Print this Article


සම්බුදු දහමින් ඔප්නැංවුණු අපේ සමාජ ධර්ම

සම්බුදු දහමින් ඔප්නැංවුණු අපේ සමාජ ධර්ම

බුදු දහම මෙරට මුල් බැස ගැනීමත් සමඟ ම සමාජ පුනරුදයක්, පෙරැලියක් ඇති විය.

රාජ අනුග්‍රහය නොඅඩුවම ලැබීමෙන් බුදු සමය ගම්- නියම් ගම් දනව් - පාසල් දනව් හා පුර විසල් පුර ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ ම මිනිසුන්ගේ චිත්ත ප්‍රබෝධය වෙනදාට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා ලදී.

ප්‍රාග් ඇදහිලිවලින් හෙම්බත් වී සිටි ජනයාට බුදුසමයෙන් ආභාසය ලැබීම අනුව ස්වකීය ජීවිතය කෙරෙහි අපේක්ෂා තබා ගත හැකි තත්ත්වයකට පාත්‍ර විණි. අතිශයින්ම සමාජ ධර්ම හැඩ ගැසීම කෙරෙහි එදා ජනකාය උනන්දුවක් ද දැක්වූහ.

ජීවත්වීම පමණක් නොව, ජීවිතය තවත් ප්‍රභාවිතවීමට නම් සමාජ ධර්ම ද තිබිය යුතුය යන්න ද සමාජයේ කෙමෙන් මුල් බැස ගන්නා වු කරුණකි.

මිනිසා තුලනාත්මක ව සිතා බැලීමට පුරුදුවීම අනුව ජීවිතය යනු කුමක්ද යන්න ගැනත් ධර්ම මාර්ග ඔස්සේ සාපේක්ෂකව සිත මෙහෙයවීමට පුරුදු වීමෙන් කෑම - බීම - ඇඳීම හා පැවැත්ම පෙරට වඩා විධිමත් බවත් හා ක්‍රමවත් බවක් ගනු ලැබීය.

මේ සමාජ ධර්මතාවන්ට පදනම වැටුණේ පන්සල ආශ්‍රීතවය, භික්ෂු සමාජයක් ඇති වීමත් සමගම පන්සල කේන්ද්‍රස්ථානය බවට පත්විණි. ‘පන්සල හෙවත් ආරාම‘ ඉදිවීම ජනයාගේ ජීවිතවල වෙනසකට ඉවහල් විය. භික්ෂුන්ගේ ඇසුර නිසා ජනතාව ධර්ම මාර්ගයට පිවිසියහ. සඟ ඇසුර ගුරු ඇසුර කොට ගෙන සිරිත් - විරිත්වලට ද ඔවුහු නැඹුරු වූහ.

පන්සලට පිවිසෙන්නට පෙර පන්සල් දොරටුවේ තිබුණු ජල බඳුන්වල ජලයෙන් අත් පා සෝදා විහාර ගෙට පිවිසීම ද ඇති වුණේ මේ සමාජ පෙරළියත් සමඟ ය. හිස් වැසුම් පාවහන් ගලවා විහාර ගෙට පිවිසීමට ද ජනකාය නැඹුරු වූයේ බුදු සමය නිසා ය.

අනුරපුර යුගයේ සෑම පන්සලක්, ආරාමයක් ඉදිරිපිට ජල බඳුන් අද ද දක්නට ලැබේ. ජේතවන විහාරයේ සිවු දිසාවේ මෙබඳු ගණයට ගැනෙන ජල බඳුන් දක්නට ලැබේ. පිරිසිදු දහමක් ඇසුරු කිරීමට මත්තෙන් පිරිසුදු වී විහාර ගෙයට පිවිසීමේ සමාජ ධර්මතාව, පිළිවෙතක් බවට පෙරලුණි.

යතිවරුන්ගේ දහම් ශ්‍රවණය කිරීමට ජනතාව යොමු වීම නිසාත්, විනයානුකූල දිවි පෙවෙතක් ගත කිරීමට ද නැඹුරු වූහ.

වැව - දාගැබ - කෙත

කෘෂි කාර්මික දිවි පෙවතකට ද ජනකාය නැඹුරු වූහ. වැවත් - දාගැබත් - කෙතත් ආශ්‍රයෙන් නිපන් සංස්කෘතිය අපට උරුම වූයේ ද බුදු සමය නිසාය. සිංහල ලකුණක් අපට උරුම වුයේ ද බුදු සමය හේතු කොටගෙනය.

සමාජ පාලනය උදෙසා රජෙක් පත්කර ගැනීම ද සිරිත විය. රජු රාෂ්ට්‍ර පාලනයේ ප්‍රමුඛයා බවට පත් විය. රජුගේ යටත් වැසියන් බවට ජනතාව පත් විය. රටේ වගකීම රජුට පැවරුණි. රටවැසියන් රැකීම සංරක්ෂණය කිරීම රජු සතු කාර්යයක් විය.

මේ සඳහා තෝරාපත් කර ගනු ලැබුයේ ද බුද්ධි සම්පන්න හා ප්‍රතාපවත් නරපතියෙකි. මේ පාලනය ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් ගන්නා ලදී. රජු ඒකාධිපතියකු නොවී දැහැමි පාලනයක් ගෙන ගිය බවට අපට සෙල්ලිපිවලින් කරුණු හෙළි වේ.

මේ රජවරු බුදුසමය කෙරෙහි දැඩි භක්තියක් දැක්වීම හේතුකොට ගෙන පන්සල්, දාගැබ්, සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල් ආදී බෞද්ධ සමයානුගත සංකේත රාශියක් ඉදිවීමට හේතු විය. රජවරු මේ සඳහා අනුග්‍රහය නොදැක්වූයේ නම් බුදු සමය මෙතරම් දුරට ව්‍යාප්ත නොවන්නට ඉඩ තිබුණි.

ඒකාකාරි මානසික දෘෂ්ටිය විවිධ පැතිකඩාශ්‍රිතව මෙහෙයවන ලද්දේ ද රාජ අනුග්‍රහය නිසා ය. ථෙරවාදි මහායානවාදී මත ප්‍රචලිත වුවද මේ දෙඅංශයෙන් ම සිදු වුයේ මිනිසාගේ වර්ධනයට බලපාන සාධකයන්ය.

නොඉවසු සමහරු දේශපාලන ක්‍රියාකාරකම් වැනි දෑ කෙරෙහි නැඹුරුවීමෙන් මහා විහාරයෙන් නෙරපන තරමට සංඝ සමාජ දෘෂ්ටිය පුළුල් වූයේය.

මහාවිහාර ආකල්පවලට ඉඳුරාම පටහැනිව ගිය අය නෙරපීමට තරම් උත්සුකවීමෙන් පෙනී යන්නේ ආදීනව හිතන්නට මතන්නට සංඝ සමාජයට මං පෙත් විවර කළේ රජවරු බවයි.

පාංශුකූලික - ධම්මරුවි

‘පාංශුකූලික ධම්මරුවි ආදි වෙනම නිකායයන් බිහිවීමට බලපෑම ඇති වූයේත් රජවරුන් ගෙන් ලැබුණු රාජ අනුග්‍රහය නිසාය.

මහාවිහාරයට වඩා අභයගිරිය ඉදිරියෙන් සිටීමට පිටිවහලක් වූයේ ද රජවරුන්ගේ නොමඳ සහාය අනුව ය. රජවරු අතර තිබුණු තරගය නිසා බුදු සමය වඩාත් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය. රජවරුන් අතර මෙබඳු තරගයක් නොවුයේ නම් කෙටි කාලයක් තුළදී බුදු සමය පුළුල් ලෙස ව්‍යාප්ත නොවන්නට තිබුණි.

සමාජානුබද්ධ ව හා පුද්ගලානුබද්ධව මෙසේ බුදුසමය පෙළ ගැසුණේ එම වකවානුවේ රාජාවලියෙන් ලත් පූර්ණ සහාය හේතුකොට ගෙන ය. ආගමික දහම් ව්‍යාප්ත වීමට පූර්ණ වශයෙන් රාජ අනුග්‍රහය නිබඳවම ලැබිය යුතු ය. අනුරපුර යුගයේ රජවරුන්ගෙන් ඒ කාරිය නොමඳව ම ලැබුණි. විදර්ශනාධුර සිට ග්‍රන්ථධුර දක්වා බුදු සමය ජනකාය අතර වඩාත් තදානුබද්ධ වුයේ එහි පල වශයෙනි.