දික්වැල්ල ඓතිහාසික දීඝවාලුකාරාම
රජමහා විහාරය

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබඩපත්තුවේ මහසයුරට මුහුණලා පිහිටා ඇති බතීගම
ග්‍රාමයේ දීඝවාලුකාරාම විහාරස්ථානය පිහිටා ඇත.
දීඝවාලුකාරාමය සියවස් 05කට වඩා පැරැණි රුහුණේ ප්‍රෞඪත්වය හෙළ දිවයිනට ම කියාපාන
සබඳතාවක් ඇති පැරැණි විහාරස්ථාන අතරට ගැනෙන සුවිශේෂී විහාරස්ථානයක් ලෙස සැලකිය හැකි
ය. එදා වැඩ සිටි මහනායක හිමිවරුන්ගේ හා විහාරස්ථ දායක උපාසක උපාසිකාවන්ගේ අදහස්
අනුව වර්තමානයේ ගොඩනඟා ඇති මෙම විහාරස්ථානය දික්වැල්ලේ පන්සල අදහස ඇතිව
“දීඝවාලුකාරාමය” යන නමින් ස්ථාපිත විය.
 |
 |
|
මාතර පළාතේ උප ප්‍රධාන සංඝනායක සීනිපැල්ලේ රතනවංශ හිමි |
දික්වැල්ලේ ඤාණවංශ
මහ නාහිමි |
මෙහි ආරම්භක තොරතුරු “තැනුම් පොත” විහාර වංශ කතාවේ සඳහන් බව කියැවේ. මුලින් ඉදිකළ
විහාර දහ අටෙන් දීඝවාලුකාරාමය එකක් ලෙස සඳහන් වේ. පළමුව ස්ථාපිත වූයේ පිරිවෙනකි.
1965 දී විද්‍යාතිලක මහ පිරිවෙන නමින් ලියාපදිංචි කරන ලදී. 1961 දී ආරම්භ කරන ලද
දහම් පාසලත්, ඊට පසුව ආරම්භ කළ පෙර පාසලත් සිදු කරන අධ්‍යාපනික සේවාව සුළුපටු නොවේ.
ආරම්භයේ සිට විවිධ බාධක ජය ගෙන නායකත්වය දුන් සමාජ මෙහෙවරක් කළ නාහිමිවරුන් වශයෙන්.
වර්ෂ 1747 - 1778 දක්වා
කැටගොඩ රතනජෝති හිමි
1778 - 1820 දක්වා
දික්වැල්ලේ බුද්ධරක්ඛිත හිමි
1821 - 1871 දක්වා
ලංකාගොඩ ධීරානන්ද හිමි
1871 - 1915 දක්වා
දික්වැල්ලේ චුල්ලපදුම හිමි
1915 - 1961 දක්වා
දික්වැල්ලේ සංඝතිලක හිමි
1961 - 2007 දක්වා
දික්වැල්ලේ ඤාණවංශ හිමි
2007 වර්තමානය දක්වා පූජ්‍ය සීනිපැල්ලේ රතනවංශ හිමි දැක්විය හැකි ය.
 |
 |
 |
පරිවේණාධිපති
අඟුණකොළපැලැස්සේ දීපානන්ද හිමි |
සිරි සංඝතිලක දහම් පාසලේ දහම් පීඨාධිපති වෑකදවල පදුම සිරි හිමි |
දෙස් විදෙස්
දහම් ප්‍රචාරක අඹකොළවැවේ
බුද්ධික හිමි |
බතීගම දීඝවාලුකාරාම විහාරස්ථාන පුදබිමේ වර්තමානයේ දිස්වන ආගමික පසුබිම වශයෙන්
චෛත්‍ය රාජයාණන් වහන්සේ දේව මන්දිරය බෝධීන් වහන්සේ සහිත බෝධි ප්‍රාකාරය සමාධි බුදු
පිළිම වහන්සේ මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ, ධාතු මන්දිරය අසූමහා ශ්‍රාවකයන්
වහන්සේ, ආනන්ද බෝධිය ඇතුළු ලුම්බිනි සල් උයන දැක්වෙන සැවැත්නුවර බුදුරජාණන් වහන්සේ
වැඩ සිටි දවස උන්වහන්සේ බැහැදැකීමට අසූමහා ශ්‍රාවකයන් වහන්සේ වැඩමවන දසුන වශයෙන්
සඳහන් කළ හැකි ය.
පසු පෙළින් යාබද අක්කර 05 1/2ක් පමණ උස්බිම් ශාලාව, ඊට යාබද පහත්බිම් ඉඩ පහසුකම්
ඇති ධර්ම ශාලාව, ඊට යාබද පිරිවෙන් අධ්‍යයන ශාලාව ඉදිකර ඇත. අනෙක් පස පිරිවෙන්
ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ සංඝාවාස සහ ගිහි කුටි 60ක් ද ඊට නුදුරින් දාන
ශාලාව ද පිහිටා ඇත. පිවිසුම් මාර්ගයෙහි දකුණු පස අපවත් වී වදාළ දික්වැල්ල
දීඝවාලුකාරාම රාජමහා විහාරයේ විහාරාධිපති ව වැඩ සිටි අමරපුර සිරිසද්ධම්මවංස මහා
නිකායේ වැඩ බලන මහනායක ධුරය හෙබවූ රාජකීය පණ්ඩිත දික්වැල්ලේ ඤාණවංශ හිමියන්ගේ
සිහිවටනය ඇත.
පුදබිමට ඇතුළු වූ විට බුද්ධාලම්බන පී‍්‍රතිය වඩවන දර්ශනීය පරිසරයක් පිහිටා ඇත. දායක
කාරකාදීන්ගේ හා වන්දනාකරුවන්ගේ සිත නිවී සැනසෙන පරිසරයක් පුදබිම තුළ ඇත. තුරු සෙවණේ
වැඩසිටින බුදු බණ වපුරන සාමණේර හිමිවරුන් දවස පුරා දක්නට ලැබේ. විචක්ෂණ ධර්ම කථික
භික්ෂුන් වහන්සේගෙන් අඩුවක් නොමැති දීඝවාලුකාරාම පුදබිම දික්වැල්ල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ සුවිශේෂී විහාරස්ථානයකි.
සියවස් දෙකකට අධික කාලයක් පුරා වෙසක් පෙරහර මංගල්‍යය සාම්ප්‍රදායික පෙරහර චාරිත්‍ර
ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන එනු ලබයි.
මීට වසර 24කට ඉහතදී දික්වැල්ලේ ඤාණවංශ මහ නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව
උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ මාතර පළාතේ උප ප්‍රධාන සංඝනායක, සීනිපැල්ලේ
රතනවංශ හිමියෝ විහාරාධිපති ධුරයට පත්ව ආගමික හා ශාසනික දියුණුවටත් විහාරස්ථානයේ
දියුණුවටත් අනූපමේය සේවාවක් සිදුකරන කීර්තිමත් යතිවරයෙකි. ආගමික හා සමාජයීය වශයෙන්
ප්‍රදේශයටත්, රටටත් සුවිසල් මෙහෙවරක් සිදුකරන දික්වැල්ල දීඝවාලුකාරාම රජමහා
විහාරස්ථ විද්‍යාතිලක පරිවේණාධිපති විශිෂ්ට ධර්ම කථික ශාස්ත්‍රපති පූජ්‍ය
අඟුණකොළපැලැස්සේ දීපානන්ද හිමියන් ද සුවිශේෂී යති රුවනකි.
ශ්‍රී ලාංකික ඓතිහාසික බෞද්ධ උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ
අරමුණින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මූලික මැදිහත්වීමෙන් ජාතික භෞතික සැලසුම්
දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 2025 - 06 - 21 දිනැති
අංක 2441/58 දරන ගැසට් පත්‍රය මඟින් මාතර දීඝවාලුකාරාම රාජමහා විහාරය පූජා භූමියක්
වශයෙන් නම් කොට ඇත. එම පූජාභූමි ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ජනවාරි 04 වැනිදා
උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
- හේමමාලා රන්දුණු |