ගෘහය සරසන ගෘහිණිය
යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම උදෙසා බුදුදහමේ ඇති අගනා සූත්‍ර දේශනාවකි සිඟලෝවාද
සූත්‍රය. සිඟාලෝවාද සූත්‍රයට අනුව බිරිඳකගෙන් සැමියකුට සහ සැමියකුගෙන් බිරිඳකට
ඉටුවිය යුතු යුතුකම් ගැන විග්‍රහ කර ඇත.
ආදර්ශවත් ගෘහ ජීවිතයක් යනු අඹුසැමි දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් අවබෝධයෙන් කටයුතු
කරමින් සාමකාමී ව ගතකරන ජීවිතයයි. සමාජ සංස්ථා අතර කුඩාම සංස්ථාව පවුල් සංස්ථාවයි.
පවුල් සංස්ථා සාමකාමී වන තරමට මහ සමාජය ද අර්ථ සම්පන්න වෙයි.
බෞද්ධ උපදේශනය මනාව තේරුම් ගත් උදවිය සාමකාමී ව ආදර්ශවත් ව පවුල් ජීවිත ගත කරයි.
ඒවාට අනුගත නොවී සැමියා බිරිඳ තේරුම් නොගනිමින් කටයුතු කරන පිරිස් වර්තමානයේ දී
සුලභ බව කිව යුතු ය. පවුල් සංස්ථාව සාර්ථක වීමට නම් බිරිඳ විසින් සැමියාට ඉටුකළ
යුතු යුතුකම් පහක් සහ සැමියා විසින් බිරිඳට ඉටුකළ යුතු යුතුකම් පහක් සිඟාලෝවාද
සූත්‍රය ඇසුරෙන් බුදුරදුන් දේශනා කර ඇත.
නිවෙසේ කටයුතු මනාව සංවිධානය කිරීම, නිවෙසේ වැඩ කටයුතු සහ ඒවාට අදාළ මුදල් පිළිබඳ
කටයුතු යහපත් අයුරින් සංවිධානය කිරීම, යහපත් බිරියකගේ ලක්ෂණයයි. ගේ දොර වැඩ කටයුතු
හොඳින් සංවිධානය කළ හැක්කේ බිරිඳටයි. වර්තමානය වන විට බහුතරයක් කාන්තාවෝ රැකියා
කරති. එහෙයින් ගෙදර දොරේ වැඩ කටයුතුවල වගකීම කාන්තාවට පැවරීම අසාධාරණ යැයි කෙනකු
සිතිය හැකි ය. එසේ සිතීමේ අසාධාරණයක් ද නැත. එහෙත්
ස්වාමියා නිවෙසට අවශ්‍ය ආහාර,
කළමනා සැපයීමට ද බිරිඳ ගේදොර වැඩ කටයුතු කරමින් දරුවන් රැක බලා ගැනීම ද කළ යුතු බවට
අදහසක් අතීතයේ පැවතිණි. පරිණාමය වී ඇත. මනෝ විද්‍යාත්මක ව ගත් කල නිවෙසේ වැඩකටයුතු
සංවිධානය කිරීමේ වැඩි හැකියාවක් ඇත්තේ කාන්තාවටයි. එසේම මේ කාරණාව නිසාම පිරිමියා ඒ
වැඩ කටයුතු පිළිබඳ වැඩි බරක් ගන්නා බවක් ද නොපෙනෙයි. වැඩකටයුතු මනාව සංවිධානය කිරීම
ගැන සලකා බැලීමේ දී ගෙදර වැඩකටයුතු කාන්තාව පමණක් ම කළ යුතු යැයි මෙයින් අදහස්
නොකෙරේ. සැමියාගේ හිත දිනාගෙන ඔහු ද නිවෙසේ වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට
කාන්තාවක් බුද්ධිමත් විය යුතු ය.
අතීතයේ පවුල් සංස්ථාවල ඥාති හිතමිත්‍රාදී සම්බන්ධතා ඉතා ශක්තිමත් වූ බව රහසක් නොවේ.
එහෙත් වර්තමානයේ කාර්යබහුලත්වය සමඟ ඥාතීන් ඇසුර සහ හිත මිතුරු ඇසුර සීමා වී ඇත.
මෙහිදී කාන්තාවන් කරන තවත් වරදක් අප දැක ඇත.
වර්තමානයේ බොහෝ කාන්තාවෝ තමන්ගේ ඥාතීන්ට පමණක් මුල් තැන දෙති. ඔවුන්ට පමණක් ධන
ධාන්‍යයෙන් සලකති. සැමියාගේ මව, පියා, සහෝදරයන් හිතවතුන් ඇසුරු කරනවාට, ඔවුන්ට
සලකනවාට අකැමැති බිරින්දෑවරුන්ට උදාහරණ ඕනෑ තරම් මේ සමාජයෙන් ම දැක ගත හැකි ය.
එහෙත් දෙපාර්ශ්වයේ ම ඥාතීන්ට සම තැන දෙමින් ආදරණීය ලෙස සැලකිය යුතු බව බුද්ධ
දේශනාවයි. එවිට සැමියාගේ ආදරය දිනා ගැනීම පහසු ය.
සැමියා හැර අන් පුරුෂයන් නොපතන ස්ත්‍රියට පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතා පහසු
ය. වර්තමානයට මේ කාරණාව සම්බන්ධ කිරීමේ දී සැමියාට හොරෙන් සමාජ මාධ්‍ය හරහා නාඳුනන
පුද්ගලයන් සමඟ විවිධ සම්බන්ධතා ඇති කරගෙන අනවශ්‍ය ගැටුම් ඇතිකර ගත් ස්ත්‍රීන්ගේ කතා
බොහෝ ඇත. ඒවා දුරදිග ගොස් මිනීමැරුම් අපරාධ දක්වා දිග්ගැස්සුණු අවස්ථා ද සුලබ ය.
සැමියා සමඟ ගැටලුවක් ඇති නම් කළ යුත්තේ එයට විසඳුම් සෙවීම මිස වළකින් තවත් වළකට
පැනීම නොවේ.
උපයන ධනය වැය කළ යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරති. එයින් එක්
කොටසක් පරිභෝජනයට ද කොටස් දෙකක් ආයෝජනයට සහ ඉතිරිය ඉතිරි කළ යුතු බව ද එම
ඉගැන්වීමයි.
අතීතයේ විසූ කාන්තාවෝ සැමියා ඉපයූ ධනය සකසුරුවමින් පරිහරණය කළහ. මුදල් දී එළවළු
ගන්නවා වෙනුවට හැකිතරම් ඒවා වත්තපිටියේ වවා ගැනීමට ඔවුහු කටයුතු කළහ. එසේම ඉතිරිවන
කොස් ඇටයක්වත් අහක නොදැමූ අතීතයේ කාන්තාවෝ ඒවා මුළුතැන්ගේ දුමේ එල්ලා නැති වේලාවට
භාවිතයට ගත්හ. සාම්ප්‍රදායික ක්‍රමවලින් ආහාර කල්තබා ගත් ඔවුහු ඒවාට යන වියදම ඉතිරි
කර ගත්හ.
වර්තමාන කාර්යබහුලත්වය සමඟ රැකියා කරන කාන්තාවන්ට මෙවන් දේ කළ යුතු යැයි පැවසීම
අසාධාරණයි. එහෙත් අප මේ ගෙවන්නේ දැඩි ආර්ථික අපහසුතා සහිත කාලයකි. අනවශ්‍ය වියදම්
කපාහැර අත්‍යවශ්‍යම දේට මුදල් වැය කරන්නේ නම්, මෙවැනි කලක දී වුවත් ජීවිතය හොඳින්
කළමනාකරණය කර ගැනීමට සකසුරුවම් බිරියට හැකි ය.
සියලු කටයුතුවලට දක්ෂයි
නිවෙසක මවක් කම්මැලි කුසීත කාන්තාවක් නම් ඒ පවුලේ ස්වාමියාගේත් දරුවන්ගේත් දියුණුව
අඩාල වන බව බුද්ධ දේශනාවයි. කම්මැලි නැතිව කඩිසරව සැමියාටත් දරුවන්ටත් යහපත් මාර්ගය
පෙන්වමින් කටයුතු කළ යුතු ය. බ්‍රාහ්මණ සමාජය තුළ කාන්තාව පහත් කොට සැලකුණි. එකල
මතය වූයේ විවාහය රැක ගැනීම සහ පවුලේ කටයුතු සියල්ල කිරීම හුදු කාන්තාවගේ වගකීමක්
බවයි. එහෙත් බුද්ධ ධර්මය තුළ කාන්තාවට හිමි වූයේ උපාසිකා තත්ත්වයයි. එසේම ගෘහය තුළ
බිරිඳක මවක ලෙස ඇයට උත්තරීතර තැනක් හිමිවිය. බිරිය වෙනුවෙන් සැමියා ඉටුකළ යුතු
වගකීම් ගැන බෞද්ධ ඉගැන්වීම්වලින් කරුණු සනාථ වෙයි.
පි‍්‍රය වචනවලට, ආදරණීය වචනවලට ස්ත්‍රීන් ස්වභාවයෙන් ම රුචි ය. කාන්තාවන් කන පිනවන
චාටු කතාවලට කැමැති බව එකල විසූ පඬිවරුන් පවා ලියූ කරුණකි. කාන්තාවකගේ මේ ගතිගුණය
අවබෝධ කරගෙන ඇයට ආදරණීය වචනයෙන් කතා කිරීම, ඇයගේ සිත සතුටු වන බස් දෙඩීම සැමියාගේ
යුතුකමකි. විවාහ වී කොපමණ කලක් ගතවුවත් එලෙස ඇගේ කන පිනවිය හැකි නම් සාර්ථක විවාහ
ජීවිතයක් ගත කළ හැකි බව මෙයින් කියැ වේ.
අනියම් සබඳතා වර්තමාන සමාජයේ පවුල් අවුල් කරන ප්‍රබල ගැටලුවකි. මෙවන් සබඳතා නිසා
අඹු සැමියන් පමණක් නොව, පවුලේ පුංචි දරුවන් ද පීඩා විඳිති. බිරිඳගේ වරදක් ඇත්නම් ඇය
සමඟ එය කතාබස් කොට විසඳා ගැනීමට උත්සාහ කළ යුතු ය.
කාන්තාවන් කටයුතු සංවිධානය කිරීමේ දක්ෂ ය. එහෙයින් නිවෙසේ වැඩ කටයුතු සහ ඒවාට අදාළ
මුදල් පරිහරණ කටයුතු බිරිඳට බාරදිය යුතු බව මෙහි අදහසයි. බිරිඳට සියලු කටයුතු බාර
දී තමා කිසිවක් නොකර සිටිය යුතු බව මෙයින් අදහස් නොවේ. එහෙත් අද සමාජ සංකීර්ණත්වය
සමඟ සැමියාට ආර්ථික ශක්තියක් වීමට බහුතරයක් කාන්තාවෝ කටයුතු කරති. බිරිය තමාට දෙන ඒ
ශක්තිය වටහාගෙන හැකි පමණ නිවෙසේ වැඩ කටයුතු සහ දරුවන්ගේ වැඩ කටයුතු බෙදා හදා ගැනීම
යහපත් ස්වාමිපුරුෂයකුගේ ලක්ෂණයකි.
තමාට ශක්ති පරිදි ඇඳුම් පැලඳුම් ආභරණ ලබාදීම කළ යුතුය.
ස්ත්‍රිය ස්වභාවයෙන් ම ඇඳුම් පැළඳුම් ආභරණ වැනි දෑට ආශා ඇත්තියකි. බුදුන් වහන්සේ
පවුල් සංස්ථාව රැකදෙන මෙවන් සියුම් කරුණු ගැන පවා සිතා තිබෙන බව පැහැදිලි ය.
කාන්තාවකගේ සිත දිනා ගැනීමට නම් පිරිමියා මේ කරුණ අවබෝධ කරගත යුතු ය. ඉඳ හිට හෝ ඇයට
තමන්ගේ වියදම් කිරීමේ හැකියාව අනුව ඇයට ත්‍යාග ලබාදිය යුතු ය. එදා බුදුන් දෙසූ ධර්ම
කරුණු වර්තමාන සමාජයටත් ගැළපෙන බව මේ කරුණුවලින් පැහැදිලි වේ. බොහෝ අඹු සැමියන්
ආදරෙන් ඉන්නේ විවාහ වී කෙටි කාලයයි. ඒ කතාව අපට නිතර නිතර සමාජයේ දකින්නට ලැබේ.
පවුල් සංස්ථාව ගත කළ යුතු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දෙසූ දහම අනුගමනය කරන්නේ
නම්, සැමියා බිරිඳ සමඟ ආදරණීය පවුලක් ගත කිරීම අපහසු නොවේ.
-
විතානගේ රුක්මල් |