Print this Article


පුරපෑලවිය සඳ - 25 කොටස

පුරපෑලවිය සඳ - 25 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

කිසිවක් නොකියූ දමිත සාමණේරයන් බැලුවේ නන්ද හිමියන් දෙස ය.

මහ තෙරුන් වහන්සේ ඉදිරියේ සුවච ව අනතිමානී ව හැසිරීම ගුණවත් පැවිද්දන්ගේ සිරිත ය. එබැවින් නන්ද හිමියන් සංඥා කළේ නිහඬව ම පසුවන ලෙසට ය.

දානය වළඳා අවසන් වූ මහ තෙරුන් වහන්සේ මුහුණුවත් නොබලා සාඩම්බර ලීලාවෙන් පිටතට වැඩම කළ සේක.

තෙරුන් වහන්සේ දාන ශාලාවට කැඳවාගෙන ආ උපාසක මහතාට කතාකොට ඇමතූයේ බොහොම සැරෙනි.

“ තමුන්නැහැ දැනගන්ඩ ඕනේ, මේවා බොහොම නම්බුකාර රජමහා විහාර. වද්දගන්ට ඕනෙ කවුද, වද්ද නොගන්ට ඕනේ කවුද කියල නොතේරෙනව නම් ගෙදර යනව හොඳයි. අදට මං ඉවසනවා.

ආයෙ එහෙම මෙහෙම කරලා අහුවෙනවා හෙම නොවෙයි.

“ඒ කීවේ කුමක්දැයි කැපකරුට වැටහුණේ නැත. නායක ස්වාමීන් වහන්සේට බියෙන් අත් එකතු කරගෙන නැමී පිළිගත්තා මිස තමා කළ වැරද්ද කුමක්දැයි හෝ ඔහුට අදහසක් නොවීය.

නායක ස්වාමීන් වහන්සේ දාන ශාලාවෙන් පිටවූ පසුව එහි එක් එක් හිමිවරුන් මේ දෙනම දෙස බලා මොන මොනවදෝ කියමින් වරින්වර සිනා සෙති.

මැද හරියේ වැඩසිටි කටකාර හිමි නමක් කැපකරු මහතාට කතාකොට ‘අර ගෝනි බිල්ලන්ට අඩුපාඩු බලන්න’ යැයි කීවේ උපහාසයෙනි.

කැපකරු මහතා ගෝනි බිල්ලන් කවුරුන්දැයි එහිමියන්ගෙන් අසයි.

අර කෙළවරේ ඉන්නේ යැයි එහිමියන් අතින් පෙන්වයි.

සංවේගයට පත් නන්ද හිමියන් නිහඬ ව දරා සිටී. සාමණේරයන්ගේ නෙතින් වැටෙන කඳුළු එකතු වන්නේ නම් පාත්තරයට ම ය.

මේ ගෝනි බිල්ලන් ය කියන්නේ තමන් වහන්සේට බව දෙනමට ම හොඳ හැටි වැටහේ. ඒ, මේ පළමු අත්දැකීම නොවනා නිසාවෙනි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පැනවූ ශික්ෂාපද ලිහිල් කරගෙන කටයුතු කරන සමහර පැවිද්දන්, ශික්ෂාකාමී පැවිද්දන් ව උපහාසයට නඟන්නේ ඔය ආකාරයෙනි.

වෙහෙරෙන් පිටතට වැඩම කරන විට උරහිස් දෙක වසා උභයාංශ කොට සිවුර පෙරවීමට හික්මිය යුතු යැයි බුදුපියාණන් වහන්සේ වදාරා තිබේ. නන්ද තෙරුන් වහන්සේත්, සාමණේරයනුත් මේ අනුගමනය කරන්නේ ඒ උතුම් බුදු වදනයි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේට සියලු මිනිස් සංහතිය ම එකම මනුෂ්‍ය ප්‍රජාවකි. බුදු සසුන තුළ ජීවත් වුවත් බුදුපියාණන් වහන්සේගේ දර්ශනය වටහා නොගත් බොහෝ දෙනකුටට මානව සමාජයේ ඒකත්වය යනු කුමක්දැයි කිසිදා නොවැටහේ.

“ න ජච්චා වසලෝ හොති
න ජච්චා හොති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හොති
කම්මනා හොති බ්‍රාහ්මණෝ.”

“උපතින් කිසිවකු බ්‍රාහ්මණයකු (උසස් පුද්ගලයකු) නොවේ. එසේම උපතින් කිසිවකු කුල හීනයකු (පහත් පුද්ගලයකු) ද නොවේ. පුද්ගලයකුගේ උසස් බව හෝ පහත් බව හෝ තීරණය වන්නේ ඔහුගේ හැසිරීම හෙවත් ක්‍රියාකාරකම් මත ය.”

මතු සම්බන්ධයි