Print this Article


වරදවා නොසිතිය යුතු තැන්...

වරදවා නොසිතිය යුතු තැන්...

දෙවියන්ට පි‍්‍රයමනාප භික්ෂූන් අතර අගතැන්පත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේගෙන් එක් නමක් වන පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ පෙර භවයන්හි එක දිගට ජාති පන්සියයක් බ්‍රහ්මණවංශික ව උපන්හ. සසර පුරුද්දට අනුව “කෙසේද වසලය”, “කුමක්ද වසලය” යනාදී වශයෙන් සැඬොල් ව්‍යවහාරයෙන් ඇමතීම ගැන කලකිරුණු භික්ෂූහු ඒ බව තථාගතයන් වහන්සේට දන්වා සිටියහ. මහා සංඝරත්නය ඇමතූ භාග්‍යවතුන් වහන්සේ පෙර භවයන්හි ඇති කරගත් සංසාරික පුරුද්දක් ඊට හේතුවී ඇති බවත්, තෙරණුවෝ කිසිවකු සමඟ ද්වේෂයෙන් එසේ කතා නොකරන හෙයින් වරදවා තේරුම් නොගත යුතු බවත් වදාළ සේක.

දිනක් පිළින්දිවච්ඡ රහතන් වහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාවේ දී තිප්පිලි පුරවා ගත් භාජනයක් රැගෙන යන පුරුෂයකු මුණගැසේ.” ‘වසලය, භාජනයේ කුමක්දැයි” විචාළහ. එබස් අසා කෝපයට පත් හෙතෙම එහි ඇත්තේ මී බෙටි යැයි පිළිතුර දෙයි. උන්වහන්සේ ‘සැඩොල, එසේම වේවා’ යැයි වදාරති. ටික් දුරක් ගිය පුරුෂයා භාජනය පිරික්සා බැලු විට දැන් එහි ඇත්තේ ඇත්තටම මී බෙටි බව දකියි. මේ තැනැත්තා නැවතත් වුවමනාවෙන් ම උන්වහන්සේ අභිමුඛයට පිවිසේ. රහතන් වහන්සේ පෙර පරිදිම ‘වසලය, භාජනයේ කුමක්දැයි’ විචාරති. මෙවර උපායශීලී වූ පුරුෂයා භාජනයේ ඇත්තේ තිප්පිලි යැයි පිළිවදන් දෙයි. ‘සැඩොල, එසේම වේවා’යි රහතන් වහන්සේ වදාළහ. ඉන් අනතුරුව භාජනය පිරික්සූ ඔහු දැන් ඒ තුළ ඇත්තේ තිප්පිලි බව දැක සතුටට පත් වේ.