Print this Article


මනුලොව වීර්ය වැඩෙන සුන්දර ගුණදම්

මනුලොව වීර්ය වැඩෙන සුන්දර ගුණදම්

වර්තමාන ලෝකයේ ගමන් මඟ වැටී ඇත්තේ භයානක දිශාවකට බව කාටත් නොරහසකි. පිරිහීමේ දොරටු හාත්පසින් ම විවෘත කර ගනිමින් ඛේදනීය අවසානයක් කරා ලෝකය පිය නඟන බව නම් ඉතා පැහැදිලි ය.

දිනෙන් දින ස්වාභාවික විපත්, පරිසර හානි, යුද කෝලාහල මෙන්ම වංචා දූෂණ, මත්ද්‍රව්‍ය භාවිතය ආදියේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සිදුරු වූ නැව සියලු දෙනාගේ ඇස් ඉදිරිපිට දී ම විකල්පයක් නොමැතිව ම ගිලී යන්නේ යම් සේ ද, වර්තමාන ලෝකය විනාශය කරා යන්නේ ඊට සාරවත් ස්ථිරසර විසඳුමක් තිබිය දී ම වීම ශෝචනීය දෙයකි.

සම්බුදු බණ පද නො ඇසෙන ලෝකය

වර්තමානයේ මිනිසා මිනිසාගේ ම විනාශයට මඟ පාදයි. ඔවුහු කෲරත්වය, ප්‍රචණ්ඩත්වය, වස විස, අහිතකර විකිරණශීලි ද්‍රව්‍යයන් ආදි විනාශකාරි දෑ ඉවක් බවක් නොමැතිව මිහිමත වැගුරුවෝ ය.

‘මෙලොව පරලොව ජයගත් උතුමන් තම විශිෂ්ට වූ ප්‍රඥාවෙන් අවබෝධ කොට ධර්මය දේශනා කරනවා’ ය යන ලෞකික සම්මා දිට්ඨියෙන් තොර අසරණ ලෝකයා සාරධර්ම, ගුණධර්ම පසෙකලා භෞතිකවාදයට ම තම ලබ්ධිය ලඝු කළෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බටහිර ලෝකයේ ගුරුවරයා පන්ති කාමරයට පැමිණෙන විට ශිෂ්‍යයා නැඟී සිටීම, ගෞරව කිරීම ආදිය නො කරති. ගුරුවරයාට ඔහුගේ නමින් ම ආමන්ත්‍රණය කරති. දෙමාපියන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම, ගෞරව කිරීම විහිළුවකි. යහපත පිණිස හෝ තම දරුවන්ට දඬුවම් කරන දෙමාපියන්ට එරෙහිව දරුවාට ඕනෑම වෙලාවක පොලීසියට පැමිණිලි කිරීමට අයිතියක් ඇත. ඒ පිළිබඳව ව පන්ති කාමරයේ දී ගුරුවරු නිතර අවධානයෙන් පසුවෙති. ඒනිසා ම බටහිර රටවල දරුවන් තම දෙමාපියන්ට එරෙහිව කරන පැමිණිලි නිසා අනේක දඬුවම් විඳින දෙමාපියන් කොතෙකුත් දකින්නට ඇත.

කෙලෙසුන්ට වසඟ ව ලබන ස්වාධීනත්වය

ආදරය, අනුකම්පාව, පිදිය යුතු උතුමන් පිදීම, ගෞරව කළ යුතු උතුමන්ට ගෞරව කිරීම, ආශීර්වාද ලබා ගැනීම ආදී මූලික මිනිස් සාරධර්මයන් නොමැතිව තම දෙමාපියන්,ගුරුවරුන් සමඟ හුදෙක් ගනුදෙනුවක් ලෙස මුල් වසර 18ක් ගෙවා දමන දරුවා ඉන්පසු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳ ව කිසිදු වග විභාගයකින් තොරව අසීමාන්කිව තීන්දු තීරණ ගැනීමට නිදහස ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය, කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සීල, සමාධි, ප්‍රඥා ආදී මිනිසාගේ මූලික හරපද්ධතිය පෝෂණය කරන සාරවත් වූ මහානීය රත්නයන් ඔහු අසල නැත.

විපත පිණිස පවතින දේ තම අත ළඟය

ඒ වෙනුවට සිහිනුවණ බාල වූ පාපී මිතුරන්, මත්පැන් මත්ද්‍රව්‍ය, ගිනිඅවි ආදී මෙවලම් ඔහු අසල ය. දැන් ඔහු ලැබූ නිදහස තුළ අසීමිත ලෙස තමා ආශාවන් තෘප්තිමත් කිරීමට වෙර දරයි. විවිධාකාරයෙන් ඉඳුරන් පිනවා සෑහීමකට පත්වීමට උත්සාහ කරයි. ඊට හිරි ඔතප් ආදී ලෝක පාලක දේව ධර්ම අදාළ නැත. දුස්සීලයාගේ විපත්ති, සීලානිශංස, සතර අපා බිය ඔහු කිසිදා නො ඇසු දෑ ය. නමුත් සත්‍යය වනාහි කිසිදා ජලයෙන් පුරවා අවසන් කළ නොහැකි සාගරය සේ මේ ඉඳුරන් පිනවා අවසන් කළ නොහැකි දේ ය. කොතෙකුත් තෘප්තිමත් කොට අවසන් කිරීමට උත්සාහ කළ ද අතෘප්තිය ම ශේෂ වීම ය.

පිරිහුණු සිතේ ස්වභාවය

මේ වේගවත් සැඩ පහරේ ගසාගෙන යන මේ ජීවිත ඊළඟට ගමන් කරන්නේ භයානක දිශාවකට ය. එනම් තමාගේ ම දෙමාපියන්, ගුරුවරුන්, හිතවතුන් කෙරෙහි වෛරී සිතින් බැලීම ය. ඔහුත් දැන් මානසික බෙලහීනත්වයෙන් පෙළේ. මානසික පීඩාවන්ගෙන් දුක් විඳියි. විවිධාකාර කායික රෝගී තත්වයන්ගෙන් පෙළෙයි. එහි ප්‍රතිඵලය ලෙස විමංසන බුද්ධියෙන් තොර තෘතීය මිනිසෙක් ලොවට බිහි වී අවසන් ය. මේ ඛේදනීය තත්වයට වර්තමාන ලෝකයට විසඳුම් නොමැත. නීති රීති අණපනත් මඟින් යම් පමණකට යම් පාලනයන් සිදු කළ ද මිනිසුන්ගේ ජීවිත තුළ ඇති මේ අභ්‍යන්තර කඩාවැටීම සුළුපටු නො වේ. තවමත් මෙය ලොවට වසංවන්නේ මේ භෞතිකව මිනිසා ලද දියුණුව නිසා ම ය. වර්තමාන විද්‍යාවේ හා තාක්ෂණයේ හාස්කම් මිනිසා මවිත කරමින් සිටී. ඒ ඔස්සේ ම තම දියුණුව හා සැපය පතන ලෝකයා ආධ්‍යාත්මිකව ලබන සැනසීමෙන් දුරස් වී බොහෝ කල් ය.

අපි නො දකින අපේ උරුමය

ශ්‍රී ලාංකිකයන් වූ අපට උපතින් ම වටිනා දායාදයක් හිමි විය. උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා එය අපේ ජීවිතවලට සමීප විය. ඒ මෙලොව පරලොව තම විශිෂ්ට වූ නුවණින් අවබෝධ කොට සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් වදාළ ශ්‍රී සද්ධර්මය යි. ඒ ධර්මය තුළින් අප ඉගෙන ගත්, දැන කියාගත් දෑ අපමණ ය.

අද අප සිහිකර ගන්නා මේ සුන්දර බුද්ධ දේශනාව අපේ ජීවිත තුළ දියුණුකර ගත යුතු තවත් එක්තරා වටිනා පැතිකඩක් අපට විවර කර දෙයි. එනම් අප ජීවත්වන පරිසරයේ අපි ඇසුරු කරන අය සමඟ වගකීම්, යුතුකම් ඉටුකරමින් සුහදව, මිත්‍රශීලිව සිටීමේ වටිනාකම පිළිබඳව ය. ඒ තුළින් අප ඇසුරේ සිටින අය හදවතින් ම සිදුකරන ආශිංසනය අපේ දියුණුවට පාදක වන ආකාරය පැහැදිලි වේ. බුදුරදුන්ගේ ශ්‍රාවක දරුවන් වගකීම්, යුතුකම් නො පිරිහෙළා ඉටුකරන්නන් බවට මේ බුද්ධ දේශනාව කදිමට සාක්ෂි දරයි.

මුනිරදුන් වැඩ සිටි විශාලාවේ මහ වනය

එදින විශාලා මහ වනය දෙවනත් කරමින් ලිච්ඡවී රජ කුමාරුවරුන් දුනු ඊතල රැගෙන දඩයම් සුනඛ සමූහයත් පිරිවරාගෙන මහ වනයෙහි ඔබ මොබ ඇවිදින්නාහු එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේව දුටහ. දැක දුනු ඊතල ආදිය පසෙක තබා දඩයම් සුනඛ සමූහයා පසෙකට යවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා චන්දනා කොට නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්.

සුපුරුදු පරිදි එදින ද මහානාම ලිච්ඡවී රජු විශාලාවේ මහ වනයට පිවිසියේ ව්‍යායාමය පිණිස ය. කලෙක පටන් ලිච්ඡවී රාජ කුමාරයන් පිළිබඳ ව නො සතුටින් හේ පසු විය. මන්දයත් ලිච්ඡවී රාජ කුමාරයන්ගේ නො හික්මුණූ කල්ක්‍රියාව පිළිබඳව ය. ඔවුන් චණ්ඩය. පරුෂය. දැඩි ගතියෙන් යුක්ත ය. උක්ගස් වේවා, මසං ගෙඩි වේවා, කැවුම් වේවා, මුං කැරලි වේවා, තල කැරලි වේවා, ලිච්ඡවී පවුල්වලට තෑගි පිණිස යවත් නම් මොවුහු ඒවා පවා පැහැර කති. කුල ස්ත්‍රීන් හට, කුල කුමාරිකාවන් හට පසු පසින් ගොස් පිටුපසින් පහර දෙති. එබඳු වූවන් දැන් උදවිය නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්. මෙය දුටු ලිච්ඡවී මහානාම රජු එකෙණෙහි ම මෙසේ උදන් ඇනී ය. “වජ්ජීහු දියුණුවට පත්වන්නාහු ය. වජ්ජීහු දියුණුවට පත්වන්නාහු” යැයි.

ඒ මොහොතේ සියලු තතු දැනගත් භාග්‍යවතුන් වහන්සේ මහානාම රජුට මෙසේ වදාළ සේක. “මහානාමය කරුණු පහක් ඇති රජකු වේවා, රට වැසියකු වේවා. සෙන්පතියකු වේවා, ගම් ප්‍රධානියකු වේවා, පිරිස් ප්‍රධානියකු වේවා, පවුල් ප්‍රධානියකු වේවා යම් පවුලක අධිපති බවක් කරයි ද ඔහු දියුණුවට පත් වීම කැමති විය යුතු ය. පරිහානියක් නො ලබන්නේ ය.

‘මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැඟී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් මවුපියන්ට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය. පුදන්නේ ය. දරුවන්ගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදුම්ලද මවුපියෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා. දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා! යි. මහානාමය, මවුපියන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.

මහානාමය,මෙහිලා කුල පුත්‍ර තෙමේ නැඟී සිටි වීරියෙන් යුතුව අත්පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් අඹුදරු, දාස කම්කරු, පුරුෂයන්ට තම කුඹුරු, වතුපිටි ආදියෙහි කටයුතු කරන්නන් හට දෙන්නේ ය.

ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය. පුදන්නෝ ය. ඔහුගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදීම් ලද ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා ! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා ! මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

ගිහිගෙයි වසනා සැබෑ ශ්‍රාවකයා

හැමකල්හි මවුපියන්ගේ කටයුතු සොයා බලන, අඹුදරුවන්ට හිතෛෂී වූ, ඇතුළු ජනයාගේ අර්ථ සිද්ධිය සලකන, තමා නිසා ජීවත් වෙන අන්අයට ද යහපත කරයි නම්, නැණවතුන්ගේ වචනයෙහි අරුත් දන්නා, සිල්වත් වූ තැනැත්තා මියගිය ඥාතීන්ටත්, මෙලොව ජීවත්වන ඥාතීන්ටත් යන උභය පක්ෂයට ම යහපත සලසයි නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද, දෙවියන්ට ද යහපත සලසන නුවණැත්තා ධාර්මිකව ගිහිගෙයි වාසය කරමින් සැමට සතුට දනවයි.

හෙතෙම යහපත් කර්මයන් කොට ප්‍රශංසාවට නිසි වූයේ පිදුම් ලබන්නේ වෙයි. මෙහිදී ද ප්‍රශංසාවට බඳුන් වෙයි. පරලොව සුගතියේ ඉපිද සතුටුවෙයි.!”