දසපින්
කිරියවත්
බෝසතාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබීම පිණිස සෙවණ දුන් උතුම් බෝධිරාජයාණන්
වහන්සේට වන්දනා මාන කිරීම, බෝධි පූජා පැවැත්වීම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි.
ජීවිතයේ අනේකවිධ දුක් පීඩා හමුවේ සෙත් ප්‍රාර්ථනා කිරීම, මානසික සුවය ප්‍රාර්ථනා
කිරීම පිණිස අපේ බෞද්ධ සමාජයේ වැඩි පිරිසක් බෝධි පූජා පැවැත්වුව ද එමඟින් සම්බුදු
දහමේ ඉගැන්වෙන දසපින් කිරියවත් එසේත් නැතිනම් දස පුණ්‍ය ක්‍රියාවන් ම සිදුවන බව
නොදනිති.
නිවැරැදි බෝධි පූජාවක වතාවත් කිරීම, පඤ්ච ශීලය සමාදන් වීම, ගාථා සජ්ඣායනය, මල්,
පහන්, සුවඳ දුම්, ගිලන්පස, පැන්, කොඩි ආදී පූජාවන්, පිරිත් සජ්ඣායනය, ධර්ම දේශනය,
භාවනාව, දෙවියන්ට පින්දීම, මළඟිය ඥාතීන්ට පින්දීම, සියලු සත්වයින්ට පින් අනුමෝදන්
කිරීම, ප්‍රාර්ථනා ගාථා සජ්ඣායනය, ත්‍රිවිධරත්නය කමා කර ගැනීම, භික්ෂූන් වහන්සේට
ගරු සත්කාර කිරීම ආදී පින්කම් රැසක් ඇතුළත්ය.
දානය, සීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, ගරු කිරීම, දහම්
දෙසීම, දහම් ඇසීම තම දර්ශනය නිවැරැදි කර ගැනීම යනු දස පින් කිරියවත්ය.
බෝධි පූජාවට පළමුව බෝධි මළුව ඇමද පිරිසුදු කිරීම බෞද්ධයාගේ සිරිත ය. එමඟින් දසපින්
කිරියවත්වල එන වතාවත් කිරීම සම්පූර්ණ වේ. ත්‍රිවිධ රත්නය වන්දනා කිරීමෙන් පසු
පන්සිල් සමාදන්වීම සීලය පිරීමයි. මල්පහන් පූජාදිය දානයයි. පිරිත් සජ්ඣායනයෙන්, ධර්ම
දේශනා ශ්‍රවණය කිරීමෙන් දහම් දෙසීම හා දහම් ඇසීම සිදු වේ. බෝධිපූජාවක දී මෙත් වැඩීම
ආදී කෙටි භාවනාවක් සිදු කෙරේ. එය දසපින් කිරියවත් හි එන භාවනාව සැපිරීමකි.
බෝධීන් වහන්සේට ගෞරව බහුමාන දැක්වීම, ත්‍රිවිධ රත්නයට ගෞරව කිරීම, තමන් කළ පින්
දෙවියන්ට, මිය ගිය ඥාතීන්ට අනුමෝදන් කිරීම පමණක් නොව බෝධීන් වහන්සේ උදෙසා අන්‍යයන්
කරන පින් සතුටු සිතින් අනුමෝදන් වීම ද බෝධි පූජාවක දී සිදු කෙරේ. දහම් ශ්‍රවණය
කිරීමෙන් සිදු කෙරෙන්නේ තමන් තුළ ධර්මය පිළිබඳ මේතාක් වැරැදි දර්ශනයක් වී නම් එය
ඉවත් කර ගැනීම ය.
මේ, බෝධි පූජා පින්කමක දී දසපුණ්‍ය ක්‍රියාවන් සම්පූර්ණ වන ආකාරයයි. පිරිසුදු
සිතින් සිදු කරන මෙවැනි උතුම් පින්කම් මේ ජීවිතය සේ ම මරණින් මතු ජීවිතය ද සුවපත්
භාවයට පත් කරයි. එය කිසිවකුට සරල ව බැහැර කළ නොහැකි ය. |