලෑව මැදින් යන්න පටන් ගත්තා. මෙහෙම නො දන්නා මහකැලෑවේ ඇවිදගෙන යනකොට සර්පයෙක් පයට
පෑගිලා දෂ්ට කිරීමකින් එතැන ම මරණයට පත් වුණා. ඒ මොහොතේ ඒ දුප්පත් මනුෂ්‍යාගේ හිත
සතුටින් පිරී ඉතිරී තිබුණා "මං අද මහ පින්කමක් කර ගත්තා" කියලා. ඒ චේතනාවත්, කරගත්ත
පිනත් හේතු කොටගෙන ඒ මොහොතෙහි ම ලක්ෂයක් දෙවඟනන් පිරිවරන ලද, නොයෙක් වර්ණ ඇති ධජ
පතාකවලින් හා රන්, රිදී, තරු පෙළින් විසිතුරු වූ, සිය දහස් ගණන් නෘත්‍යවාද්‍ය
ශිල්පීන්ගෙන් පිරුණු, කෑම බීමවලින් අඩුවක් නැති කල්ප වෘක්ෂය පහළ වුණා මෙන් සියලු
සම්පත් පිරුණු යොදුන් තුනක් විශාල දිව්‍ය මාලිගාවක දිව්‍ය පුත්‍රයෙක් විදිහට උපත
ලැබුවා’ යි ලස්සන කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
බලන්න පින්වත්නි, කිසිම සීලයක් හෝ කිසිම ගුණයක් නැති, සොරකුට දාන චේතනාව ඇති කරගෙන
වස්ත්‍ර දෙකක් දන් දීලා ලබපු සැප සම්පත්වල තරම. සීලයක් ගුණයක් නැති මෙවැනි අයට දන්
දීලා මෙතරම් දිව්‍ය විපාක ලැබෙනවා නම් සිල්වත් ගුණවත් අයට දාන චේතනාවෙන් දන් පූජා
කර ගන්නා විට එයින් ලැබෙන පුණ්‍ය විපාකය මෙ පමණයි කියා නිම කරන්න පුළුවන්කමක් ඇත්තේ
නෑ‘යි කියන කාරණය අපට මේ කථා පුවතින් කියලා දෙනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන දන් දීමේ උතුම් ගුණාංගය පූරණය කර ගෙන දන්
දෙන්න. එතැන දී මම මේ දෙන්නේ සොරකුට ය. මම මේ දෙන්නේ තිරිසනකුට ය, මම මේ දෙන්නේ
හතුරකුට ය කියලා හිතනවාට වඩා තමන්ගේ සිතේ පිරිසුදු චේතනාව ඇති කරගෙන දන් දෙන්න.
එයින් ලැබෙන පුණ්‍ය විපාක කිසිවකුටත් ප්‍රමාණය කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. |