අග්‍ර ප්‍රසාදනීය වස්තු
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය
ආචාර්ය එන්. තුසිත රාජපක්ෂ
සම්බුද්ධ සසුනක් පවතින යුගයක උපත ලබන සත්වයන්ට පැහැදීම සඳහා ඉතා ම අග්‍ර ම වූ
ශ්‍රේෂ්ඨතම වස්තූන් සතරක් පිළිබඳ ව අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ අග්ගප්පසාද
සූත්‍රයේ සඳහන් වේ.
එම වස්තූන් සතර පිළිබඳ දැනගැනීම හා කුසල සිතින් සිත පහදවා ගැනීම මෙලොව මෙන් ම පරලොව
සුගතියට ද හේතු වෙයි. එම සතර කවරේ ද යත්
බුදුරජාණන් වහන්සේ,
ආර්ය අෂ්ටාංගික මාර්ගය,
නිර්වාණය හා
ශ්‍රාවක සංඝ රත්නය යි.
බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ සැපය පිණිසම මෙම අග්‍ර ප්‍රසාදනීය දේ පිළිබඳ
දේශනා කර තිබේ.
උන්වහන්සේ දේශනා කරන්නේ “යාවතා භික්ඛවේ සත්තා අපදාවා දිපදා වා චතුප්පදා වා බහුප්පදා
වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා, අසඤ්ඤිනො වා නෙවසඤ්ඤානාසඤ්ඤිනො වා, තථාගතො
තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො...” ලෙස යි.
තුන් ලොවෙහි අග්‍ර ම පුද්ගලයා තථාගතයන් වහන්සේ ය. උන්වහන්සේ නිසා රහතන් වහන්සේ ලොවට
දායාද වෙති. මේ තුන් ලෝකයෙහි රූප අරූප ලෝකයාදියෙහි ජීවත් වන සිලු සත්ත්වයන් අතර
බුදුරජාණන් වහන්සේ අග්‍ර බවට පත් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පවා ලොවට
සුවයකි. මනුස්ස දේව බ්‍රහ්මාදින්ගේ වන්දනාවට පාත්‍ර වන තථාගතයන් වහන්සේ මේ ලොව
අග්‍ර වූ දසුනකි. එබැවින් උන්වහන්සේ අග්‍රස්ථානයෙහි ප්‍රසන්න වේ. අග්‍රස්ථානයෙහි
ප්‍රසන්නයනයට අග්‍ර විපාක ම ලැබෙයි.
මෙම සූත්‍රයෙහි දැක්වෙන අනෙක් අග්‍ර ප්‍රසාදනීය දේ බුදුන් වහන්සේ දක්වන්නේ මෙසේ ය.
“යාවතා භික්ඛවේ, ධම්මා සංඛතා, අරියො අට්ඨංගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති...” යම් පමණ
හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය” ඒ අනුව ආර්ය අෂ්ටාංගික
මාර්ගය අග්‍ර ප්‍රසාදයට ලක් විය යුක්ත ය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා,
සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධිය යි.
යම් පුද්ගලයකු නිවැරැදි දෘෂ්ටියක් ඇති විට එහි ආවසානික ඵලය වන්නේ නිවන යි. නිවැරැදි
අදහස්, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි පැවැත්ම, නිවැරැදි උත්සාහය,
නිවැරැදි සිහිය හා සමාධිය නිවන් මඟ ස්ථාවර කරයි. මෙම අංග අට පුද්ගලයාගේ අර්හත්වයට
හේතු වන්නකි. ලොව ඇති ප්‍රතිපදා අතර ශ්‍රේෂ්ඨතම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය
යි. එබැවින් මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍ර ප්‍රසාද විය යුත්තක් බව මෙම සූත්‍රයේ
සඳහන් වෙයි. එයින් අග්‍ර විපාකයන් ම සිදු වේ. අග්‍ර වූ චිත්ත ප්‍රසාදයට පත් විය
යුතු දේ අතර නිර්වාණය උසස් ය. “යාවතා භික්ඛවේ, ධම්මා සංඛතා වා අසංඛතා වා, විරාගො
තෙසං ධම්මානං අග්ගමක්ඛායති...” “හේතුයෙන් නිපන්නා වූ හෝ හේතුයෙන් නො නිපන්නා වූ හෝ
යම් පමණ දහම්හු ඇත් ද, ඔවුනට නිවන අග්‍රය යි කියනු ලැබේ.” රාග, ද්වේශ හා මෝහාදී
කෙලෙස් ප්‍රහීණත්වයට පත් වීම තුළින් පුද්ගලයාට නිවන සාක්ෂාත් වේ. ලෝකයෙහි ඇති සියලු
ගැටීම්, බැඳීම්වලින් නිදහස් වන්නේ ද නිර්වාණයෙනි.
චතුරාර්ය සත්‍යය අවබෝධ කළ තැනැත්තා නිවන සාක්ෂාත් කර ගනියි. විරාගය මේ ලෝකයෙහි ඇති
සැපයන් අතර අග්‍ර සැපය යි. එබැවින් එය අග්‍ර ප්‍රසාදයට ලක් විය යුතු බව දැක්වේ.
“යාවතා භික්ඛවේ, සංඝා වා ගණා වා, තථාගතසාවකසංඝො තෙසං අග්ගමක්ඛායති...” යම් පමණ සඟහු
හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගත ශ්‍රාවක සංඝ ඔවුනට අග්‍රය ය.”
තථාගතයන් වහන්සේගේ ධර්මය දරාගන්නා ශ්‍රාවක සංඝයා පුද්ගලයන්ගේ අග්‍ර ප්‍රසාදයට
සුදුසු වෙයි. එම ශ්‍රාවකයන් වහන්සේ සුපටිපන්න, උජුපටිපන්න ඤායපටිපන්න,
සාමීචිපටිපන්න, ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය අඤ්ජලි කරණීය, අනුත්තර
පුඤ්ඤක්ඛෙත්ත ගුණයෙන් යුක්ත වෙයි. සාවකසංඝයා කෙරෙහි යම් පුද්ගලයෙක් ප්‍රසාද වේ ද
එයින් යහපතක් ම සිදු වෙයි. එබැවින් අග්‍ර ප්‍රසාදනීය වෙයි. අග්‍ර විපාකයක් ම සිදු
වෙයි.
බුදුරජාණන් වහන්සේ වදාළ මෙම අග්‍ර ප්‍රසාදනීය වූ වස්තූන් කෙරෙහි යම් තැනැත්තෙක්
ප්‍රසන්න වේ නම් එම තැනැත්තාට අග්‍ර විපාකයන් ම සිදු වන බව මෙම සූත්‍රයෙහි සඳහන්
වේ. එසේ ම අග්‍ර ප්‍රසාදයට පත් වන බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්මය උදෙසා, ශ්‍රාවක
සංඝයා උදෙසා යමකු දන් දෙන්නේ ද එම තැනැත්තාට ආයුෂ, වර්ණ, කීර්තිය හා සැපය ආදිය
විපාක වශයෙන් ලැබෙයි. එසේ දෙව් බවට හො මිනිස් බවට පැමිණිය ද අග්‍ර ලෙස සතුටු වෙයි.
තුන් ලෝකයේ ම බුදුරජාණන් වහන්සේ, ධර්මය, ශ්‍රාවක සංඝ හා නිවන උත්තරීතරම ප්‍රසාදයට
පත් විය යුතු අග්‍ර ම වස්තූන් වෙයි. මනුෂ්‍යයන් පමණක් නොව දේව, බ්‍රහ්මාදී පිරිස්
පවා මෙම උත්තරීතර වස්තු විෂයයෙහි ගරුත්වය දක්වන්නේ එබැවිනි. මෙම වස්තූන් කෙරෙහි
අල්ප මාත්‍රයක වූ පැහැදීම පවා සුගතිගාමි දොරටු විවර වීමට හේතු වෙයි.
එබැවින් නිවන පිණිස කුසල් පූරනය කරන පිරිස් මෙම අග්‍ර ප්‍රසාදනීය වස්තු මනාව
හඳුනාගෙන තම සිත ඒ කෙරෙහි පහදවා ගැනීම නිවන කෙරෙහි ම හේතු සාධක වෙයි. |