|
උඳුවප් පුර
අටවක පෝ දා 2025-11-28
සුගතිය දකින්නෝ
සම්බුදු දහමේ පංචවිධ ව්‍යසනයන් පිළිබඳ
අපූර්ව විස්තරයක් කෙරේ. ඒ ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග
ව්‍යසනය, ශීල ව්‍යසනය හා දෘෂ්ටි ව්‍යසනය ලෙසිනි.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ යම්
පුද්ගලයෙක් ඥාති ව්‍යසන නිසා හෝ භෝග ව්‍යසන නිසා හෝ රෝග ව්‍යසන
නිසා හෝ මරණින් මතු සැප නැති, මහා දුක් ඇති නිරයට නොපැමිණෙන
බවය. එහෙත් ඔහු හෝ ඇය හෝ ශීල ව්‍යසනයට පත්වූයේ නම්, දෘෂ්ටි
ව්‍යසනයට පත්වූයේ නම්, සැප, නැති මහා දුක් ඇති නිරයට පැමිණන බව
ය.
මෙලෙස පංච විධ ව්‍යසන සේ ම පුද්ගලයා ලබන
සම්පත් පහක් පිළිබඳව ද දහමෙහි විග්‍රහ කෙරේ. ඒ ඥති සම්පත, භෝග
සම්පත, ආරෝග්‍ය සම්පත, ශීල සම්පත හා දෘෂ්ටි සම්පත ලෙසිනි. අප
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ලෝකයේ ජීවත්වන යම් කෙනෙක්
ඥාති සම්පත නිසා හෝ, භෝග සම්පත නිසා හෝ, ආරෝග්‍ය සම්පත නිසා හෝ
මරණින් මතු ස්වර්ග ලෝකයට නොපැමිණෙන බව ය. එහෙත් ශීල සම්පත
නිසා, දෘෂ්ටි සම්පත නිසා මරණින් මතු සැපයට පැමිණෙන බව ය.
මේ අපූර්ව සදහම් කරුණු අපට සිහි ගන්වන්නේ
ජීවිතය පිළිබඳ පැවතිය යුතු ආකාරයයි. යම් කෙනකුට හොඳ ඥාතීන්
සිටීම, ධන ධාන්‍යයෙන් ආඪ්‍යවීම, නිරෝගී සම්පත හිමි වීම මේ
ජීවිතයේ ලද භාග්‍යයකි. එහෙත් මේ සම්පත් නිසාම ඇතැම් කෙනෙක්
අහංකාරයෙන් මත් ව, උඩඟුබවින් සමාජය සමඟ කටයුතු කරති. කුසලයෙහි,
අකුසලයෙහි, පිනෙහි, පවෙහි වෙනස පවා හඳුනා ගත නොහැකි තරමට අන්ධ
වෙති. ඒ තුළ තමන්ට ම නොදැනී සීල විපතට, දෘෂ්ටි විපතට පැමිණෙති.
පවෙහි, අකුසලයෙහි ලජ්ජා බිය නොවෙති. තමන්ගේ පිරිවර නිසා ධන
සම්පත් නිසා, නිරෝගී බව නිසා කළ නොහැකි දෙයක් නොමැති බව
සිතමින්, මුළාවට පත්වෙති. කර්මානුරූපව මේ ජීවිතයේ මේ සම්පත්
ලැබුව ද අනුවණකම, අනවබෝධය තුළ ම ඔහු හෝ ඇය හෝ ඊළඟ බවයට පව්
රැස් කරගනී. ඒ ශීල විපත්තියට, මිථ්‍යාදෘෂ්ටියට පැමිණීම නිසා ය.
සීල විපත්තිය නම් දුසිල්වත් බවයි. එහි දොස්
බොහෝ ය. යම් හෙයකින් අසත්පුරුෂ ඇසුර නිසා හෝ තමන් දුසිල්වත්
වූයේ නම් ඒ පාප කර්මය අනුන්ට නොවේ. තමන්ට ම ය. තමන්ගේ කාය,
වාග්, මනෝ කර්ම පිළිබඳ නුවණින් විමසිය යුතු එහෙයිනි. බෞද්ධයන්
ලෙස නුණුවනින් දිවි ගෙවීම මඟ දැන සිටියදීත් අඳුරට වැටීමකි.
බෞද්ධයා යනු අඳුරෙන් ආලෝකයට, ආලෝකයෙන් ආලෝකයට යන නැණවතකු මිස
අඳුරෙන් අඳුරට යන, ආලෝකයෙන් අඳුරට යන අඥානයකු නොවේ.
තමන්ට භව භෝග සම්පත් නොතිබුණද, යහපත් ඥාති
පිරිවරක් නොසිටිය ද, තමන් රෝගී බවින් කල් ගෙවුවද සිල්වත්බවට,
සම්‍යග් දෘෂ්ඨියට ඒ වා කිසිවක් බාධක කරගත යුතු නැත. වීර්යවන්ත
පුද්ගලයාට ඒ සම්පත් ළඟා කර ගැනීම අසීරු නැත. යම් හෙයකින්
නොහැකි වුව ද ඒ නිසා තමන්ගේ සීලයට, දෘෂ්ටියට හානි කර නොගත යුතු
ය.
එවැනි පුද්ගලයා මනුෂ්‍යත්වයෙන් උදාර ය.
තමන්ටවත්, අනුන්ටවත් අනර්ථයක් නොකරන්නෙකි. මේ ජීවිතයේ
ප්‍රඥාවන්තයන් අතර කීර්තියට, ගෞරවයට පත්වන ඔහු පරලොව දිනූවෙකි.
ඔහුගේ සිල්වත්කම, සම්‍යක් දෘෂ්ටිය මරණින් මතු ජීවිතය ඉහළට ඔසවා
තබයි. |