Print this Article


නිපුණතා ඉගෙනගත් පසු පුහුණු සීමා ඉවත දමන්න

නිපුණතා ඉගෙනගත් පසු පුහුණු සීමා ඉවත දමන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

සිහිය දකින දෙයට ප්‍රතිචාර නො දක්වයි. එය දැක වටහා ගන්නවා පමණි.

සිහිය ඉවසීමේ හරය යි. එබැවින් දකින දේ හුදෙක් ම බාරගෙන, තිබෙන බව දැනගෙන උපේක්ෂා සහගත ව නිරීක්ෂණයක යෙදෙයි. මෙය පහසු නොවූව ද අත්‍යවශ්‍ය කරුණකි. අප අනවබෝධයෙන් පිරී ඇත. අපි ආත්මාර්ථකාමී වෙමු. අපි කෑදරකමින් යුක්ත වෙමු. පුරසාරම් දොඩවමු. අපි බොරු කියමු. අපි කාමාශාවන් ඇත්තෝ වෙමු. මේවා සත්‍ය කරුණු ය. සිහිය යනු මෙම සත්‍ය කරුණ දැක අප සමඟ ම ඉවසීමෙන් කටයුතු කර අපගේ සත්‍ය ස්වභාවය පිළිගැනීමයි. මෙය උඩුගං බලා යෑමකි. එය පිළිගැනීමට අප කැමැති නැත. එය ප්‍රතික්ෂේප කිරීම හෝ වෙනස් කිරීම හෝ සාධාරණීකරණය කිරීමට අපට අවශ්‍ය යි. නමුත් පිළිගැනීම සිහියේ හරය යි. සිහිය වර්ධනය කර ගැනීමට නම් සිහිය සොයා දෙන දේ පිළිගත යුතු ය. එය විඩාව, නො සන්සුන්තාව හෝ බය හෝ විය හැකියි. එය දුර්වලකම්, හීනමානය හෝ අපගේ වැරැදිවීමට ද පිළිවන. එය කුමක් වුවත් එය අපගේ ස්වභාවය යි. යථාර්ථය වන්නේ එයයි.

සිහිය පවතින දෙය එලෙසින් ම පිළිගනියි. සිහිය දියුණු කිරීමට තිබෙන එකම මග ඉවසන සුළු පිළිගැනීම යි. සිහිය වර්ධනය වන එකම ක්‍රමය නම් අඛණ්ඩ ව සිහිය පිහිටුවා ගැනීම හා ඉවසීමෙන් සිහිය පුරුදු කිරීමට පමණක් ම ය. මෙම ක්‍රියාවලිය බලහත්කාරකමින් හෝ කඩිනමින් කළ නොහැක. එයට ම ආවේණික වේගයකින් එය ඉදිරියට යයි.

භාවනාවේ දී සිහිය හා සමාධිය එකට සමාන්තර ව ගමන් කරයි. සිහිය විසින් සමාධියේ බලයට මඟ පෙන්වයි. සිහිය මෙම මෙහෙයුම් කළමනාකාරවරයා වෙයි. මනසේ ගැඹුරු ස්ථානයන් හට ගමන් කිරීමට සිහියට අවශ්‍ය බලය සමාධිය විසින් සපයා දෙයි. විනිවිද දකින නුවණ හා අවබෝධය එම සහයෝගිතාවයේ ප්‍රතිඵලය යි. මෙම දෙවර්ගය ම සමාන ව වර්ධනය කළ යුතුයි. එසේ නමුත් සිහිය භාවනාවේ කේන්ද්‍රය බැවින් එයට තරමක් වැඩි අවධාරණයක් ලබා දෙයි. විමුක්තිය සඳහා ඉතා ගැඹුරු මට්ටමේ සමාධියක් අවශ්‍ය නැත. නමුත්, සමතුලිතතාවක් අවශ්‍යයි. සමතුලිතතාව ඇති කිරීමට අවශ්‍ය සන්සුන් බවෙන් තොර ඉහළ මට්ටමේ දැනීම, ඹ්ඉච් වැනි මත්ද්‍රව්‍යයකින් ඇති කෙරෙන අධි සංවේදිතාව වැන්නක් ඇති කරයි. එමෙන්ම සමාන අනුපාතයකින් සිහිය නැති විට, සමාධිය ම පමණක් ගල් පිළිමයක් වැනි තත්ත්වයක් ඇති කරයි. සමාධිගත වන භාවනානුයෝගියා ගල් රූපයක් සේ වාඩි වී සිටිනු ඇත. මේ ස්වභාවයන් දෙක ම මඟ හැරිය යුතු ය.

මානසික දියුණුවේ මූලික අවස්ථාවන් බිඳී විසිරී යන සුලු සියුම් බවක් උසුලයි. සිහිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සමාධියේ වැඩීම බාල කරයි. භාවනාව ආරම්භයේ දී මනස කෙ තරම් ක්‍රියාකාරී ද යන්න ඔබ අවබෝධ කර ගනියි. ථෙරවාද බුදුදහම මෙම සංසිද්ධිය “වඳුරු මනස” ලෙස හඳුන්වයි. මෙය සිතිවිලි දිය ඇල්ලක් ලෙස ටිබෙට් නොහොත් තිබ්බතීය බුදු දහමේ හඳුන්වනු ලබයි. මේ අවස්ථාවේ දී සිහිය විසින් දැක ගැනීමට බොහෝ දේ ඇති බැවින් එය අවධාරණය කිරීම සමාධිය දියුණු වීමට බාධාවක් ඇති කරයි. අධෛර්යයට පත් නො වන්න. මෙය සෑම දෙනා ම පාහේ අත්දකින අවස්ථාවකි. එයට ඉතා සරල විසඳුමක් ඇත. ඔබගේ සියලුම ප්‍රයත්නයන් සිත එකඟ කිරීම සඳහා යොදවන්න. ඒ මේ අත යන අවධානය නැවත නැවතත් ආපසු රැගෙන එන්න. එය ස්පර්ශ කරන්න.

මාස කිහිපයක් භාවනාවේ යෙදෙන විට ඔබට සිත එක්තැන් කිරීමේ බලය ලැබෙනු ඇත. එවිට ඔබගේ ශක්තිය සිහිය වෙත යොමු කිරීමට ඔබට පුළුවන. උදාසීනතාව ඇතිවෙන මට්ටමට සමාධිය දියුණු නො කරන්න.

මෙම අංශ දෙකෙන් තවමත් වඩා වැදගත් වන්නේ සිහිය යි. ඔබට පහසුවෙන් එය කළ හැකි වූ වහාම එය ගොඩනැගිය යුතු ය. පසුව එන ගැඹුරු සමාධියට අවශ්‍ය අත්තිවාරම සකසන්නේ සිහිය විසිනි. සමතුලිතාව පිළිබඳ බොහෝ වැරැදි, කාලය විසින් නිවැරැදි කරනු ඇත. ප්‍රබල සිහිය දියුණු වී ඇති තැන නිතැතින් ම සම්මා සමාධිය ගොඩනැඟෙයි. දැකීමේ ගුණය වැඩියෙන් දියුණු වෙනවා සමඟ ම කඩිනමින් බාධක දැකීම හා එවන් වේගයකින් ම ඒවායින් මිදී අවධානය භාවනා අරමුණ වෙත ඒමට හැකියාව ලැබෙයි. එහි ස්වභාවික ප්‍රතිඵලය දියුණු වූ සමාධිය යි. දියුණු වන සමාධිය සිහිය වැඩීමට ද උපකාර කරනු ඇත. බලවත් සමාධියක් පවතින විට බාධා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියට අවකාශ අඩු වෙයි. බාධාව සනිටුහන් කර ගන්නා ඔබ අවධානය එය තිබිය යුතු ස්ථානයට ගෙන එයි.

එමනිසා මෙම සාධක දෙක සමතුලිතව සිටිමින් ස්වභාවයෙන් ම එකිනෙකෙහි වර්ධනයට බොහෝදුරට උපකාර කර ගනියි. මෙහිදී එකම නීතිය වන්නේ ආරම්භයේ දී ඇතිවන “වඳුරු මනස” මෙල්ලවන තුරු සමාධිය වඩා ගැනීමට වැඩිපුර වෙර දැරීමයි. පසුව සිහිය ගැන අවධාරණය කරන්න. ඔබ කලබලයට පත් වූ බව දැනෙන විට සමාධිය අවධාරණය කරන්න. බර නිදිමතකට යොමුවෙනවා නම් සිහියට මුල්තැන දෙන්න. මුළුමනින් ම ගත් කල සිහිය පිහිටුවා ගැනීමට මුල්තැන දිය යුතු ය.

එය ගැනම දැන ගැනීමට තිබෙන හැකියාව හේතුවෙන් සිහිය ඔබගේ භාවනාවේ දියුණුවට මඟ පෙන්වයි. ඔබගේ පුහුණුව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්නේ සිහිය යි. ඔබගේ දියුණුවේ මට්ටම එය ඔබට දැන ගන්නට සලස්වයි. නමුත් ඒ ගැන එතරම් කරදර නො වන්න. මෙය ධාවන තරගයක් නොවේ. ඔබ කිසිවක් හෝ සමඟ තරග වැදී නැතිවාක් මෙන් ම තරග කාලසීමාවක් ද නැත.

සිහිය කිසිම චිත්තවේගී හෝ මානසික හෝ ස්වභාවයක් මත රඳා නො පවතින බව ඉගෙන ගැනීම ඉතා අසීරු කාරණයකි. භාවනාව පිළිබඳ අප තුළ විවිධ දර්ශන තිබේ. “භාවනාව සෙමින් ඇවිදින සන්සුන් මිනිසුන් විසින් නිසල ගල්ගුහා තුළ සිටිමින් පුහුණවන්නකි” යනු එබඳු දර්ශනයකි. ඉන් ගම්‍ය වන්නේ පුහුණුවීමට අවශ්‍ය තත්ත්වයන් පමණි. සිහිය හා සමාධිය ඇතිකරන නිපුණතා ගොඩනැංවීම සඳහා එම තත්ත්වයන් භාවිත කෙරෙයි. නිපුණතා ඉගෙන ගත් පසු පුහුණු සීමා විසිකර දැමිය යුතුයි. සිහිය පවත්වා ගැනීමට ගොළුබෙල්ලකු සේ සෙමෙන් ඇවිදීම අවශ්‍ය නො කරයි. සන්සුන්වීම ද අවශ්‍ය නැත. සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳීම සඳහා වන කෙටි ක්‍රමය වූ සියුම් කලනය භාවිතයේ දී වුව ද ඔබට සිහියෙන් සිටිය හැකි ය. පාපන්දු ක්‍රීඩාවේ පොර බැදීමක් මැද දී වුව ද ඔබට සිහියෙන් සිටිය හැක. කෝපයෙන් වියරු වැටී සිටින අවස්ථාවක දී පවා, ඔබට සිහියෙන් සිටීමට පුළුවන. ශාරීරික හෝ මානසික හෝ ක්‍රියාවන් සිහිය පවත්වා ගැනීමට බාධාවක් නොවේ. ඔබගේ මනස දැඩි ක්‍රියාකාරී මට්ටමක ඇති බව දැනුන විට, හුදෙක් එහි ස්වභාවය හා ක්‍රියාකාරිත්වයේ ප්‍රමාණය නිරීක්ෂණය කරන්න. එය සිත හරහා යන සංදර්ශනයක කොටසක් ම පමණි.