වීර කාන්තා පරපුරක ඇරඹුම
අනුරාධපුර ලංකාරාමාධිකාරි
රැළපනාවේ ධම්මජෝති නාහිමි
හෙළ කාන්තාවට විමුක්තිය, අභිමානය ලබා දුන්නේ සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට
වැඩමවීමෙන් පසුව යි.
ඒ උතුම් දවස උදාවන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමෙන් පසුව මෙරට භික්‍ෂු පැවිද්ද ආරම්භ කළ ද,
භික්‍ෂුණී පැවිද්ද ආරම්භ කිරීමට හිමිකම් තිබුණේ නැහැ. එවකට රට පාලනය කළ
දේවානම්පියතිස්ස රජුගේ නෑනණ්ඩිය වන අනුලා දේවිය මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ
උතුම් ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් ඵලයට පත් වූවා. අනුලා දේවිය සෝවාන් ඵලයට පත්වූ
පළමු කුල කාන්තාව යි.
අනුලා බිසව මිහිඳු මහ රහතන් වහන්සේගෙන් සිදුකළ බලවත් ඉල්ලීම මත, මිහිඳු මහ රහතන්
වහන්සේගේ නැඟණිය වන ධර්මාශෝක රජතුමාගේ දියණිය සංඝමිත්තා තෙරණිය වැඩමවා මෙරට
භික්‍ෂුණී ශාසනය ආරම්භ කළා. ඒ අනුව පළමු භික්‍ෂුණිය ලෙස අනුලා බිසවගෙන් ශ්‍රී
ලාංකීය භික්‍ෂුණී පැවිද්ද ස්ථාපිත වෙනවා.
එතෙක් ස්වාමියා යටතේ නිවස තුළ ජීවත් වූ ශ්‍රී ලාංකීය කාන්තාවට අභිමානයක් ලබා දෙමින්
සමාජීය හා සංස්කෘතිය වශයෙන් වැදගත් සමාජ තත්ත්වයක් සංඝමිත්තා තෙරණීන් වහන්සේ
වැඩමවීමෙන් පසුව හිමි වූවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බෞද්ධාගමික උතුමන් වහන්සේ
ලෙස ගෞරව දැක්වීම ජන සම්ප්‍රදායක් බවට පත් වූයේ උඳුවප් පුර පුන් පොහොය මූලික කර
ගනිමිනි.
සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා මෙරටට
වැඩම කළ දහඅට කුලයක පිරිසක් පැමිණීම ද, ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතික පදනමක්
නිර්මාණය කිරීමට ඉවහල් වුණා. ඔවුන්ගේ පැමිණීමෙන් පසුව අප රට තුළ කලා ශිල්ප, සංස්කෘත
කලා කටයුතු, නව කර්මාන්ත ඇති වෙමින් නව මාවතකට ගමන් කළා. මහාවංශයේ මෙන්ම සමන්ත
පාසාදිකාවේ හා බෝධිවංශයේ මේ පිළිබඳ ව මනාව සටහන් ව තිබෙනවා.
රට තුළ ඇතිවූ බෞද්ධ ආගමික හා සමාජීය වටපිටාවත් සමඟ දක්ෂ, වීර අභිමානයෙන් යුතු
කාන්තා පරපුරක් බිහි වූවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ තම ස්වාධිපත්‍යය පැතිර වු කාන්තාව
ලෙස ලීලාවතී රැජිණ ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.
ලීලාවති රැජින පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසියයි. පසුව ඇය වාර
කීපයක් ශ්‍රී ලංකාවේ අග රැජිණ ලෙස ලංකාව පාලනය කළ බව සඳහන්.
දක්ඛිණ දේශයේ සහ රුහුණේ රජ කළ මාණභරණ රජුගේ මව වන සුගලා දේවිය ද රණකාමී වීර
කාන්තාවකි. සුගලා දේවිය එකල රටේ බලවත් චරිතයක් ලෙස සැලකුණේ රාජ්‍යත්වයේ සංකේතයක්
ලෙස සැලකෙන දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ ඇයගේ රෝහණ රාජධානියේ තිබීම නිසා
ය.
සෝමවතී දේවිය ද ලාංකීය කාන්තාවට අභිමානයක් එක්කළ කාන්තාවකි. ක්‍රිස්තු පූර්ව 104
රජකම් කළ ගාමිණී කුමරුගේ අගමෙහෙසිය සෝමවතී දේවිය යි. රාජ්‍ය ආක්‍රමණය කළ අවස්ථාවක
සිය ස්වාමියාගේ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබීය.
ඇහැළේපොල කුමාරිහාමි වැනි අධිෂ්ඨානශීලී දක්ෂ කාන්තාවන් බිහිවන්නේ සංඝමිත්තා තෙරණින්
වහන්සේ භික්‍ෂුණී පැවිද්ද ඇති කරමින් කාන්තාවට ලබා දුන් සමාජ සාධාරණත්වය සහ නිදහස
නිසා ය. කාන්තාවගේ දැනුම, ඥානය, දක්ෂතාවන් උපයෝගී කර ගනිමින් අතීතයේ සිට මේ දක්වා
සිදුවූ සේවාවන් බොහෝ ය. එදා මෙන් රාජ්‍යයන් පාලනය කිරීමටත්, රට තුළ ඉහළ තනතුරු
දැරීමටත් හැකි වීම අදටත් වලංගු ය. ඒ උතුම්, වීර, ශ්‍රේෂ්ඨ, අභිමානයෙන් යුතු කාන්තා
පරපුරක් නිර්මාණය වන්නේ ද සංඝමිත්තා තෙරණින් වහන්සේ මේ රට තුළ ඇතිකළ භික්ෂුණී ශාසනය
සහ ඒ තුළින් ඇති කළ සමාජ පරිවර්තනය නිසා ය. |