පුරාතන අරියවංස උත්සවය
ඌරුගමුවේ අස්සජී හිමි
අරියවංස සූත්‍රය දේශනා කිරීම පුරාතන ලාංකේය බෞද්ධ සමාජය තුළ ඉතා හරසරින් පැවැත්වූ
මහෝත්සවයක් විය. ඒ පිළිබඳ පුරාණ සෙල්ලිපිවලින්ද පාලි අට්ඨකතාවලින්ද කරුණුූ අනාවරණය
වෙයි. ක්‍රි.ව. 5 වැනි ශත
වර්ෂයට පෙර ද ඉන් පසුවද අරියවංසය ජනපි‍්‍රය ධර්ම දේශනාවක්
පමණක් නොව බෙහෙවින් ගරුකොට සැලකූ සූත්‍රයක් වූ බවද පෙනෙතැයි මහාචාර්ය වල්පොල රාහුල
හිමියෝ ‘ලක්දිව බුදු සමයේ ඉතිහාසය’ කෘතියේ දී පෙන්වා දෙති.
දඹදිවින් ආ සිරිතක් ද?
අංගුත්තර නිකායේ උරුවේල වග්ගයෙහි ආරියවංස සූත්‍රය හමුවෙයි. මෙය “චත්තාරො මේ භික්ඛවෙ
අරියවංසා” යනුවෙන් භික්ෂුන් වහන්සේ අමතා දේශනා කරවූවකි. ධර්මාශෝක, අධිරාජයා ස්වකීය
භාබ්‍රැ ලිපියෙහි මෙම සූත්‍රය “අලියවසානි” යනුවෙන් නම් කොට එය භික්ෂු භික්ෂුණීන්
පමණක් නොව ගිහි පිරිසද අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් බව සඳහන් කර තිබේ. ලංකාවේ
සිදු කෙරුණු මෙම අරියවංස උත්සවය ධර්මාශෝක යුගයේදී දඹදිව පිළිපැදි සිරිතකින් පැවත
අවුත් ලංකාවට ද ක්‍රමයෙන් හුරුපුරුදු වී මෙරට බොහෝ කලක් තිස්සේ පිළිපැදුණු සිරිතක්
වී යැයි සිතීමට එමඟින් අනුබලයක් ලැබේ. පූර්වෝක්ත පරිදි අරියවංස සූත්‍රානුගත කරුණු
සිවු පිරිසම අනුගමනය කළ යුතු බැවින් අරියවංස සූත්‍ර දේශනාවද ලංකාවෙහි විශේෂ
උත්සවයක් ලෙසින් සංවිධානාත්මකව පවත්වාගෙන ආ බව විශ්වාස කළ හැකි ය.
වෙන් වූ ප්‍රතිපාදන
අරියවංස උත්සවය පැවැත්වූ සෑම ස්ථානයක ම වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 269 - 291) දාන
සාලා පිහිට වූ බව මහාවංසයෙහි සඳහන්ව තිබේ. 4 වැනි සියවසට අයත් තෝනිගල සෙල්ලිපියෙහි
අරියවංස උත්සවය ගැන තොරතුරු ඇතුළත් වෙයි. කලහුමනක නම් වෙළෙඳ ශ්‍රේණියෙහි ප්‍රධානියා
වූ පහෙජ සිව ඇමැතියාගේ පුත් දේව නමැත්තකු යභිස පර්වත විහාරයෙහි අරියවංස දේශනාව
සිදුකරන භික්ෂුන් වහන්සේ උදෙසා සැලසූ ප්‍රත්‍ය පහසුකම් පිළිබඳව එහි කියවෙයි. එහි
“ආරියවස කරන
මහ බිකු සඟනට” යන පාඨය දැක්වෙයි. ඒ අනුව වී, උඳු, මුං යන ධාන්‍ය වර්ග
වෙළෙඳ ආයතනයක තැන්පත් කොට මූල භෝගය වැය නොකොට පොලිය මෙම අරියවංස උත්සවය සඳහා වැය කළ
බව ද තෝනිගල ලිපියෙහි දැක්වෙයි. ලබු ඇට බැඳිගල ලිපිය ද (5 වැනි සියවස) අරියවංස
උත්සවය පැවැත්වීම සඳහා වෙන්කළ ප්‍රතිපාදන ගැන සඳහන් කරයි. සිරිනක නමැත්තකු කහවනු
100ක් ද නටලවිටිය සිව“ නමැත්තකු කහවනු 20ක් ද ආරියවංස උත්සවය පිණිස දේවගිරි නම්
විහාරයක තැන්පත් කළ බව එකී ලබු ඇටබැඳිගල සෙල්ලිපි දෙකක සඳහන් ව තිබේ.
රාජරාජ මහාමාත්‍යයන් හා වත්පොහොසත්කම් ඇති සෙස්සන්ද අරියවංස උත්සවය පිණිස නොමසුරු
ලෙස ධනය පරිත්‍යාග කිරීම තුළින් පෙනෙන්නේ මෙම උත්සවය සඳහා එක්තරා ප්‍රමාණයක වියදමක්
අවශ්‍ය වූ බව යැයි මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ පෙන්වා දෙති. එලෙස වියදම් අවශ්‍ය
වූයේ මෙම උත්සවය සඳහා දුරබැහැරින් පැමිණි භික්ෂුන් වහන්සේට දන් හා ලැගුම්
සැපයීමටත්, ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි විශාල ජනතාවට තාවකාලික මඩු තනන්නටත් විය
හැකිය.
දුර බැහැරින් පිරිස්
අරියවංස උත්සවය කෙතරම් ජනපි‍්‍රය වී ද යන වගට සාක්ෂි බොහොමයක් පුරාතන
ග්‍රන්ථයන්ගෙන් අනාවරණය වෙයි. දීඝභාණක අභය මහතෙරුන් වහන්සේ විසින් පවත්වන ලද
අරියවංස ධර්ම දේශනයකට සවන්දීම සඳහා කාන්තාවක් කිරිබොන දරුවකු ද ගෙන පස් යොදුනක්
දුරකතර ගෙවා පැමිණි බව අංගුත්තර නිකාය අටුවාව සඳහන් කරයි. වස්සාන කාලයේ වස්වැස සිටි
ගවරවාල අංගණයෙහි භික්ෂුන් වහන්සේ තිස් නමක් දෙසතියකට වරක් අරියවංස සූත්‍රය දේශනා කළ
බවද එහි දැක්වෙයි.
අරියවංස උත්සවය ගැන සඳහන් වන කතා වස්තු තුනක් රසවාහිනියෙහි අන්තර්ගතය.
ඉන් පළමුවැන්න රුහුණේ මාගම වර්ෂයක් පාසා පැවැත්වුණු අරියවංස ධර්ම දේශනාව ශ්‍රවණය
සඳහා කුඩ්ඪරජ්ජ පළාතේ සිට මාගම මහාවාපී විහාරයට ගිය තෙරුන් වහන්සේ නමක ගැනයි. ඉතා
දුරබැහැර ප්‍රදේශවල සිට පවා මහ ජනතාව මෙම උත්සවය සඳහා පැමිණි බව ද මෙම කතාවෙන්
කියවෙයි. මහාදාඨික මහානාග රජුගේ (ක්‍රි.ව. 67 - 79) කාලයෙහි සය මසකට වරක්
උදුම්බගිරි විහාරයෙහි (දිඹුලාගල) අරියවංස උත්සවය පැවැත්වුණු බව දෙවැනි කතා
වස්තුවෙන් කියවෙයි. ඒ සඳහා දිඹුලාගල අවට සිවු යොදුනක් ඇතුළත වාසය කළ ජනතාව විහාරයට
රැස් වූ බවත් ඉතා චමත්කාරජනක ලෙස මෙම උත්සවය සිදුකළ බවත්, එහි වැඩිදුරටත් දැක්වෙයි.
තෙවැන්න නම් කුම්බලතිස්ස පර්වතය අසල අරියාකර නම් විහාරයක (මෙය මාලිගාවිල ලෙස
හඳුනාගෙන ඇත.) අරියවංස උත්සවය පැවැත්වුණු බව සඳහන් කතාවයි.
අරියවංස උත්සවය විසි වැනි සියවස දක්වාම අඛණ්ඩව පැවැති බව සිතාගැන්මට ඉඩ ලබාදෙන සාධක
දෙකක් මූලාශ්‍රගත තොරතුරු මඟින් හමුවෙයි. ඉන් පළමුවැන්න නම් වැලිවිට සිරි සරණංකර
සඟරජ මාහිමිගේ ශිෂ්‍ය, බැමිණිවත්තේ හිමි අරියවංස සූත්‍රයට සිංහල සන්නයක් ලියූ බවයි.
ඒ ගැන සඳහන්ව ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයෙහි ( ක්‍රි.ව. 1747 - 1780)
මහනුවර විසූ ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධු චරියාවෙහිය.
දෙවැන්න නම් පාලි අටුවාව සහ පැරැණි සිංහල සන්නයක් ද සහිත අරියවංස සූත්‍රයෙහි
මුද්‍රණයක් වර්ෂ 1898 දී කොළඹින් ප්‍රකාශයට පත්වීමයි. භාෂාව අනුව පරීක්ෂා කර
බැලීමේදී මෙය බැමිණිවත්තේ හිමිගේ කෘතියට බෙහෙවින් සමාන ලක්ෂණ පෙනෙන බව ලක්දිව
බුදුසමයේ ඉතිහාසය ග්‍රන්ථයෙහි දැක්වෙයි.
අරියවංස සූත්‍රය තුළ භික්ෂු ජීවිතයේ සාරාංශය ගැන ගැබ්ව ඇති බැවින්, එය භික්ෂුන්
වහන්සේ මහත් සේ අගය කොට ඇත්තාහ. එබැවින් එහි වැදගත්කමක් ගිහි පක්ෂය කෙරෙහි එහි ඇති
අදාළත්වයත් සැලකිල්ලට ගත් පුරාතන ලාංකේය බෞද්ධ ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් අරියවංස
සූත්‍ර දේශනාව පැවැත්වීම කෙරෙහි උත්සුක වූ බව සඳහන් කළ හැකිය. |