Print this Article


 බියකරු සසරටගෙන යන කර්ම

 බියකරු සසරට ගෙන යන කර්ම

සත්ත්වයා ඉන්ද්‍රිය ඔස්සේ ගන්නා අරමුණු මම ය, මාගේ ය ලෙස ගෙන, ඒ පිළිබඳ ව ඇලීම් ගැටීම් ඇතිකර ගන්නේ ය. මින් හටගන්නා කර්මවල විපාක, ප්‍රතිසන්ධි සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් විපාක දෙමින් සත්ත්වයා සසරේ සැරිසරවයි.

පංච ඉන්ද්‍රියයන් ඔස්සේ අරමුණු ගැනීම නිසා, සංස්කාර උපදින ආකාරය පටිච්චසමුප්පාද ධර්මයෙහි පැහැදිලි කෙරෙන මූලික අංගයක් වෙනවා. උදාහරණයක් ලෙස ඇසින් රූප දැකීම සලකා බලමු. ඇසෙන් රූපයක්‌ දැකලා එම රූපයට ඇලෙනවා. එම රූපය හඳුනා ගන්නවා. හඳුනාගත් රූපය ගැන සිතනවා.

බුදුන් වහන්සේ, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් දක්වා ඇත්තේ, “මහණෙනි, චේතනාව (හෙවත් සිතීම) කර්මය යැයි කියමි.” යන්න යි. ඉන් පැහැදිලි වන පරිදි, සිතනවා යනු සංස්කාර රැස්වීමයි. සත්ත්වයා දෙයාකාරයක සංස්‌කාරයන් නිරතුරුව ම රැස්‌කරනවා. ඒවා කුසල් සහ අකුසල් සංස්‌කාරයි. තරුණයි, ලස්‌සනයි ආදී වශයෙන් දැක්‌කා වූ රූපය නිසා ලෝභ සිතක්‌ ඇතිවෙනවා. එවිට අකුසල් සංස්‌කාර ඇතිවෙනවා. වෙනත් රූපයක් දැක හරි ආඩම්බරයි යනුවෙන් එම රූපය ගැන සිතනවා. එසේ දැක්‌කා වූ රූපය නිසා ද්වේශ සිතක්‌ ඇතිවෙනවා. මෙහිදී, අකුසල් සංස්‌කාර ඇතිවෙනවා. තවත් විටෙක දැක්‌කා වූ රූපය නිසා අලෝභ, අද්වේශ සිතක්‌ එනම් කුසල් සංස්‌කාර ඇතිවෙනවා.

සිතන සෑම සිතිවිල්ලක්‌ ම අනාගතයේ විපාක දීම සඳහා කුසල් හෝ අකුසල් හෝ සංස්‌කාර රැස්‌කර දෙනවා. හඳුනාගැනීම නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා හඳුනාගන්නා වූ දෙය ගැන සිතනවා. සිතන මොහොතක්‌ පාසා විතර්ක ඇතිවෙනවා. විතර්ක ඇතිවෙන මොහොතක්‌ පාසා සංස්‌කාර සකස්‌ වෙනවා. ජීවිතයේ වැඩි වශයෙන් සිදුවන්නේ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ දෙයට ඇළී, ගැටී, ඇලු‍ණු - ගැටුණු දෙය හඳුනාගෙන, හඳුනාගත්ත දෙය ගැන සිතීම යි.

මේ සිතීමේ පුරුද්ද නිසා මොනතරම් සංස්‌කාර අපි සකස්‌ කර ගන්නවා ද? මෙලෙස සංස්කාර ඇති වන්නේ, දකින රූපය පිළිබඳ අවිද්‍යාවෙන් යුතු ව යෝනිසෝ මනසිකාරයෙන් තොරව බැලීම නිසයි.

මේ අකාරයට, අනෙක් ඉන්ද්‍රියන් ඔස්සේත් පහළ වන සෑම සිතිවිල්ලක්‌ ම අනාගතයේ විපාක දීම සඳහා කුසල් හෝ අකුසල් හෝ සංස්‌කාර රැස්‌කර දෙනවා. මෙම සංස්කාර මතු භවය, ඉපදීම, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන දුක්ඛ ධාරාව ඇරැඹීමට හේතු වෙනවා.

ඇස හෙවත් චක්ඛායතනය යන ආධ්‍යාත්මික ඉන්ද්‍රියට රූපය යන බාහිර වස්තුව හමුවෙනවා. මෙම සම්බන්ධය, ඇසින් දැන ගැනීම හෙවත් චක්ඛු විඤ්ඤාණය උපදවනවා. මෙම ඇස රූපය සහ ඇසින් දැන ගැනීම යන ත්‍රිත්වය සම්බන්ධයෙන් ‍ඵස්සය උපදිනවා. ඵස්සය යනු චක්ඛායතනය, රූපාරම්මණය සහ චක්ඛු විඤ්ඤාණය යන තුන එකට ගැටෙන මානසික සිදුවීමක්.

ඵස්සයෙන් ‍වේදනා‍ව උපදිනවා. එනම්, රූපය දැකීමෙන් සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ යන ත්‍රිවිධ වේදනා අදාළ පරිදි හටගන්නවා. වේදනාව ඇති වූ විට, එයට ප්‍රතික්‍රියා දක්වන මනසේ සංකල්පන ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මෙම ප්‍රතික්‍රියාවලිය ම සංස්කාර‍ නමින් හඳුන්වනවා. මෙය හුදෙක් ක්‍රියාවලියක් පමණයි. එනම්, අවිද්‍යාවෙන්, අයෝනිසෝ මනසිකාරයෙන් සිටින තුරු, ඇසට රූපය ගැටුණු තැන් පටන් සංස්කාර රැස්වීම දක්වා වූ ක්‍රියාවලිය සිදුවිම වැළැක්විය නොහැකියි. ඒ මුළු ක්‍රියාවලිය ම ස්වභාවිකව ම සිදු වෙනවා.

ඇසින් පමණක් නොව අනිකුත් ඉන්ද්‍රියයන් ඔස්සේ ද සිදුවන, මෙම ක්‍රියාවලිය නතර කිරීමට එනම්,

තවදුරටත් සංස්කාර රැස් කිරීම නතර කිරීමට බුදුන් වහන්සේ ඉගැන්වූයේ යෝනිසෝ මනසිකාරයෙන්, අරමුණු පැමිණි විට ඒ කෙරෙහි නො ඇලී, විමුක්ත ලෙස, උපේක්ෂාවෙන් යුතුව දැකිය යුතු බවයි.

බුදු රජාණන් වහන්සේ, “සචිත්ත පරියෝ දපනං”යන්නෙන් වදාරන ලද්දේ තමන්ගේ චිත්තය අරමුණුවලට ප්‍රතික්‍රියා නො කොට, පූර්ණ වශයෙන් දමනය කරගත යුතු බවයි. පැමිණෙන අරමුණු පිළිබඳ උපේක්ෂාවෙන් දැකිය යුතු වීමට හේතුව ශූන්‍යතාව යන සංකල්පය මඟින් බුදුන් වහන්සේ පැහැදිලි කොට වදාරා තිබෙනවා.

ශුන්‍යතාව කිසිවක් නැති හිස් බව යන අර්ථය ම නොවේ. යමක් ඇතැයි දැනුනත්, එය සත්‍යය වශයෙන් විශ්ලේෂණය කර, නුවණින් විමසා බලන විට, එහි කිසිවක් නැති හිස් ස්වරූපයක් ඇත්නම් එය ශූන්‍යතාව ලෙස හඳුන්වනවා. මිරිඟුව මෙයට උදාහරණයක්. මේ ලෝකයේ සෑම දෙයක් ම, මේ ආකාරයෙන් ඇතැයි පෙන්නුම් කළත්, ප්‍රඥා ඇසකින්, නිවැරැදි ව ම ඒ දෙස බලන විට, ඒ තුළ කිසිවක් විද්‍යමාන වන්නේ නැහැ. සියල්ල හිස් වූ ධර්ම.

හිස් කියන කාරණාව ගැන සළායතන සංයුක්තයේ, සුඤ්ඤලෝක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන්, “බුදුරජාණන් වහන්ස, ලෝකය ශූන්‍යයි, ලෝකය ශූන්‍යයි කියලා ඔබ වහන්සේ වදාරනවා. කෙතෙකින් නම් මේ ලෝකය ශූන්‍යයි ද?” යැයි විමසනවා.

“මේ ලෝකයේ ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් වශයෙන් ගන්නට යමක් නැති නිසයි ආනන්ද, මම ලෝකය ශූන්‍යයි කියලා කියන්නේ යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පිළිතුරු වශයෙන් දක්වනවා. මේ අනුව, ඇසින් රූපයක් දැකීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, ඵස්සය, වේදනාව ආදී වූ සියලු දෑ ද ශුන්‍යය වෙනවා. ආත්මයක් හෝ ආත්මයට හෝ අයත් නැත.

එසේම අවිද්‍යාව සහ අයෝනිසෝ මනසිකාරය හේතුවෙන්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආදී කුමන ඉන්ද්‍රියක් ආශ්‍රිත ව මෙම ක්‍රියාවලිය සිදු වුවත්, පහළ වෙන සිතුවිලි හෙවත් සංස්කාර නිසා භවය, ජාතිය, ජරා, මරණ, ශෝක, පරිදේව ආදී භයානක දුක් කම්කටොලු ගෙන දෙමින් සත්ත්වයාගේ සසර සැරිසැරීමට හේතුවන කර්ම රැස්වීම නැවැත්වීම දුෂ්කර වෙනවා. බාහිය සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ම දක්වා ඇති පරිදි, ඉන්ද්‍රියන් ඔස්සේ ඇතිවී, පැවතී, නැතිවී යන සිතිවිලි නිසා ඇතිවන දැකීම්, ඇසීම්, හැඟීම්, දැනීම් යන ඒවා දැක්කේ පමණයි, ඇසූවේ පමණයි ආදී වශයෙන් පමණක් දැනගෙන, ඒවාට මම, මාගේ යන ආත්ම දෘෂ්ටිය ඇති නො කර ගත යුතු වෙනවා. එවිට දැකීම්, ඇසීම්, හැඟීම්, දැනීම් ආදිය නිසා ඇතිවන සිතිවිලි ඇතිවී, පැවතී, නැතිවී යනවා මිස සත්ත්වයා බියකරු සසරෙහි ගෙන යන කර්ම බවට පත්වීමට සමත් වන්නේ නැහැ.