Print this Article


බුදුරදුන් පෙන්වා වදාළ ධර්ම කථිකත්වයාගේ ස්වභාවය

බුදුරදුන් පෙන්වා වදාළ ධර්ම කථිකත්වයාගේ ස්වභාවය

දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිත තුන් ලොවෙහි ධර්මය හා ශ්‍රේෂ්ඨ උතුම් දෙයක් නොමැති බවත්, ඒ උතුම් දහම් මඟ ලෝකයාට පෙන්වා දී, නිවන් සුව අවබෝධ කර ගැනීමේ මඟ බුදුරදුන් පෙන්වා දුන් බවත්, එකී ධර්මය ලොවට කියා දෙන ධර්ම කථිකයාගේ වටිනාකම ද පසුගිය කලාපවල දී පෙන්වා දුනිමි.

සිවු පිරිස ම ධර්ම කථිකත්වයෙන් යුක්ත විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී මාරයා අමතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. වරක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේ සම්පූර්ණ භික්‍ෂූන් වහන්සේ නමක් වීමට නම් අංග අටකින් සම්පූර්ණ විය යුතු (අං.නි. තික.බු.ජ.මු. ඍ,298) බව ය.

සද්ධො - සැදැහැති බව

සීලවා - සිල්වත් බව

බහුස්සුතෝ - පෙළ දහම බොහෝ සේ උගත් බව

ධම්ම කථිකෝ - ධර්ම කථිකයකු වීම

පරිසාවචරෝ - පිරිස් මැද හොඳීන් හැසිරීම

විසාරදෝ පරිසාය ධම්මං දෙසෙති - දක්‍ෂව එඩිතර ව පිරිස් මැද දහම් දෙසන බව

චතුන්නං ඣානානං..... අකසිරලාභී - සතර ධ්‍යාන නිදුකින් ලබන බව

ආසවානං ඛයා..... උපසම්පජ්ජ විහරති - ආශ්‍රවයන් ක්ෂය කොට මෙලොව දී ම රහත් බව ලබා වෙසෙන බව

මේ අතරින් පළමු අංග හය ම පොදුවේ සෑම භික්‍ෂූන් වහන්සේ නමක් ම ඇතිකර ගත යුතු ඇතිකර ගත හැකි අංග වෙයි. එයිනුත් 3 - 6 යන අංග සතර ම ධර්ම කථිකත්වයට අදාළ වෙයි. එසේ ම මේ අංග එකක් හෝ තමා වෙත අඩු නම් එයින් එම භික්‍ෂූන් වහන්සේ අසම්පූර්ණ වන බවත් එය සපුරා ගන්නට වෑයම් කළ යුතු බවත්, එම සූත්‍රයේ සඳහන් වේ.

එසේ වුවත් ධර්ම කථිකත්වය හැමට ම ලැබිය හැකි සුලභ ශක්තියක් නොවේ. ධර්ම දේශකයෝ ලොව දුර්ලභ වෙති. ‘තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභෝ ලෝකස්මිං’ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දෙසන පුද්ගලයෝ ලොව දුර්ලභ වෙති යි වදාළේ එහෙයිනි. එසේ ම ධර්ම කථිකත්වය කාට හෝ පිහිටා තිබේ නම් එය ඔහුගේ උතුම් ලාභයක් බව - ‘අද්ධමිදං භික්ඛවේ ලාභානං යදිදං ධම්ම කථිකත්තං යනුවෙන් බුදුරජාණන් වහන්සේ ම වදාළහ.

එහෙත් වර්තමානයෙහි ධර්ම කථිකයෝ අපමණ සිටිති. එසේනම් ධර්ම කථිකයන් දුර්ලභ වන්නේ කෙසේදැ යි කෙනකුට සිතෙනු ඇත. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ධම්මකථික සූත්‍රයේ ධර්ම කථිකයන් සතර දෙනකු ගැන කියැවෙයි.

මෙලොව එක්තරා ධර්ම කථිකයෙක් කියන්නේ ස්වල්පයකි. එය ද හරයක් නැති ප්‍රලාප ය. එය අසන පිරිස ද හරවත් දේ හෝ නිසරු දේ තෝරා ගන්නට අසමත් ය.එබඳු පිරිසක් මැද ඒ කථිකයා ධර්ම කථිකයකු සේ ගැනේ.

තවත් ධර්ම කථිකයෙක් කියන්නේ ද ස්වල්පයකි. එහෙත් එය හරවත් ය. අසන පිරිස ද සරු දේ නිසරු දේ හෝ තෝරා ගන්නට සමත් ය. එබඳු පිරිසක් මැද ඒ කථිකයා ධර්ම කථිකයකු ලෙස ගැනේ.

තවත් ධර්ම කථිකයෙක් දිගින් දිගට ම බොහෝ දේ කියයි. ඒ සියල්ල නිසරු ය. අසන පිරිස ද සරු දේ, නිසරු දේ නිගමනය කර ගන්නට අපොහොසත් ය. එබඳු පිරිසක් මැද ඒ කථිකයා ධර්‍ම කථිකයකු සේ ගැනේ.

තවත් ධර්‍ම කථිකයෙක් ද බොහෝ දේ කියයි. ඒවා හරවත් ය. අසන පිරිස ද සරු දේ නිසරු දේ තෝරා ගන්නට සමත් ය. එබඳු පිරිසක් මැද එම කථිකයා ද ධර්‍ම කථිකයකු සේ ගැනේ.

මේ අතුරින් පළමුවන හා දෙවන කථිකයන් ධර්‍ම කථිකයන් වන්නේ අසන්නන් සරු දේ, නිසරු දේ තීරණය කර ගන්නට තරම් බුද්ධියක් නැති අනුවණ පිරිස් වීම නිසා ය. එහෙත් නුවණැත්තෝ ඔවුන් ධර්‍ම කථිකයන් ලෙස නො පිළිගනිති. තෙවන සතරවන කථිකයන් සැබෑ ධර්‍ම කථිකයන් බව නුවණැත්තෝ ද පිළිගනිති.

ධර්ම දේශනා පිළිවෙත

ධර්ම දේශනාවක් සිදු කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙලක් වේ. ඒ කෙසේද යන්න පහත කරුණු ඔස්සේ විමසා බලමු.

ධර්ම ගෞරවය හා සකස් ව දහම් දෙසීම

1. බුදුරදුන්ගේ ද ගුරු වූයේ ධර්මය යි.

බුද්ධත්වයෙන් පස්වැනි සතියේ දී අජපාල නුගරුක මුල වැඩ සිට බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ගුරුවරයකු අවශ්‍ය යැයි සිතිණි. එහෙත් ඒ සඳහා සුදුස්සෙක් තුන්ලොව නොවූ හෙයින් තමා අවබෝධ කරගත් ධර්‍මය ම ගුරු තන්හි තබා ගත්හ. එය සියලු බුදුවරුන්ගේ ම ධර්මතාවක් බව සහම්පති මහා බ්‍රහ්මයා එහිදී මෙසේ පැවසී ය.

‘අතීතයෙහි අනාගතයෙහි මෙන් ම වර්තමානයේ ද යම් බුදු කෙනෙක් වුහු නම්, වෙත් නම් ඒ සැම දෙනා වහන්සේ ධර්‍මය ගුරු කොට ගත්හ. ගුරු කොට ගනිති. එය සියලු බුදුවරුන් ගේ ධර්‍මතාව යි. එහෙයින් වැඩ කැමැති, මහත්වයට පත්වනු කැමැති, බුදුවරුන්ගේ අනුශාසනය සිහි කරන්නන් විසින් ධර්‍මය ගුරු කොට ගත යුත්තේ ය. මෙය මහාවග්ග පාලියෙන් මෙන් ම අං.නි. චතුක්ක නිපාතයෙහි පඨම උරුවේල සූත්‍රයෙන් ද පෙනේ.

II. බුදුරදුන්ගෙන් පසු ව ශාස්තෘවරයා ලෙස ශ්‍රාවකයන්ට අනුමත කරන ලද්දේ ද ධර්මය යි.

“යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයේන සත්ථා” ආනන්දය මා විසින් යම් ධර්මයක් දෙසන ලද ද, යම් විනයක් පනවන ලද ද, එය මාගේ ඇවෑමෙන් ඔබේ ශාස්තෘ වන්නේ යනුවෙන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දී වදාළහ. බුදුරජාණන් වහන්සේ ද ධර්‍මයට ගුරුවරයකුට සේ ගරු කළහ. ඒ නිසා ම උන් වහන්සේ කා හට දහම් දෙසුවත් සකස් ව පිළිවෙලකට දහම් දෙසූ හ.

III. ධර්ම ගෞරවය

අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සීහ සූත්‍රයේ දී මෙසේ වදාරති.“මහණෙනි, තථාගතයන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන කා හට දහම් දෙසුවත් සකස් ව දහම් දෙසති. නො සකස් ව දහම් නො දෙසති. සාමාන්‍ය ජනයාට - අවම වශයෙන් තණ කපන්නකුට, වැද්දකුට දහම් දෙසුවත් සකස් ව දහම් දෙසති. අපිළිවෙළට නො දෙසති. ඒ කුමක් නිසා ද යත්, තථාගතයන් වහන්සේ ධර්මය ගුරු කොට ඇති සේක. ධර්මයට ගෞරව කරන සේක. මේ අනුව ධර්ම කථිකයා ධර්මයට ගුරුවරයකු ට සේ ගරු සරු ඇති ව සකස් ව පිළිවෙළකට දහම් දෙසිය යුතු ය. ධර්මයට අගරු වන පරිදි නො සැලකිල්ලෙන් අපිළිවෙළට නො දෙසිය යුතු ය.

IV. සකස් ව දහම් දෙසීම

දේශකයා ධර්මය හා පාලි භාෂාවත් හොඳීන් ඉගෙන සකස් විය යුතු ය.

දේශනය කිරීමේ දී ලාභාපේක්‍ෂාදියෙන් තොර ව ආධ්‍යාත්මික ව සකස් වී දහම් දෙසිය යුතු ය.

කරන දේශනය ක්‍රමවත් ව සංවිධානය කරගෙන සූදානම් වී ශ්‍රාවකයාගේ මට්ටම ගැන සලකා දෙසිය යුතු ය. මේ අතුරින් පළමුවැන්න වන දේශකයා දැනුමෙන් සන්නද්ධ වීම පිළිබඳ ව පෙර සඳහන් කෙරිණි. සෙසු කාරණා දෙක ඉදිරියේ දී සාකච්ඡා කෙරේ.

ධර්ම දේශනයට පෙර සැලකිය යුතු කරුණු

I. ධර්ම දේශක ගුණාංග

දිනක් උදායි තෙරණුවෝ මහ ගිහි පිරිසක් පිරිවරාගෙන දහම් දෙසමින් හුන්හ. ඒ බව අනඳ තෙරුන් බුදුරදුන්ට දැන්වූ විට උන්වහන්සේ මෙසේ වදාළහ.

“ආනන්දයෙනි අනුන්ට දහම් දෙසීම පහසු කරුණක් නොවේ. අනුන්ට දහම් දෙසන්නා තමා කරුණු

පහකින් සමන්විත ව දෙසිය යුතු බව අං.නි. පංචක නිපාතයෙහි සඳහන් වේ.

1) ආනුපුබ්බි කථා - අනුපිළිවෙළ කථාවට අනුව දහම් දෙසමියි’ ද,

2) පරියාය දස්සාවි - හාත්පසින් කරුණු ගෙන හැර පාමින් දෙසමියි’ ද,

3) අනුද්දයතං පටිච්ච - අනුකම්පා පෙරදැරි කරගෙන දහම් දෙසමියි ද,

4) න ආමිසන්තරෝ - ලාභ සත්කාර මැදිහත් කර ගැනීමෙන් තොර කථාවෙන් දහම් දෙසමියි ද,

5) අත්තානං ච පරං ච අනුපහච්ච - තමා හෝ අනුන් නො ගටා (ගාවා නොගෙන) දහම් දෙසමියි’ ද, යනු ඒ කරුණු පහ යි.

1) අනුපුබ්බි කථාව නම් - දානයට අනතුරු ව සීලයත්, සීලයට අනතුරු ව ස්වර්ගයත්, ස්වර්ගයට අනතුරු ව මාර්ගයත් යන පිළිවෙළට කරුණු දැක්වීම ය.

දාන කථා - පරිත්‍යාගශීලී භාවය ගැන කීම

සීල කථා - හික්මීම ගැන, විනය ගැන කීම

සග්ග කථා - දෙවි,මිනිස් ස්වර්ගයට මඟ කීම

කාමානං ආදීනවං - පස්කම් හි දොස් දැක්වීම

ඔකාරං - පංචස්කන්ධයෙහි ළාමක, නිසරු බව කීම

සංකිලෙසං - කෙලෙසුන්ගෙන් කිළිටි වන හැටි කීම

නෙක්ඛම්මෙ ආනිසංසං - කාමයන්ගෙන් වෙන්වීමේ අනුසස් කීම

2) පරියාය දස්සාවි

-පරියාය යන්නෙන් හේතුව, කාරණය, දේශනා, වාරය, විවේචන, සමානාර්ථ පද, ප්‍රකාර, ප්‍රස්ථාව යන අර්ථ රාශියක් ලැබේ.

මීට අමතර ව පරියාය නමින් දෙසූ සූත්‍ර රැසක් ද තිබේ. මූල පරියාය, නිබ්බේධික පරියාය, සබ්බාසව පරියාය යනු ඉන් කිහිපයකි. ඒවායේ ඇතුළත් දේශනා ක්‍රමය අනුව පරියාය යන්නෙන් ක්‍රමය, න්‍යාය, ප්‍රභේද ආදී අර්ථ ලැබේ.

මේ අනුව දේශකයා තමන් දෙසන මාතෘකාව පිළිබඳව

* හේතු, කාරණා, සාධක දැක්වීම

* ඊට පදනම් වන ධර්ම න්‍යාය දැක්වීම

* ධර්ම - අර්ථ - පද පිළිබඳ විවරණ සැපයීම

* උපමා - උදාහරණ ආදිය දැක්වීම

* ප්‍රභේද, විවිධ ප්‍රකාර දැක්වීම

අවශ්‍ය වූ විට ධර්මයට බැහැරින් කරුණු ගෙන හැර දැක්වීම පරියායදස්සාවි යන්නෙන් අදහස් වන බව පෙනේ.

3) අනුද්දයතං පටිච්ච

අනුකම්පාව පෙරදැරි කරගෙන දහම් දෙසීම පිළිබඳ ව කස්සප්ප සංයුත්තයෙහි චන්දූපම සූත්‍රයේ මෙසේ සදහන් වේ. “මහණෙනි අනුන්ට දහම් දෙසන භික්‍ෂූන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තම තමන් ම අවබෝධ කළ යුතු ය.”

මා දෙසන ඒ ධර්මය අනේ ! මහජනයා අසත් නම්, අසා දැන ගනිත් නම්, දැනගෙන දැහැමි වීම පිණිස පිළිපදිත් නම් මැනවැ යි කියා ධර්මයේ යහපත් භාවය ප්‍රකට කරනු පිණිස දහම් දෙසයි නම්, කරුණාව පෙරදැරි කරගෙන දහම් දෙසයි නම්, දයාව අනුකම්පාව පෙරදැරි ව දහම් දෙසයි නම් එබඳු භික්‍ෂුවගේ ධර්ම දේශනාව පිරිසිදු දෙසුමක් වේ.

4) න ආමිසන්තරෝ

ධර්ම දේශකයකු තම දේශනාවට ආමිසය හෙවත් ලාභ සත්කාර මැදිහත් කර ගැනීමේ දෝෂය ද එම සූත්‍රයේ ම මෙසේ දැක්වේ. “මහණෙනි යම් භික්‍ෂුවක් අනේ! මහජනයා මගේ ධර්ම දේශනාව අසත්වා, අසා මගේ දේශනාවට පැහැදෙත්වා, පැහැදී පැහැදුණු බව ලාභ සත්කාරයෙන් පෙන්නුම් කෙරෙත්වා යන මේ සිතින් අනුන්ට දහම් දෙසයි නම්, එබදු භික්‍ෂුවගේ ධර්ම දේශනාව අපිරිසුදු දේශනාවක් වෙයි. (චන්දූපම සූත්‍රය සං.නි.)

5) අත්තානං ච පරං ච අනුපහච්ච - තමනුත් අනුනුත් ගාවා ගෙන දහම් දෙසීම යි.

I. අත්තුක්කංසන - තමා හුවා දැක්වීම සහ තමා වර්ණනා කර ගැනීම. මෙය ඇතැම් පැවිද්දන්ට වැළදෙන රෝගයක් බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර චතුක්ක නිපාතයේ රෝග සූත්‍රයේ දී වදාරති.

“මහණෙනි මේ සසුනෙහි භික්‍ෂුවක්, මෙයින් මහජනයා මා පිළිගනු ඇතැයි තමා ගැන ඉහළින් සිතාගෙන නිවෙස්වලට යයි නම්, ඉහළින් සිතාගෙන වැඩ හිඳී නම්, ඉහළින් සිතාගෙන දහම් දෙසයි නම්, ඉහළින් සිතාගෙන මළ මූ වේග පවා දරා සිටී නම් මහණෙනි, මේ පැවිද්දකුගේ රෝග සතර යි. (මේ සතර වැන්න යි)

පරවම්භන - අනුන් හෙළා දැකීම, අනුන්ට පහර ගසන අදහසින් දහම් දෙසීම, දේශකයකු විසින් නො කළයුත්තකි. විශේෂයෙන්

තමා ඉදිරියේ සිටින ශ්‍රාවකයා හෙළා නොදැකීමට දේශකයා ප්‍රවේශම් විය යුතු ය.

II. අවබෝධයෙන්, අවබෝධ කරවනු පිණිස දහම් දෙසීම

ධර්ම දේශකයා දේශනයට පෙර තමන් දෙසන දෙය වටහා ගත යුතු ය. දෙවනු ව ශ්‍රාවකයාට අවබෝධ කරවනු පිණිස දහම් දෙසිය යුතු ය. “මහණෙනි, කරුණු 03ක් සලකාගෙන අනුන්ට දහම් දෙසීම සුදුසු ය.”(අං.නි. බු. i ,272 පිටුව)

දෙසන්නාත් අටුවාවත් දැනගන්නේ ය, පෙළ දහමත් දැනගන්නේ ය.

අසන්නාත් අටුවාවත් දැනගන්නේ ය, පෙළ දහමත් දැනගන්නේ ය.

දෙසන අසන දෙදෙනා ම අටුවාවත් පෙළ දහමත් දැනගන්නාහ. යනු ඒ කරුණු ය.

2. ධර්මයට හිතුමතේ අර්ථ දැක්වීම නුසුදුසු ය. එසේ ම අටුවාවත් පෙළදහමත් තේරුම් නො ගෙන කරන දේශනය ශ්‍රාවක සන්තානය තුළ තහවුරු නොවේ. දේශකයාත් අවිශ්වාසයෙන් කරන දේශනය ශ්‍රාවකයා තුළ විශ්වාසයක් ඇති නො කරන බැවිනි. “මහණෙනි, කරුණු 03කින් යුක්ත ව කරන කථාව ඵලදායී වේ. තහවුරු වේ.

* දෙසන්නාත්, අටුවාවත්, පෙළදහමත් දැනගෙන දෙසන්නේ ද,

* අසන්නාත් අටුවාවත්, පෙළදහමත් වටහාගන්නේ ද,

* දෙසන්නා මෙන් ම අසන්නාත් අටුවාව හා පෙළදහම දැනගන්නේ වේ ද, යනු ඒ කරුණු 03 යි.

ධර්ම දේශක ආචාර ධර්ම

ගීතස්වරයෙන් දහම් නොදෙසිය යුතු ය.

(අ) ගීතස්වරයෙන් දහම් දෙසීමේ ආදීනව අං.නි. ගීතස්සර සූත්‍රය තුළ දී මෙසේ පෙන්වා දී තිබේ.

* තමනුත් එම ස්වරයෙහි ඇලෙයි.

* අනුනුත් එම ස්වරයෙහි ඇලෙති.

* ‘භික්‍ෂූන් වහන්සේ ගිහි අප සේ ගයති’යි ගිහියෝ අවමන් කරති.

* ස්වර තනු රැක ගැනීමේ අදහසින් ගයන විට පැවිද්දකුගේ සමාධිය බිඳ වැටේ.

* ඊළඟ පරපුර ද එය ම අනුගමනය කිරීමට පෙළඹෙති.

(ආ) ගීතය හැඩීමක් වැනි ය.

අං.නි. තික. නිපාතාගත සූත්‍රයක දී මෙසේ පෙන්වා දේ. “මහණෙනි, ආර්ය විනයෙහි ගීතය හැඩීමකි, නැටීම උමතුවකි, දත් විදහා කරන සිනාසීම බොළඳ ක්‍රියාවකි.”එබැවින් ගීතයෙන් සහමුලින් ම වැළකිය යුතු ය. නැටීමෙන් ද සහමුලින් ම වැළකිය යුතු ය. කිසියම් දැහැමි ප්‍රීතියක දී මද සිනාව ඔබට ප්‍රමාණවත් ය.

III. බුදුරදුන් දෙසූ දේ සහ නො දෙසූ දේ

ධර්ම දේශකයකු කිසි විටෙකත් බුදුරදුන් දෙසූ දේ, නො දෙසූ ලෙසටත්, නො දෙසූ දේ, දෙසූ ලෙසටත් නො කිව යුතු ය.

“මහණෙනි දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අපහාස කරත්, ඒ දෙදෙනා පිළිබඳ අං.නි. II, 118 පිටුවෙහි දැක්වේ.

භාග්‍යවතුන් වහන්සේ නො වදාළ නො දෙසූ දේ තථාගතයන් වහන්සේ වදාළහයි, දෙසූහයි කියන්නාත්, තථාගතයන් වහන්සේ වදාළ දේ, දෙසූ දේ නො වදාළහ, නො දෙසූහයි කියන්නාත් ය.

IV. නෙය්‍යත්ථ - නීතත්ථ දේශනා

ධර්ම දේශකයන් සූත්‍ර ධර්ම විවරණයේ දී ප්‍රවේශම් විය යුතු ය. එය අටුවානුසාරයෙන් ම අර්ථ විමසා බලා කළ යුත්තකි.

“මහණෙනි, දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අපහාස කරන්නාහ. ඒ දෙදෙනා නම්,

මතුපිටින් අර්ථය නො පෙනෙන, අටුවා ටිකා අනුසාරයෙන් අර්ථ මතු කරගත යුතු (නෙය්‍යත්ථ) සූත්‍රවල මතුපිට අර්ථය නියම අර්ථය යැයි දක්වන්නාත්, සූත්‍රයෙන් ම සැබෑ අර්ථය ප්‍රකට කරන සූත්‍රවලට ඊට අදාළ නැති සැඟවුණු අර්ථ ගෙනහැර දක්වන්නාත් ය. (අං.නි. බු.ජ.මු. I,118)

මේ අනුව ඇතැම් සූත්‍රයක පෙනෙන අර්ථය ම එහි නියම අර්ථය වන අතර තවත් සූත්‍රයක සැබෑ අර්ථය පෙනෙන අර්ථයට වඩා ගැඹුරු ය.

සූත්‍ර විවරණයේ දී මේ ගැන සැලකිලිමත් විය යුතු ය.

නිදසුන් ලෙස -

චක්කවත්ති සීහනාද සූත්‍රයේ (දී.නි. III,96) “ගොචරෙ භික්ඛවේ, චරථ සකෙ පෙත්තිවිසයේ ” යන තැන සිය පිය උරුමය වූ ගොදුරු බිමෙහි හැසිරෙන්න. යන්නෙහි සැබෑ අර්ථය සතර සතිපට්ඨානයෙහි යෙදෙන්න යනු යි. ඇතැමෙක් එය නො සලකා ගොදුරු බිම යන්නට වෙනත් අරුත් සපයති.

ජීවක සූත්‍රයෙහි (ම.නි. II,54) ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන බුදුරදුන්ගේ අදහස් පැහැදිලි ව තිබිය දී එයට එයින් නො කියවෙන අදහසක් ඇතැම්හු ආරෝපණය කරති.

බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ඒ ආකාරයෙන් ම ශ්‍රාවකයා වෙත සන්නිවේදනය කිරීම සැබෑ ධර්මදූත මෙහෙවරයි. වත්මනේ දී තම තමන්ට අභිමත පරිදි පෙරැ කී කරුණු පිළිබඳ අවබෝධයක් හෝ ධර්මය නිසි පරිදි නො හදාරා සිදු කරන දම් දෙසුම් නිසා හෝ සිදුව තිබෙන පරිහානිය සුවිසල් ය. එය වළකාලනු වස් මෙම ලිපිය උපකාර වේවා!