Print this Article


කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණඑකසිය පනස් වස් සපුරයි

නූතන පිරිවෙන් නාමාවලියේ මුල් යුගයේ ආරම්භ කරන ලද පිරිවෙන් කිහිපය අතරට ගැනෙන පිරිවෙණක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණ සඳහන් කළ හැකිය. සිය ගණනක් ගිහි පැවිදි පඬිවරුන් බිහි කළ අගනුවර ප්‍රමුඛතම පරිවේණස්ථානයක් වශයෙන් මෙම පිරිවෙණ එකසිය පනස් වසරක් පුරා සිදු කළ මෙහෙවර සුවිශේෂී ය.

1875 ජුනි මස 22 වන දින “සිරි පැරකුම්බා ශාස්ත්‍ර ශාලාව” නමින් ඇරඹී මෙම විද්‍යාස්ථානය 1911 දී “සිරි පැරකුම්බා පිරිවෙණ” නමින් නම් කරන ලදී. ඒ පස්වන ජෝර්ජ් මහ රජුගේ මෞලි මංගලෝත්සවය නිමිත්තෙන් පැවති උත්සව සභාවේ දී ය. එම කාර්යයෙහි දී කෝට්ටේ සිංහයා නමින් ප්‍රකට වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමාගෙන් සිදු වූ කාර්යභාරය සුවිශේෂී ය.

පිරිවෙණක් වශයෙන් ඇරඹි සිරි පැරකුම්බා ශාස්ත්‍ර ශාලාව ගොඩනැඟිලි පහසුකම්වලින් හා විහාරස්ථානයකට අවශ්‍ය පූජනීය අංගයන්ගෙන් සම්පූර්ණ කිරීමට එවකට විසූ කෝට්ටේ දායක

පිනැතියන් මහත් සේ කැප වූ අතර, මලිගස්පේ මහානාහිමියෝ ද අවශ්‍ය උපදේශකත්වයෙන් හා

සම්බන්ධීකරණයෙන් හිඟුල්වල නාහිමියන්ට සහාය වූහ. හිඟුල්වල නාහිමියන් තුළ පැවති සුවිශේෂී පාණ්ඩිත්‍යය පමණක් නොව ශීල සංයමාදී ගුණාංග කෙරෙහි පැහැදුණු ආචාර්යවරු පොත පතේ දැනුමටත් වඩා හිඟුල්වල නාහිමියන් ඇසුරෙහි ශ්‍රමණ ආකල්පවලින් පරිපූර්ණ ශිෂ්‍යයකු ගොඩනඟා ගැනීම පිණිස ශිෂ්‍යයන් සිරි පැරකුම්බා පිරිවෙණට එවීමට උනන්දු වූ බව පැරැණි ලිපි ලේඛනවලින් පැහැදිලි වේ.

හිඟුල්වල අනුනායක මාහිමියන් වහන්සේගේ යුගයේ සිටම කෘත්‍යාධිකාරි ධුරයට පත් මාදුළුවාවේ ශ්‍රී ඉන්දජෝති නාහිමියන් පිරිවෙණේ භෞතික දියුණුවට කැපවීමෙන් ක්‍රියා කළ අතර,හිඟුල්වල අනුනායක මාහිමියන් වහන්සේ 1916 වර්ෂයේ දී අපවත් වීමෙන් අනතුරුව පරිවේණාධිපති ධුරයට පත් වූ මාදිවෙල ශ්‍රී අනෝමදස්සි මහානායක මාහිමියන් වහන්සේ පිරිවෙණේ අධ්‍යාපනික ගුණාත්මකභාවය දියුණු කිරීමෙහි ලා මහත් සේ කැප වූහ. එහි ප්‍රතිඵලය වශයෙන් දේශීය ශිෂ්‍යයන් පමණක් නොව විදේශීය ශිෂ්‍යයන් ද මෙහි අධ්‍යාපනය ලැබීමට පැමිණිය හ.

මෙසේ ආරම්භක යුගයේ වඩා දියුණු තත්ත්වයකට පත් වූ පිරිවෙණ ලෝ දම් අනුව වරෙක ඉමහත් දියුණුවට ද, වරෙක යම් යම් කඩාවැටීම්වලට ද ලක් වෙමින් අඛණ්ඩ එකසිය පනස් වසරක මෙහෙවරක නිරත වෙයි.

1940 දශකයේ ඇති වූ දෙවන ලෝක සංග්‍රාමය අවස්ථාවේ පිරිවෙණ කොටස් දෙකකට බෙදා දේවහන්දියේ ශ්‍රී සද්ධාතිස්ස මහානාහිමියන් උඩදුම්බර බෝපාන විහාරස්ථානයටත්, අතිගරු පිටිපන සීලරතන නාහිමියන් මාවත්ගම විශුද්ධාරාමයටත් ගෙන ගොස් පිරිවෙණ අඛණ්ඩ ව පවත්වා ගෙන ගිය අතර, යුද තත්ත්වයන් පහ වූ විට නැවත කෝට්ටේ පරිවේණස්ථානයේ දී අධ්‍යාපන කටයුතු ආරම්භ කළහ.

ආරම්භක අවස්ථාවේ පටන් පරිවේණාධිපති මාහිමිවරු 24 නමක් හා කෘත්‍යාධිකාරී නාහිමිවරු හය නමක් යටතේ මෙම පිරිවෙණ පාලනය වී ඇත. ඒ අතර විශේෂයෙන් දිගු කලක් මෙම පිරිවෙණෙහි කෘත්‍යාධිකාරී හා විහාරාධිපතිව වැඩ විසූ අත්තිඩියේ ධම්මසිරි නාහිමියන් පිරිවෙණේ අනාගත දියුණුව වෙනුවෙන් සිදු කළ අප්‍රමාණ මෙහෙවර මෙහිදී කෘතවේදී ව සිහිපත් කළ යුතු ය.

උන්වහන්සේගේ කාර්යභාරයට මාදිවෙල චන්දවිමල නායක මාහිමියන් වහන්සේගෙන් ලැබුණු සහයෝගය ද මෙහිදී සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

සිල්වත්, ගුණවත් ධර්ම ශාස්ත්‍රීය ඥානයෙන් සමන්විත පරපුරක් සමාජගත කිරීම මෙම පිරිවෙණ

ආරම්භ කිරීමෙහි මූලික අභිප්‍රාය විය. ඒ අනුව ලක්දිව නන් දෙසින් හා ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි රටවලින් පැමිණි සිය ගණනක් ශිෂ්‍යයන්ට ස්වකීය ධර්ම ශාස්ත්‍රීය ඥානය දියුණු කර ගැනීමට මෙම පිරිවෙණ තුළින් අවස්ථාව සලසා දෙන ලදී. එසේ අධ්‍යාපනය ලැබූ ගිහිපැවිදි ආදි ශිෂ්‍යයන් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද සිදුකරන අධ්‍යාපනික, ශාසනික හා ජාතික මෙහෙවර ආදිකර්තෘන් වහන්සේ පිරිවෙණ මඟින් බලාපොරොත්තු වූ අරමුණ සඵල වීමකි. එවන් වටිනා ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාවක් අනාගත පරපුරට දායාද කිරීම අරමුණු කොට ගෙන වත්මන් ආචාර්ය මණ්ඩලය ද වෙහෙස වී ක්‍රියා කරති.

1956 වර්ෂයේ දී ප්‍රථම සිංහල රාජ්‍ය සාහිත්‍යය උළෙල පැවැත් වූවේ ද මෙම පිරිවෙන් භූමියේ දීය. මෙවන් අතීත උරුමයකට හිමිකම් කියන සිරි පැරකුම්බා පිරිවෙණ පසුගිය ජුනි 22 වන දින සිය එකසිය පනස් වසර සම්පූර්ණ කරන ලදී. 150 වන සැමරුම වෙනුවෙන් ඔක්තෝබර් මස 02 වන දින සිට විශේෂ ආගමික හා අධ්‍යාපනික වැඩසටහන් ගණනාවක් වත්මන් කෘත්‍යාධිකාරී හා විහාරාධිපති ධූරය දරමින් පිරිවෙණෙහි අභ්‍යුදය සඳහා නායකත්වය සපයන තලගල විමල නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කළ අතර, ඒ සියලු පින්කම්වල අනුහසින් ආදිකර්තෘ අනුනායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ අතීත යති උතුමන්ටත් දායක පින්වතුන්ටත් උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා’යි පින් දෙමි.

ශත වර්ෂාධිත කාලයක් සිරි පැරකුම්බා පිරිවෙණ දිනේවා යන්න අපගේ ඒකායන පැතුමයි.