Print this Article


සමාජ වගකීමට උරදෙන පරපුරේ රැකවරණයට වගවෙමු

සමාජ වගකීමට උරදෙන පරපුරේ රැකවරණයට වගවෙමු

වත්මන් ජනාධිපතිතුමන් ප්‍රධාන රජය මේ වන විට දීප ව්‍යාප්ත පරිදි දියත් කොට තිබෙන මත්ද්‍රව්‍ය විරෝධි ජාතික වැඩසටහන සමස්ත ශී‍්‍ර ලාංකික ජාතියේ ම දෙලොව දියුණුව පිණිස ම හේතු වන්නකි.

එනිසා රටට, ශාසනයට මෙන් ම අනාගත පරපුරටත් ආදරයක්, කරුණාවක් පවත්නා ගිහි පැවිදි හැම දෙනාගේ ම පූර්ණ කැපවීමෙන් යුතු සහයෝගය රජයේ මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඒකාන්ත වශයෙන් ම යොමු විය යුතු ය.

අප මත්ද්‍රව්‍ය වශයෙන් හඳුනාගන්නේ අරක්කු, කසිප්පු, බියර් ආදී සියලු ම මත්පැන් වර්ග, දුම්වැටි, දුම්කොළ ආදිය, පුද්ගලයා මතට ගොදුරු කරවන අයිස්, හෙරොයින් ආදි සියලු ම විෂ මත්ද්‍රව්‍ය යනාදිය යි. අපේ බෞද්ධ ශික්ෂා මාර්ගයේ ‘සුරාමේරය’ යන යෙදුමට මේ සියලු දේ අන්තර්ගත ය යන්න නිවැරැදි ය. නව සොයා ගැනීම් සහිත ව ලෝකය ඉදිරියට යන ගමනේ දී මත්ද්‍රව්‍ය පිළිබඳ ඇත්තේ සාපරාධි සංවර්ධනයකි. පුද්ගලයා විවිධාකාරයෙන් මතට ගොදුරු කරවා ගන්නට මාන බලන, විද්‍යාත්මක ක්‍රමවේද මඟින් නවතම පහසුකම් සහිත ව ආකර්ෂණය දිනාගන්නා වෙළෙඳ අධිකාරියක් මෙහි ලා ක්‍රියාත්මක ව පවතී.

මත්ද්‍රව්‍ය පිටුදැකිය යුත්තේ ආගමික පිළිවෙතක් හැටියට ම නොවේ. පව් සිදු වෙනවා, පන්සිල් කැඩෙනවා, ආදී ආකල්පවලට සීමා නොවී එහි ඇති ආදීනව පුළුල් වශයෙන් බැලීම අත්‍යවශ්‍ය ය. එහිදී මත්ද්‍රව්‍ය නිසා සිදුවන ආර්ථික පරිහානිය පිළිබඳ අවධානය ප්‍රමුඛ විය යුතු ය.

ඒ ආර්ථික යන වචනයට පුද්ගලයාගේත්, සමාජයේත්, පොදුවේ සමස්ත රටේත් ධන විනාශය වන හැටි අවබෝධ කරගත යුතු ය. මත්ද්‍රව්‍ය නිසා සිදුවන සදාචාර පරිහානිය, සෞඛ්‍ය පරිහානිය, අපරාධ ආදිය වර්ධනය වීම යන සියලු කරුණුූ අවසාන වශයෙන් ගොනුවන්නේ ආර්ථික පරිහානිය යන යෙදුමට යි.

සමහරුන්ගේ අදහස රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා මද්‍යසාර - දුම්කොළ වෙළෙඳාම අත්‍යවශ්‍ය වන බව ය. ඒ මතය මිථ්‍යා විශ්වාසයක් බව කරුණු විමසන විට පෙනී යන ඇත්ත ය. 2006 පමණ සිටම රජයේ වාර්තා පැහැදිලි කරන්නේ, රාජ්‍ය ආදායමින් 11%ක් පමණම ලැබෙන්නේ දුම්කොළ මද්‍යසාර මඟින් බව ය. එය සංඛ්‍යාත්මක වශයෙන් රුපියල් කෝටි දෙකහමාරක් පමණ වෙයි.

එහෙත් අනිත් පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන්නේ එවැනි දෙගුණයකටත් වඩා වැඩි මුදලක් (රුපියල් කෝටි 5කට අධික) ඉහත වෙළෙඳාමේ ආදීනව වෙනුවෙන් හෙවත් හානි වෙනුවෙන් වෙන්කිරීමට සිදු වී ඇති බව ය. ඉහත කී ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ප්‍රශ්නවලටත් වඩා අපරාධ වැඩිවීම ආදියෙන් සිදුවන රාජ්‍ය වැය මුදල් ද, පුනරුත්ථාපන කටයුතු සඳහා වැය වන මුදල් ද, පොලීසිය ඇතුළු නීතිමය කටයුතු සඳහා වැය වන මුදල ද ගණනය කළහොත් වැය මුදල සමස්ත ජාතික ආදායමින් 50%ක් පමණ විය හැකි ය යන්න සාධාරණ ලෙස නිගමනය කළ හැකි වෙයි.

මේ අනුව පැහැදිලි වන්නේ, මත්ද්‍රව්‍ය භාවිතය නිසා මහා පරිමාණ ධනස්කන්ධයක් නිකරුණේ වැයවන බව ය. මේ කාගේ මුදල් ද? මේ රටේ අප්‍රමාණ දුක් විඳිමින් යමක් හරි හම්බ කරගෙන රජයට බදු ගෙවන ජනතාවගේ මුදල් ය.

ජනතාවගේ සුභසිද්ධිය අවංක ලෙස ම සලකනවා නම්, රජයක් විසින් කළ යුත්තේ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් කිරීම යි. නොඑසේ නම් හැකිතාක් දුරට අවම කිරීම සඳහා ක්‍රියා කිරීම යි.

මේ විනාශකාරි උපද්‍රවය අවම කිරීම සඳහා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක මාහිමියන් ප්‍රධාන ධර්මවිජය පදනම, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, දුම්පානය හා සෞඛ්‍යය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික සම්මේලනය, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව ගත් පියවර බොහෝ ය. එවන් සාධුත්සාහයන් නිසා ම 2005 දී අතිවිශිෂ්ට ප්‍රතිලාභයක් රටට අත් කර ගන්නට හැකි විය. එනම් “දුම්කොළ සහ මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය” පිළිබඳ පනත සම්මත කර ගන්නට ලැබීම ය.

එළිමහන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය, ජනමාධ්‍ය ප්‍රචාරණය, ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය, බියර්වල ඇල්කොහොල් ප්‍රමාණය අවම කිරීම, විකුණනු ලබන්නන්ගේ වයස් ප්‍රමාණය අවුරුදු 20 දක්වා වැඩි කිරීම ආදී නීති එමඟින් ක්‍රියාත්මක කෙරෙන අතර, මේ නව පනත යටතේ අතිමහත් මහජන සේවාවක් සිදුවන බව කිව හැකි ය.

එහෙත් මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක දකිනවාට වඩා සමහරු ඉදිරියට ගන්නට හදන්නේ ඒවායේ ආර්ථික වාසි ලැබෙනවා ය යන පදනම් විරහිත බොරුව ය.

දැනට ක්‍රමානුකූල ව දුම්වැටි භාවිතාව අවම වේගෙන යන තත්ත්වයන් යටතේ තරුණ පරපුර නොමඟ යැවීම සඳහා ඇතැම් සමාගම් විසින් යොදන අලුත්ම උපක්‍රමය ලෙසින් ගංජා ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. එය විනාශකාරි ක්‍රියාවලියක් බව විචාරකයෝ පෙන්වා දෙති. ඒ ඇතුළු සමාජ විචාරකයන් සහ අමද්‍යප සංවිධාන දක්වා සිටින්නේ මේ අදූරදර්ශී උත්සාහය එකහෙළා ම ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

අද තරුණයා හෙට වැඩිහිටියා ය. සමස්ත සමාජයක වගකීම් සම්භාරය පැවරෙන්නේ ඔහුට ය. එනිසාම වත්මන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය වැනි උපද්‍රවයකින් බේරා ගැනීම ජාතික අවශ්‍යතාවකි. ඒ සඳහා හැකි උපරිමයෙන් කැපවී ක්‍රියා කිරීම සදාචාරගරුක ධර්මකාමි හැම දෙනාගේම පරම වගකීම ය.

මේ සම්බන්ධයෙන් විමසා බැලීමේ දී ධර්මවිජය පදනම මඟින් “විහාරස්ථාන ආශි‍්‍රත ව දියත් කළ හැකි මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම්” යන මැයෙන් නිකුත් කර ඇති ලේඛනය ඉතා වැදගත් ය. ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරින් වහන්සේ සඳහා පැවැත්වුණු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණ එම ක්‍රියාකාරි සැලැස්ම අතිශයින් ම ප්‍රායෝගික වන්නක් බව ද කෘතවේදී ව සඳහන් කරනු කැමැත්තෙමි.