Print this Article


බූමාටු දෙව්දුවගේ බෝධි වන්දනාව

බූමාටු දෙව්දුවගේ බෝධි වන්දනාව

අතීතයේ දඹදිව භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් තීරණය කළා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කර ගන්න.

හැම දෙනා වහන්සේ ම දිනයක් යොදා ගෙන ගමනට අවශ්‍ය තුන් සිවුරු, පාත්‍රය, වටාපත ආදී අවශ්‍ය සියලු දෑ තම තමන් වහන්සේ වෙන වෙනම සූදානම් කර ගත්තා. යොදා ගත් දිනයේ පාන්දරින් ම අවදිවෙලා ශ්‍රී මහාබෝධිය පිහිටි බුද්ධගයාව බලා පිටත් වුණා.

දවස් ගණනාවක් මේ වෙහෙසකර ගමනේ යෙදිය යුතු වෙනවා. මෙහෙම ගමන් ගන්නා අතරේ දවසක් අධික ගමන් වෙහෙසට පත් වෙලා රාත්‍රිය ගත කරන්නත් එක්ක සවස් යාමයේ ගොඩවුණා ප්‍රජා ශාලාවකට. එතැන වැඩ ඉන්න කොට බැලමෙහෙවර කරන්නට ගිහින් සවස් කාලයේ නැවතත් ගමට යන එක් තරුණියක් මේ භික්ෂූන් වහන්සේ ආසන ශාලාවේ වැඩ ඉන්නවා දැකලා එතැනට ඇවිත් නමස්කාර කරලා මෙහෙම ඇහුවා.

‘ස්වාමිනි, ඔබ වහන්සේ මේ කොහේ වඩින ගමන්ද? ගමන් වෙහෙස නිසා ආසන ශාලාවේ වැඩසිටිනවාද? නැතිනම් වෙනත් අවශ්‍යතාවක් ද? මාගෙන් උදව්වක් අවශ්‍ය වෙනවාද?.

නඩේ ප්‍රධාන භික්ෂුව මෙහෙම පිළිතුරු දුන්නා. ‘පින්වතිය, අපි හැම දෙනා වහන්සේ ම වැඩම කරනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කර ගන්න.

අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දසමාර සේනාව පරාජය කරලා සම්බුද්ධත්වය ලබා ගත්තේ මේ වෘක්ෂය ළඟ තමයි.

ලෝකයේ ජීවත් වන කවර කෙනෙක් හෝ බිම වැටිලා තියෙන කොළයක් හෝ ශ්‍රද්ධාවෙන් බෝධීන් වහන්සේට පූජා කර ගන්නවා නම්, ඒකත් ඇති මහත් වූ භවබෝග සම්පත් ලබන්න. බෝධීන් වහන්සේට මල්පහන් හෝ සුවඳ ධූම හෝ වෙනත් දෙයක් හෝ පූජා කර ගන්නවා නම්, ඒවාගේ පුණ්‍ය විපාක මට විස්තර කරලා දෙන්න පුළුවන්කමක් නෑ. ඒ තරම් ම වූ මහත් පිනක් බෝධීන් වහන්සේ වන්දනා කර ගැනීමෙන් වගේම බෝධීන් වහන්සේ උදෙසා යම් දෙයක් ශ්‍රද්ධාවෙන් පූජා කර ගැනීමෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ තරම් වටිනා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කර ගන්න අපි හැම දෙනා වහන්සේ ම දවස් කිහිපයකට උඩ දී මේ ගමන ආරම්භ කළා. ගමන් වෙහෙස හා රාත්‍රිය උදා වුණු නිසා මේ ආසන ශාලාවේ නතර වුණා‘යි පිළිතුරු දුන්නා.

තරුණිය නායක තෙරුන් වහන්සේ අමතලා කියනවා

‘ස්වාමිනි, මම බොහෝ සෙයින් දුප්පත් තැනැත්තියක්, මට ඔබ වහන්සේට පූජා කර ගන්න කිසිවක් ඇත්තේ නෑ. ඒ ගැන මා දුකට පත් වෙනවා. මට තියෙන එකම සම්පත මා මේ ඇඳ සිටින වස්ත්‍රය විතරයි. ඉතින් ස්වාමිනි, මට මේ වස්ත්‍ර කැබැල්ල පූජා කර ගන්න ඕන. ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ සමීපයේ පතාකයක් විදිහට මේ වස්ත්‍රය බැඳ තබලා පූජාවක් ලෙස තබන්න පුළුවන් ද ස්වාමිනි”, යි විමසා සිටියා.

නායක තෙරුන් වහන්සේ එසේ කළ හැකි බව කියා සිටි විටි වහා අසල තිබුණු ඇළකට ගිහින් වස්ත්‍රය හොඳීන් හෝදලා පිරිසුදු කරගෙන, ඉණට කොළ අතු බැඳගෙන ඇවිත් තෙරුන් වහන්සේට පූජා කර වන්දනා කර නිවසට යන්න ගියා.

තෙරුන් වහන්සේත් පසු දින අර වස්ත්‍රයත් අරගෙන ගමනට පිටත් වුණා. තරුණිය රාත්‍රියේ නිවසට ගොඩවෙනවාත් එක්කම දරුණු බඩේ රුදාවක් ඇති වෙලා රාත්‍රියේ ම කළුරිය කළා. වේදනාවෙන් පෙළුණු හැම මොහොතකම ඇයගේ සිත තමන් කළ පින්කමෙන් පිනා ගියා. වෙනත් සිතිවිල්ලක් ඇති කර ගත්තේ ම නෑ. ඒ පුණ්‍ය මහිමයෙන් භික්ෂූන් වහන්සේ වැඩම කරන මහා වනයේ බූමාටු දේවතාවියක් ලෙස උපත ලැබුවා. තිස් යොදුන් දිග මාලිගාවක් වගේම දිව්‍යාංගනාවන් සහ දිව්‍ය සේනාව ඇය වෙනුවෙන් පහළ වුණා.

භික්ෂූන් වහන්සේ වනය මැදින් වැඩම කරන කොට දැක්කා තිස් යොදුන් දිග විශාල මාලිගාවක්. ඒ අසලට යන විට දකින්න ලැබුණා ෂඩ් වර්ණවලින් බබළන ධ්වජ පතාක. ඒවා අතැති ව නර්තනයේ යෙදෙන දිව්‍යාංගනාවන් වැනි ස්ත්‍රීන්. ඒ වගේම ආරක්ෂාවට සිටින මහත් වූ දිව්‍ය සේනාව. තව තවත් මාලිගාව සමීපයට යන විට මේ දේවතාවිය භික්ෂූන් වහන්සේ සමීපයට ඇවිත් උන්වහන්සේට නමස්කාර කර අහනවා

‘ස්වාමිනි, ඔබ වහන්සේට මාව හඳුනා ගන්න පුළුවන්ද? කියලා. ‘ස්වාමිනි, ඊයේ සවස් යාමයේ නවාතැන් ගත්ත ආසන ශාලාවට ඇවිත් ශ්‍රීමහාබෝධීන් වහන්සේට වස්ත්‍රයක් පූජා කරන්න දුන්නේ මම තමයි. රාත්‍රියේ අධික බඩේ අමාරුවකින් මා මිය ගියා. ශ්‍රීමහා බෝධියට පූජා කළ වස්ත්‍රයේ පිනෙන් මම මේ සා මහත් සැප සම්පත් ලැබුවා. ස්වාමිනි, මමත් ඔබ වහන්සේ සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කර ගන්න පැමිණෙනවා. හැමදාම මම

ඔබ වහන්සේට පිණ්ඩපාතය පූජා කරනවා‘යි පවසලා, උන්වහන්සේ සමඟ ම මේ දිව්‍යාංගනාව තමන්ගේ දිව්‍ය සේනාවත් එක්ක ගිහින් ශ්‍රී මහාබෝධීන් වහන්සේට පුද පූජා පවත්වලා, තෙරුන් වහන්සේට පිණ්ඩපාතයත්, චීවරත් පූජා කර බොහෝ පින්කම් කරගෙන නැවතත් මාලිගාවට පැමිණ එම ආත්ම භාවයේ ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපත ලබා දිව්‍ය සැපසම්පත් වින්දනය කළා යැයි පැවසෙන රසවත් කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

පින්වතුනි, ශ්‍රී මහාබෝධීන් වහන්සේ දකින්නවත් අවස්ථාවක් නැති ව ශ්‍රී මහාබෝධීන් වහන්සේ අරමුණු කරගෙන පමණක් පූජා කර ගත් පරණ රෙදි කැබැල්ලක් නිසා වුවත් දිව්‍ය සැප සම්පත් ලැබී දුකින් නිදහස් වුණු හැටි.

ඒ නිසා ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් අරමුණු කර ගෙන යමක් පූජා කර ගන්න. එයින් ඔබට කල්ප වෘක්ෂයක් මෙන් සිතූ පැතූ සම්පත් දෙන දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ ආත්මභාවයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සාපිපාසාදි දුකින් නිදහස් වෙනවා.