[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

චේතනාව ම කර්මය වේ

චේතනාව ම කර්මය වේ

ලෝකයේ මිනිසුන් මත් වී වැරැදි කරන්නේ හුදෙක් මද්‍ය පානය කිරීමෙන් මත්වීම නිසා පමණක් ම නොවේ. මිනිසුන්ගේ හද තුළ පල්වන මානසික මද රාශියක් පවතින බැවින් ඒවායින් ද මත් වී බොහෝ දෙනා වෙහෙසට පත්වෙනවා පමණක් නොව අපරාධ ද කරති.

ඒවා අතුරෙන් යෞවන මදය නම් තරුණක ම තමා කෙරෙහි හැම කලකම පවතිනවා ය සිතා මහල්ලන් හෙළා දැකීම නැති කර දැමීමට අදහස් කිරීමයි. එනිසා ම අනුන් තළා පෙළා හිංසා කිරීම බඩුමුට්ටු ගෙවල් දොරවල් විනාශ කිරීම ද සිදුවේ.

තමාට ලෙඩ සෑදෙන්නේ නැතැයි සිතාගෙන ආරෝග්‍ය මදයෙන් මත්වන අය වා, පිත්, සෙම් කිපීමෙන් ද, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ද රෝගී බවට පත්වන්නාහ. රෝහල්වලට ගිය විට බැගෑපත් බවට අසරණ බවට පත්වන්නාහ.

“තමන් නොමැරෙනවා ය” යි සිතා සිටින අය ජීවිත මදයෙන් මත් වී අනුන් මරා තමා ද විපතට පත් වන්නෝ ය. චන්ද රාගයෙන් කාමාතුර වූවෝ ප්‍රේමයෙන් මත් වී බොහෝ වෙහෙසට පත් වී අනුන්ගේ සිනාවට හා පිළිකුලට ලක්වී නොයෙක් වැරැදි කටයුතු කරන්නාහ. කම්පල නොඇදහීමේ මිසදිටුකමින් මත්වූවෝ තිදොරින් දස අකුසල් ම කරන්නෝ ය. මේ හැර මිනිසුන් මත් කරවන රූප මදය, ධන මදය, බල මදය, යස මදය ආදී මත්වීම් රාශියක් පවතී.

පෙර කසී රට පෝතල නුවර අස්සක නම් රජකුට උබ්බරී නමැති රූමත් බිසවක් සිටියා. රජු ඇයට ඉතා දැඩි ලෙස ආදරය කළ අතර ඇය අකාලයේ මියගියා. ඉතා ශෝකයට පත් රජු ඇගේ මළ සිරුර බෙහෙත් තෙල් දෙනක බහා තම යහන යට තබාගෙන නොකා නොබී වැළපෙමින් ශෝකාතුර ව සතියක් පමණ ගතවන අතර, සංවාභිඥ අෂ්ට සමාපත්තිලාභී තවුසකු වූ අප මහ බෝසත් මෙම රජුගේ උයනට පැමිණ ගල් තලාවක් මත වැඩ සිටියේ ය. උයනට පැමිණි තරුණයකුගෙන් රජුගේ තොරතුරු දැනගත් බෝසත් තවුසාණෝ රජු කැමැති නම් ඇය උපන් තැන පෙන්වා දිය හැකි බව ඔහුට කීහ. ඔහු වහා රජු කරා දිවගොස් “උබ්බරී” බිසව උපන් තැන කිව හැකි දිව්‍යඥානලාභී තවුසකු රජුගේ උයනෙහි සිටින බැවින්, ඉක්මනින් එහි සැපත් වන ලෙස රජුට දැනුම් දුන්නා. රජු ද සපිරිවරින් වහා එහි ගොස් තවුසාට ගරු බුහුමන් දක්වා නමස්කාර කොට “ඔබතුමා මියගිය උබ්බරී බිසව උපන් තැන දන්නවාදැයි ඇසීය. දනිමි” යි තවුසා කී විට “කොහි උපන්නා දැයි” රජතුමා විමසීය.

“ඇය රූප මදයෙන් මත් වී, කිසිම පිනක් දහමක් සිදුකර නොගෙන කාලය ගතකොට මේ උයනෙහි ම ගොම පිඬක කුරුමිණියකු වී ඉපිද ඇතැයි තවුසාණෝ පැවසූහ. “එය ඇදහිය නොහැකි ය” යි රජු කී විට තවුසාණෝ එසේ නම් ඇය ගෙන්වා කතා කරවමියි කියා අසල තිබුණු ගොම පිඬක සිටි කුරුමිණියාට සහ කුරුමිණිදෙනට එන්නට සලසා “උබ්බරී” කියා ඇමතූහ. ඇයි හිමියනි යි කියා තම සෘද්ධි බලයෙන් මිනිස් බසින් ඇය ලවා කතා කරවා ගිය ආත්මයේ නුඹ කවුරු වී දැයි ඇසූහ. අස්සක රජුගේ “උබ්බරී” නමැති බිසව වීම්’ යි පිළිතුරු දුන්නා ය. නුඹට දැන් මේ අස්සක රජු ද වඩා පි‍්‍රය, නැතහොත් අර කුරුමිණියාදැ’යි තවුසාණන් ඇසූ විට ‘එදා මා අස්සක රජු සමඟ කෙළිදෙළෙන් මේ උයනෙහි ඇවිදිමින් පි‍්‍රයමනාප ව සිටියත්, දැන් මට ඔහු පි‍්‍රය නැත. ඔහුට වඩා මේ මාගේ කුරුමිණියා මට ඉතා පි‍්‍රය’යි කීවා ය. ‘නචෙන සුඛ දුක්ඛෙන පොරාණං අවිථියකි තස්මා අස්සකරඤ්ඤාච කීටෝ පියකරො මමං”

අලුත් සුවදුක්වලින් පැරැණි සුවදුක් වැසී යයි. එහෙයින් අස්සක රජුට වඩා මේ කෘමියා මට පි‍්‍රයකරය යනු මෙහි අදහසයි. මෙය ප්‍රත්‍යක්ෂවත්ම රජුගේ ප්‍රේමය බිඳවැටී, මුළාව පහවී උබ්බරී දේවියගේ මළ සිරුර ඉවත් කරවා හිස් සෝදා නාහා දැහැමින් රජ කෙළේ ය.

සියල්ලන් විසින් නිතර සිහි කළ යුතු කරුණු වශයෙන් වදාළ යට කී ධර්ම අතුරෙන් පස්වැන්න ‘කම්මස්සකතාවයි. එනම් තම තමන් කරන කර්මවල අයිතිකාරයන් තම තමන් ම වන බව පිළිගැනීමයි. සෝවාන් වන තුරු ධර්ම ඥානයෙන් උසස් බවට පත්වන පින්වතුන්ට අනුක්‍රමයෙන් දියුණු වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය යි. සෝවාන් වන විට ඇතිවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර ය. එයින් ආර්ය ය සත්‍ය සතර දැකීම පහළ වේ. ඒ සඳහා දිරි දරන බෞද්ධ ශ්‍රාවකයාට සියලු පව්කම්වලින් මිදෙමින් ඥානය දියුණු කර ගන්නට උපකාර වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියයි.

කර්මය ස්වකීය කොට ඇති බවයි. එනම් තමා කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ කරන කුසල හෝ අකුසල හෝ කර්ම පිළිබඳ වගකීම තමන්ට අයත් වන බවයි. බුදු දහමේ කර්මය පැහැදිලි කිරීමේ දී “චේතනාව“ කර්මයැයි. වදාරන ලදී. එනම්, යමක් සිතා මතා කරන විට ඇතිවන මුල් සිතිවිල්ල ය. ඒ සියල්ල ම මනෝපූර්වංග ම ව සිදුවේ.

ලෝභ, දෝෂ, මෝහ මුල් වී සිදුවන කර්ම පව්කම් වශයෙන් ද, අලෝභ අදෝස අමෝහ මුල්ව සිදුවන කර්ම පින්කම් වශයෙන් ද ගැනේ. පස්පව් දස අකුසල්, පන්සිල්, දස කුසල්, දස පින් කිරියවත් ආදී නම්වලින් බුදු සමයෙහි ඒවා ශාස්ත්‍රීය ලෙස විස්තර කර ඇත.

මේ පිළිබඳ මනා දැනීමක් ඇති තැනැත්තා කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුත් පුද්ගලයා ය. ඔහු කිසිවිටෙකත් තමා කරන වැරැද්ද අනුන් පිට දමන්නට හෝ අනුන් කරන හොඳ දේ හෝ තමන් අයත් කර ගන්නට හෝ අදහස් නොකරයි. ලෝකයෙහි බොහෝ දෙනා තමන් කරන හොඳ දෙයෙහි විපාක පිළිගන්නට කැමැති නැත. අධිකරණයේ දී බොහෝ විත්තිකරුවන් මුලින් තමා නිවැරැදිකාරයා යැයි කියන්නේ එහෙයිනි. කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් යුත් තැනැත්තා තමන්ගෙන් වරදක් කෙරුණත් වහාම වරද පිළිගන්නට සූදානම් ය. වරද පිළිගැනීමෙන් වරද කිරීමේ බරපතළකම අඩු වේ.

තවද කම්මස්සකතාව ඒකාන්තයෙන් අදහන්නා පව්වලින් වළකින්නට මෙන්ම පින් දහම් කර ගැනීමට ද යුහුසුළු වන්නේ ය. කුසලයක් කර ගැනීමට අවස්ථාවක් ලත් මොහොතේ ම එය සිදුකර ගන්නේ ය. බුදු සමයෙහි පුණ්‍යක්‍රියා දාන, ශීල, භාවනා වශයෙන් තුන් කොටසකට ලා විස්තර කර ඇත. බරපතළ පාපයක් ලෙස මව් මැරීම ආදී පංචානන්තරීය කර්ම දක්වා ඇති අතර ‘අට මහ කුසල්’ නමින් උසස් පින්කම් අටක් දක්වා ඇත.

උඳුවප් පුර අටවක

නොවැම්බර් 28 සිකුරාදා පූ.භා 00.28 පුර අටවක ලබා 29 සෙනසුරාදා පූ.භා 00.13න් ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]