Print this Article


නිදිමත අලසබව දුරැර සමාධි සිත වඩමු

නිදිමත අලසබව දුරැර සමාධි සිත වඩමු

සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ දී කෙනකුට මිනිසත් බවක් ලැබෙන්නේ කලාතුරකිනි. එම කලාතුරකින් ලැබුණු මිනිසත් බව තුළ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයට මුණගැසී, එම කල්‍යාණ මිතුරන් ඇසුරින් නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන පිරිස ද ඉතා අල්ප වේ.

තමන්ගේ දුර්වලතා බැහැර කොට ධර්මයට අනුව ජීවිතය පැවැත්වීමට උත්සාහ ගන්නා විට ද ඒ සඳහා නොයෙක් ආකාරයේ බාධාවන්ට මුහුණ දීමට එම ශ්‍රාවකයාට සිදුවේ. එසේ නිවන් මඟ ආවරණය කරන, වළකාලන නීවරණ ධර්මයක් ලෙස ථීනමිද්ධය හැඳින්විය හැකි ය. සසරේ පුරන ලද පාරමී බලය සම්පූර්ණ කොට ගුරු උපදේශ රහිත ව චතුරාර්ය සත්‍යය අවබෝධ කොට වදාළ අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිවන් මඟට බාධා පමුණුවන සියලු කෙලෙස් හඳුනාගෙන එම කෙලෙස් තමන් වහන්සේගේ සිතින් යළි නූපදින ආකාරයට මුලින් ම උපුටා දැමූ සේක. තම ශ්‍රාවකයන් හට ද මහා කරුණාවෙන් යුතු ව එම කෙලෙස්වලින් මිදෙන ආකාරය පෙන්වා දුන් අයුරු විස්මයජනක ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් දෙයකින් නූපන් ථිනමිද්ධය (නිදිමත හා අලස බව) උපදිනවා නම්, උපන් ථිනමිද්ධය බොහෝ සෙයින් වැඩි වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල සිත නො ඇලීමත්, අලසකමත්, ඈනුම් අරිමින් ඇඟමැළි කැඩීමත්, බත් මතයත්, සිතේ හැකිළුණු බවත් තරම් එයට හේතු වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ කියා ය.

වරෙක එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියා සිටියේ නිදා ගැනීමත්, කම්මැළිකමත්, ඇඟමැළි කැඩීමත්, බණ භාවනාවට නො ඇලීමත්, බත් මතයත් යන මේ දේ නිසා මේ ලෝකයේ සත්ත්වයන්ට නිවන් මඟ ප්‍රකට නොවන බවයි. ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ නිදා ගැනීම, කම්මැළිකම, ඇඟමැළි කැඩීම, බණ භාවනාවට නො ඇලීම, බත් මතය කියන මේ සෑම දෙයක් ම විරියෙන් දුරුකළා ම නිවන් මඟ ප්‍රකට වන බවයි.

නිවන් මඟට බාධා පමුණුවන නිදිමත හා අලස බව වීරිය උපදවා ගැනීම තුළින් දුරු කළ හැකි ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ උපන් ථිනමිද්ධය ප්‍රහාණය වීම පිණිසත්, නූපන් ථිනමිද්ධය නූපදවීම පිණිසත් මේ වීර්යය පටන් ගැනීමත් (ආරම්භ ධාතු) වීරිය දිගට ම පවත්වා ගැනීමත් (නින්ඛම ධාතු), දැඩි ලෙස දියුණු කර ගැනීමත් (පරක්කම ධාතු) යන කරුණු උපකාර වන බවයි.

සියල්ල දක්නා, සියල්ල දන්නා අපගේ ශාස්තෘන් වහන්සේ එක්තරා අවස්ථාවක සංගාරව බ්‍රාහ්මණයා හට නීවරණ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ පෙන්වා දුන්හ. එහි දී ථිනමිද්ධය නම් නීවරණය පිළිබඳ ව මනරම් උපමාවක් දේශනා කළ සේක. එනම්. දියසෙවල හා පාසි පිරී ගිය දිය බඳුනක් ඇද්ද, එය තුළින් ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන පරීක්ෂා කර බලද්දී ඔහුට තම මුහුණේ සටහන නියම ආකාරයෙන් නොපෙනේ. එලෙස ම නිදිමත හා අලස බවින් පෙරළී ගිය සිත් ඇති, එයටම යටවූ සිතින් වාසය කරන, එයින් නිදහස් වීමට ඒ අයුරින් ම නොදත් තැනැත්තා තමාගේ යහපත නොදකී. අනුන්ගේ යහපත ද ඒ අයුරින් ම නොදනී. තමාගේ හා අනුන්ගේ යහපත ද ඒ අයුරින් ම නොදනී.

වරෙක බුදුරජාණන් වහන්සේ වදාළේ මෙම නීවරණ තනිකරම අකුසල් රාශියක් බවයි. අකුසල් ගොඩක් බවයි. එසේනම් මේ නිදිමත හා අලස බව පැවැත්වීමෙන් අප හට කිසිදු යහපතක් උදා නොවේ.

වරෙක අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අරහත්වයට පත්වීමට පෙර කල්ලවාලමුත්ත නම් ගමෙහි හුදෙකලාව භාවනාවේ යෙදී සිටින අවස්ථාවක ථිනමිද්ධයෙන් යට කරන ලද සිතින් වැඩ සිටිනු දුටු භාග්‍යවතුන් වහන්සේ එතැනට ඍද්ධියෙන් වැඩම කළ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් මොග්ගල්ලානයන් වහන්සේට නිදිමත ප්‍රහාණය කර ගන්නා අයුරු මෙසේ මැනවින් පෙන්වා දුන් සේක.

මොග්ගල්ලාන, යම් සඤ්ඤාවකින් (භාවනාවකින්) වාසය කරන කල්හි ඔබ තුළ ඒ නිදිමත බැසගන්නේ නම්, එම සඤ්ඤාව මෙනෙහි නොකරන්න. එවිට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

එසේ වසද්දී ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, එකල්හි මොග්ගල්ලාන, ඔබ ඇසූ පරිදි, ඉගෙන ගෙන ඇති පරිදි ධර්මය මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

එසේත් ප්‍රහාණය නොවන්නේ නම් එකල්හි ඔබ අසා ඇති ආකාරයට, ඉගෙනගෙන ඇති ආකාරයට ධර්මය හඬ නඟා විස්තර වශයෙන් සජ්ඣායනා කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

එසේ වසද්දීත් ඒ නිදිමත ප්‍රහාණය නොවන්නේ නම්, එකල්හි මොග්ගල්ලාන ඔබ දෙකන්, අත්පා, අත්ලෙන් හොඳින් පිරිමදින්න.

එසේත් එම නිදිමත ප්‍රහාණය නොවන්නේ නම්, මොග්ගල්ලාන, ඔබ හුනස්නෙන් නැඟිට සිහිල් දියෙන් දෑස් තෙමා වට පිට හොඳින් බලන්න. අහසේ ඇති තරු ආදිය හොඳින් බලන්න.

ඉදින් එසේ වසද්දීත් නිදිමත ප්‍රහාණය නොවන්නේ නම්, එකල්හි ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දහවල් යන සංඥාව අධිෂ්ඨාන කරන්න. එනම් දහවල යම් සේ ද රැයත් එසේ ය. රැය යම් සේ ද දහවලත් එසේ ය යනුවෙනි. මෙසේ විවෘත වූ ප්‍රභාෂ්වර සිත වඩන්න.

එසේ වාසය කරද්දීත් නිදිමත ප්‍රහාණය නොවන්නේ නම්, හොඳින් තමා තුළට සිහිය පිහිටුවාගෙන සක්මනෙහි යෙදෙන්න.

එසේ වාසය කරන ඔබ හට නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

ඉදින් මෙසේ වසද්දීත් නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, එකල්හි ඔබ දකුණු පාදයෙන් වම් පාදය මඳක් ඇලට තබා සිහියෙන් යුතු ව, නුවණින් යුතු ව, නැඟිටිමි යි යන සංඥාව මෙනෙහිකොට, දකුණු පසින් ඇලව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන්න. මොග්ගල්ලාන, ඔබ අවදි වූ සැණින් වහා නැඟිටිය යුත්තේ ය. නින්දෙන් ලැබෙන සැපයෙන්, යහනෙන් ලැබෙන සැපයෙන් නැවත නැවත යෙදෙමින් වාසය නොකරන්නෙමි’ යි හික්මිය යුත්තේ ය.

මෙසේ බලන කල නිදිමත හා අලස බව ඉතා දුෂ්කරව, ඉතා වීරියෙන් ප්‍රහාණය කළ යුතු නීවරණයකි. සම්මා සම්බුදු රජාණන් වහන්සේනමක් පහළ වීමෙන් පමණක් අපට දැනගත හැකි මෙම නීවරණයන් පිළිබඳ ව හොඳින් වටහාගෙන, එය ප්‍රහාණය කිරීමට අප ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමෝපායයන් ඉගෙනගෙන, ඒවා මතකයේ දරාගෙන වීරියෙන් අප කටයුතු කළහොත් ඉන් මිදිය හැකි ය.

අපගේ මොග්ගල්ලානයන් වහන්සේ මෙම අවවාද හිස් මුදුනෙන් පිළිගෙන ථිනමිද්ධය මුළුමනින් ම ප්‍රහාණය කොට චිත්ත සමාධිය උපදවා ඒ තුළින් විදර්ශනාව වඩා උතුම් අරහත්වයට පත් වූහ.

මේ උතුම් දුර්ලභ මිනිසත් බවත්, උතුම් බුද්ධ ශාසනයත් මුණගැසුණු මේ විරල මොහොතේ දී නිදිමත හා අලස බව දුරුකොට සමාධිමත් සිතක් උපදවාගෙන අප සියලු දෙනාට ද මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධකර ගැනීමේ වාසනාව උදාවේවා!