Print this Article


හෙට ගොඩනඟන අද

හෙට ගොඩනඟන අද

සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ බොහෝ ශෝභාවත් ය. ප්‍රියමනාප ය. ඉවසිලිවන්ත ය. සාමකාමී ය. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දේව පුත්‍රයෙක් ඒ භික්ෂූන් වහන්සේ ගැන පැහැදුණු සිතින්

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස. සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ බොහෝ ප්‍රසන්න වෙති. දිනකට එක් ආහාර වේලක් පමණ වැළඳුවද උන්වහන්සේගේ ශරීරය ශෝභාවත් ය. එහෙත් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය, නිතර මිහිරි ආහාරපාන ගන්නා ගිහියෝ අවලස්සන ය. ඉල්පුණු නහර ඇත්තෝ ය. පීඩාවෙන් කල් ගෙවන්නෝ ය. මෙයට හේතුව කුමක් ද”? යි විමසීය.

එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ අතීතයේ වූ සිදුවීම් පිළිබඳ සිහි කරමින් නොහඬන බව ය. නොවැළපෙන බව ය. එමෙන් ම උදාවී නැති අනාගතයක් ගැන සිහින මවන්නේ නැති බව ය. උන්වහන්සේ වර්තමානයේ ජීවත් වන බව ය. තථාගතයන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම ගිහියන් වන අපට ද උගන්වන පාඩම මනරම් ය. උන්වහන්සේ දේශනා කොට වදාළේ ජීවිතය පිළිබඳ ව සිහින ලෝකයක් මවා නොගන්නා ලෙසට ය.

කෙනෙක් පීඩාවට පත්වන්නේ අතීතයේ වූ වැරැදි ගැන සිහි කරනවා මිස, පසුතැවෙනවා මිස නිවැරැදි වීමට උත්සාහ නොකිරීම නිසා ය. අනාගතය ගැන අනවශ්‍ය සිහිනවල ජීවත්වීම නිසා ය. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අද ජීවත්වන ලෙසට ය. මේ මොහොතේ ජීවත්වන ලෙසට ය. අද ජීවත්වනවා නම් අදට නියමිත දේ අදම කරන ලෙස ය. එවිට හෙට ගොඩනැඟෙනු ඇත. මේ මොහොතේ ජීවත් වනවා නම් ඒ අදාළ දේ ඒ මොහොතේම කරන ලෙස ය. එවිට ඊළඟ මොහොත ගොඩනැඟෙනු ඇත.