පාද වීථිහාර පූජාව ඇරඹෙයි
ඌරුගමුවේ අස්සජී හිමි
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ නිරිත දිග් භාගයේ සමනොළ කන්ද පිහිටා තිබේ. රත්නපුර
දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩපත්තුවට අයත් සමනොළ කන්ද පරිවාර කඳුවැටි
සමූහයකින් වට වී කේතු රූපාකාර ව දර්ශනය වන ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි.
පුරාතනයේ පටන්ම සමනොළ කන්ද ආකර්ෂණයට ලක් වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව ගෞතම
බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි ශිඛරය මත පිහිටුවා තිබීම නිසා
ය. එම පුවත මහාවංසයෙහි දැක්වෙන්නේ මෙසේ ය.
තත්ථ ධම්මං දෙසයිත්වා සත්ථා ලොකානුකම්පකො
උග්ගත්ත්වා සුමනෙ කූටෙ පදං දස්සෙසි නායකො
ලෝකානුකම්පාවෙන් යුත් ශාස්තෘන් වහන්සේ එතැන්හි (කැලණිය) ධර්ම දේශනා කොට සමන්ත කූට
පර්වතය මතුයෙහි පා සටහන දැක්වූ සේක.
තස්මිං පබ්බත පාදම්හි
සහසංසො යථා සුඛං
දිවාවිහාරං කත්වාන දීඝවාපිමුපාගමි
භික්ෂුන් වහන්සේ සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සුව සේ දිවා විහරණය කොට දීඝාවාපියට
වැඩි සේක.
එදා මෙදාතුර සැදැහැවත් ජනී ජනයා සිරිපා වන්දනාව සිදු කරනුයේ අපමණ භක්ත්‍යාදරයකින්
යුතුවයි. උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ඇරඹෙන අතර ඊළඟ
වෙසක් පුර පසළොස්වක පොහොයෙන් එය නිමාවට පත් කෙරෙයි. වන්දනා සමය ආරම්භයේ දී මෙන්ම
අවසානයේ දී ද සාම්ප්‍රදායික චිරාගත ආගමික වතාවත් රාශියක් ඉටු කෙරෙයි. ඒ අතර
පැල්මඬුල්ල, ගල්පොත්තාවල පන්සලේත් රත්නපුර මහ සමන් දේවාලයේත් සිරිපා පුදබිමේත් සිදු
කෙරෙන වතාවත් ප්‍රධාන තැනක් ගනියි.
ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යෑමයි. අද
වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණු එකල පා ගමනින් ම වන්දනා ගමන් යෑමට මෙරට ජනතාව
හුරුපුරුදු වී සිටියහ. සිරිපා වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක්
හිමි විය. සුමන සමන් දිව්‍ය රාජයා හට බාරහාර වීමෙන් පසු ගමන ආරම්භ කළ අතර, ශ්‍රී
පාද වන්දනා ගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස්
යැයි වන්දනාකරුවෝ දැඩිව විශ්වාස කළහ. ඊට හේතුව වන්නේ මෙරට වන්දනාවේ යන සිද්ධස්ථාන
අතර වැඩිම දුරක් පයින් යා යුතු සිද්ධස්ථානය ශ්‍රීපාදස්ථානය වීමයි. එබැවින් පිරිවර
ජනයා ද සමග වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත් ජනතාව සිරිපා
තරණය කරති. පුරාතනයේ නම් සිරිපා තරණය කළේ ස්වකීය ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දීමෙන්
පසුවයි.
සිරිපා වන්දනා ගමන සඳහාම පමණක් ආවේණික වූ විශේෂ වදන් මාලාවක් ජනගත වී පවතියි. එය
සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක භාවිත වන බවක් දැකිය නොහැකි ය. “ඉර සේවය” යන
වදන සිරිපා පුද බිම තුළ වඩාත් ප්‍රකට ය. හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම
එයින් කියැවෙයි. එහි ස්වභාවික අසිරිය දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් දැඩි රුචිකත්වයක්
දක්වති.
වන්දනා ගමන තුළ වන්දනාකරුවන් එකිනෙකා ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය
වෙනත් අවස්ථාවක දී කියන “ආයුබෝවන්” යන වදන හා සමාන ය.
කෝඩුකාරයා යනු ස්වකීය ජීවිතයේ මුල්ම වරට සිරිපා වන්දනාවේ යන තරුණයා ය. වැඩිහිටියා
දඬු කෝඩු නම් වන අතර, කුඩා දරුවකු හෝ දැරියක හෝ කිරි කෝඩු ලෙස හඳුන්වයි. සිරිපා
අඩවියේ තද අඳුර සහිත ව වලාකුළු පැතිරයෑම කෝඩේ ලෙසත්, වැසි වසින බව හැඟවීම ගඟුල
බානවා ලෙසත් ව්‍යවහාර කෙරේ. දෙපයේ කටු ඇනෙනවා යන්න සිරිපා වන්දනාවේ දී හඳුන්වන්නේ
පරඬැල් පෑගෙනවා ලෙස යි. වන්දනා ගමන් මාර්ගයේ යම් අවහිරතාවක් පවතී නම් ඉඩ ඉල්ලා
සිටින්නේ ‘සංහිඳේ’ යනුවෙන් පැවසීමෙනි. ‘ඉඩ දෙන්න’ යනු එහි අරුතයි.
වන්දනාකරුවා ගෙනයන සියලුම ආම්පන්න බහාලන උරය ‘සැහැල්ලුව‘ නම් වේ. එය උරහිස දෙපසට
වැටෙන සේ කරේ දමාගෙන යෑමට හැකි වන පරිදි මැසූ ලොකු උරයකි. වර්තමානයේ දී නම්
සැහැල්ලුව භාවිතයට නොගන්නා තරමට ම අභාවයට ගොස් තිබෙන බව පෙනේ. එහෙත් මෙම වදන දැනටත්
භාවිතයේ පවතියි. සමනොළ කන්දේ ඉහළ කොටසේ තද සීතලක් පවතියි. එම ප්‍රදේශයේ ගමන් කිරීම
‘හිමේ නැඟීම’ යි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන්ගේ පිරිසුදු වීම ‘පේ වීම’ වන අතර
දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේ වීම ලෙස දැක්විය හැකි ය.
සිරිපා වන්දනා කරන පිරිස ‘නඩය’ වන අතර එම පිරිසේ නායකයා නඩේගුරා ය. වචනය සංවර කර
ගැනීමකට පරෙස්සම් කර ගැනීම වන අතර, කට පරෙස්සම් කර නොගැනීම සිරිපා ගමනට බාධාවකි.
හැටන් - නල්ලතන්නි, කුරුවිට - එරත්න, පලාබද්දර යන මාර්ග තුන ඔස්සේ සැදැහැවත්හු
සිරිපා කරුණා කරති. මෙම මාර්ග හා සබැඳි ස්ථාන නාම රැසක් ද ජන වහරට එක්ව ඇත. රත්නපුර
මාර්ගයේ ලිහිණි හෙළ, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ මකර
තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම, භගවාලෙන, මහගිරිදඹ, අහස් ගව්ව ඒ අතර කිහිපයකි.
වන්දනාකරුවන් ගමනාන්තය දකිමින් පළමුව පැමිණෙන්නේ පාත මළුවටයි. එහි වන්දනාකරුවන්
බොහෝ ගැවසෙන අතර, විශ්‍රාම ශාලාවන් ද පවතියි. ඉර සේවය දැක බලා ගන්නේ මෙහි සිට ය.
සිරිපා මළුවෙහි දැල්වෙන දොළොස් මහේ පහන ද වන්දනාකරුවන් අතර බෙහෙවින් ම ජනපි‍්‍රය ය.
සිරිපා කරුණාවේ දී ඇතිවන සරතැස සංසිඳුවා ගැනීම හා සැදැහැය වර්ධනය කර ගැනීම පිණිස
කවි හා වාගාලාප ගැයීම ද සාම්ප්‍රදායික සිරිතකි. ගැයෙන කවි අතර ‘තුන් සරණය’ නමැති ජන
කාව්‍යයේ එන කවි ප්‍රධාන තැනක් ගනියි. |