Print this Article


මරණයේ මාවත

මරණයේ මාවත


සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ නිදාන වග්ගයේ අභිසමය සංයුක්තයේ බුද්ධ වර්ගයේ පටිච්ච සමුප්පාද සූත්‍රය තුළ මරණයේ මාවත ගැන සඳහන් වෙයි. සත්ත්වයා මරණයට පත්වන්නේ ජාතිය හෙවත් ඉපදීම නිසා ය.

ඉපදීම සිදුවන්නේ භවය නිසා ය. භවය සිදුවන්නේ උපාදාන හෙවත් දැඩි ව අල්ලා ගැනීම නිසාවෙනි. දැඩිව අල්ලාගැනීම සිදුවන්නේ තණ්හාව හෙවත් ආශාව නිසාවෙනි. තණ්හාව ඇතිවන්නේ වේදනාව නිසාවෙනි. වේදනාව ඇති වන්නේ ඵස්ස හෙවත් ස්පර්ශය නිසාවෙනි. ඵස්සය ඇති වන්නේ සලායතන හෙවත් ආයතන හය නිසාවෙනි. සලායතන ඇති වන්නේ නාමරූප නිසාවෙනි. නාම රූප ඇති වන්නේ විඤ්ඤාණය නිසාවෙනි. විඤ්ඤාණය ඇති වන්නේ සංස්කාර නිසාවෙනි. සංස්කාර ඇතිවන්නේ අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසාවෙනි. මෙසේ මරණයට හේතුවන කරුණූ නැවත නැවත සැකසීමෙන් චක්‍රයක් ලෙස යෙදෙයි. එසේ සිදුවන ක්‍රියාවලිය පටිච්චසමුප්පාදය ලෙස නම් කරයි. සත්ත්වයා සසර ගමනේ මැරෙන ඉපදෙන බව පටිච්චසමුප්පාදය සූත්‍ර දේශනයේ සඳහන් ව ඇත්තේ මෙසේ ය.

“පටිච්චසමුප්පාදං වො භික්ඛවෙ, දෙසිස්සාමී තං සුනාථ සාධුකං

මනසි කරොථ භාසිස්සාමීති ‘එවං භන්තෙ’ ති “ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච.”

“කතමො ච භික්ඛවෙ පටිච්චසමුප්පාදො? අවිජ්ජාපච්චයා භික්ඛවෙ සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා

නාමරූපං නාමරූපපච්චයා සළායතනං සළායතනපච්චයා ඵස්සෝ

ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං

උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං

සොකපරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස

කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික්ඛවෙ පටිච්ච සමුප්පාදො.”

“මහණෙනි, ඔබට පටිච්ච සමුප්පාදය දේශනා කරමි. එය අසන්න. මනා කොට මෙනෙහි කරන්න. දේශනා කරමි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, පටිච්ච සමුප්පාදය කවරේද? මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානය ප්‍රත්‍යයයෙන් (නාමය ද, රූප ද) නාමරූපය ද වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් (සෂ්ඨායතනය ද) ෂඩායතන ද වේ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපායසයො හටගනී. මෙසේ මේ හුදු දුක්ඛස්කන්ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්‍රත්‍යයාකාරය) පටිච්චසමුප්පාදයයි, කියනු ලැබේ.”

සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ විභංග සූත්‍රය තුළ පටිච්ච සමුප්පාදයේ ඇති අංග දොළස පැහැදිලි කර ඇත. එම සූත්‍රයට අනුව ජරාව සහ මරණයට පත්වීම ලෙස දක්වන්නේ යම් සත්ත්වයකුගේ යම් දිරීමක්, දිරන බවක්, දත් ආදිය වැටීමක්, කෙස් ආදිය පැසීමක්, ඇඟ රැලි වැටීමක් ආයුෂ පිරිහීමක්, ඉඳුරන්ගේ පැසීමක් ලෙසයි. මරණය ලෙස දක්වා ඇත්තේ යම් සත්ත්වයකු ඒ ඒ සත්ව ලෝකයෙන් වෙන් වීමක්, ඉවත් වීමක්, අතුරුදන් වීමක්, මරණයට පත් වීමක්, කලුරිය කිරීමක්, සිරුර හැරදැමීමක්, ජීවිත ඉඳුරන්ගේ බිඳී යෑමක්, රූප, වේදනා, සංඥා සංඛාරාදින්ගේ වෙන්ව යෑමක් ලෙස යි. එය සූත්‍ර දේශනයේ සඳහන් වන්නේ මෙසේ ය.

“කතමඤ්ච භික්ඛවෙ ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො, අයං වුච්චති ජරා”

“මහණෙනි, ජරා මරණ කවරේද? ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ත්ව නිකායෙහි යම් දිරීමක්, දිරන බවක්, දත් වැටීමක්, කෙහෙ පැසීමක්, ඇඟ රැලි වැටීමක්, ආයු පිරිහීමක්, ඉඳුරන්ගෙන් පැසීමක් වේ ද? මේ ජරා යැයි කියනු ලැබේ.

“කතමඤ්ච භික්ඛවෙ, මරණං යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති වචනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්‍රියස්ස උපච්ඡෙදො ඉදං වුච්චති මරණං ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං ඉදං වුච්චති භික්ඛවෙ ජරා මරණං”

“මහණෙනි, මරණය කවරේද? ඒ ඒ සත්ත්ව නිකායයෙන්, ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමක්, වෙන් වන බවක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මච්චු නම් මරණයක්, කාලක්‍රියාවක් (සම්මුති මරණයක්) ස්කන්ධයන්ගේ බිඳීමක්, සිරුර හැර දැමීමක්, ජීවිතින්ද්‍රියයාගේ සිඳී යෑමක් වේ ද, මේ මරණය යැයිද කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මරණය ද යන මෙය මහණෙනි, ජරා මරණ යැයි කියනු ලැබේ.

මරණයට පත්වීම සිදුවන්නේ ඉපදීම නිසාවෙනි. ඉපදීම ලෙස හඳුන්වන්නේ යම් සත්ව ලෝකයක හටගැනීමක්, පරිපූර්ණ හට ගැනීමක්, මව් කුසට බැසගැනීමක්, ඉපදීමක්, පරිපූර්ණ වශයෙන් ඉපදීමක්, පංචස්කන්ධයන්ගේ පහළවීමක් හෙවත් රූප වේදනා, සංඥා, සංස්කාර, විඥාන පහළවීමක්, චක්ඛු ආයතන, සෝතායතන, ඝානායතනා දී ආයතනයන්ගේ පහළ වීමයි. එය සූත්‍ර දේශනයේ මෙසේ දැක්වේ.

“කතමාච භික්ඛවෙ, ජාති යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති

ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති භික්ඛවෙ

ජාති.”

“මහණෙනි, ජාතිය කවරේද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි හටගැනීමක්, පිරිපුන් හටගැනීමක්, කුසට බැස ගැනීමක්, ඉපදීමක්, වෙසෙස් ඉපදීමක් ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතනයන්ගේ පිළි ලැබීමක් වේ ද? මහණෙනි, මේ ජාති යැයි කියනු ලැබේ.”

විභංග සූත්‍රයේ භවය පිළිබඳ ව සඳහන් වන්නේ “කතමොච භික්ඛවෙ, භවො තයොමෙ භික්ඛවෙ, භවා කාමභවො රූපභවො අරූපභවො අයං වුච්චති භික්ඛවෙ භවො” යනුවෙනි.

“මහණෙනි භවය කවරේද මහණෙනි, කාම භවය, රූපභවය, අරූප භවයයි. මේ භව තුනකි. මේ භව යැයි කියනු ලැබේ.

ජාතිය හෙවත් ඉපදීම සිදුවන්නේ භවය නිසාවෙනි. භවය යනු උපදින ස්ථානය යි. කාම ලෝකය සත්වයා උපදින එක් ස්ථානයකි. රූපය ප්‍රකට ලෝකයේ ඉපදීම දෙවැනි ස්ථානයකි. රූපය ප්‍රකට නැති අරූපාවචර ලෝකය සත්ත්වයා පහළ වන තුන්වැනි ස්ථානයයි.

“කතමඤ්ච භික්ඛවෙ උපාදානං චත්තාරිමානි භික්ඛවෙ,

උපාදානානී කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතුපාදානං

අත්තවාදුපාදානං ඉදං වුච්චති භික්ඛවෙ උපාදානං”

“මහණෙනි, උපාදාන කවරේද? මහණෙනි කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදාන යැයි සතරකි. මහණෙනි, මේ උපාදාන යැයි කියනු ලැබේ.

භවය හටගන්නේ උපාදානය නිසාවෙනි. උපාදානය නම් දැඩි ඇලීමයි. දැඩිව අල්ලා ගැනීමයි. ඇස, කන, නාසය ආදී ඉඳුරන් පිනවීමට දැඩි ඇලීම කාම උපාදානයකි. දෘෂ්ටින් හෙවත් මතවාද පිළිබඳ දැඩිව ඇලීම,අල්ලා ගැනීම දිට්ඨි උපාදානය යි. සීල ප්‍රතිපදාවන් පිළිබඳ ව දැඩිව අල්ලා ගැනීම හෙවත් දැඩිව ඇලීම සීලබ්බත උපාදානයයි. නොවෙනස් වන විඤ්ඤාණයක් ඇති බව දැඩිව අල්ලා ගැනීම ආත්ම වාදය හෙවත් අත්තවාද උපාදානයයි.

උපාදානයට හේතුවන තණ්හාව විභංග සූත්‍ර දේශනයේ දැක්වෙන්නේ මෙසේ ය.

“කතමා ච භික්ඛවෙ තණ්හා ඡයිමෙ භික්ඛවෙ, තණ්හාකායා

රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා

ධම්මතණ්හා අයං වුච්චති භික්ඛවෙ තණ්හා.”

“මහණෙනි, තෘෂ්ණාව කවරේද මහණෙනි, රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්පර්ශ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව යි. මේ තෘෂ්ණාරාශි සයෙකි. මහණෙනි, මේ තෘෂ්ණා යැයි කියනු ලැබේ.”

තණ්හාව නිසාවෙන් උපාදානය සිදුවේ. තණ්හාව යනු ඇසට රූප දැකීමේ ආශාවයි. කනට ශබ්ද ඇසීමේ ආශාවයි. නාසයට ගන්ධය ලැබීමේ ආශාවයි. දිවට රසය ලැබීමේ ආශාවයි. කයට පහස ලැබීමේ ආශාව යි. මනසට අරමුණු ලැබීමේ ආදී ආශාවන් හෙවත් කැමැත්ත යන හයයි.

ආශාව ඇති වීමට හේතුවන වේදනාව පිළිබඳ විභංග සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේ ය.

“කතමා ච භික්ඛවෙ වෙදනා, ඡයිමෙ, භික්ඛවෙ, වෙදනාකායා

චක්ඛු සම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා, වෙදනා, ඝාණසම්ඵස්සජා වෙදනා, ජීවිහාසම්ඵස්සජා වෙදනා, කාය සම්ඵස්සජා වෙදනා, මනො සම්ඵස්සජා වෙදනා අයං වුච්චති භික්ඛවෙ වෙදනා.”

“මහණෙනි, වේදනාව කවරේද? ඇසෙහි (අරමුණු) ගැටීමෙන් වන වේදනා ය, කනෙහි ගැටීමෙන් වන වේදනා ය. නහසයෙහි ගැටීමෙන් වන වේදනා ය. දිවෙහි ගැටීමෙන් වන වේදනා ය, කයෙහි ගැටීමෙන් වන වේදනා ය. සිතෙහි ගැටීමෙන් වන වේදනා යි. මේ වේදනා රාශියකි. මහණෙනි, මේ වේදනා යැයි කියනු ලැබේ.

වේදනාව යනු වින්දනය යි. ඇසේ අරමුණූ ගැටීමෙන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, වශයෙන් වින්දනය සිදුවෙයි. කනෙහි ශබ්දය අරමුණ ගැටීමෙන් සැප වේදනා, දුක්වේදනා, උපේක්ෂා වේදනා සිදුවෙයි. නාසයෙහි ගන්ධ අරමුණු ගැටීමෙන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, සිදුවෙයි. දිවෙහි රස අරමුණු ගැටීමෙන් සැප වේදනා, දුක්වේදනා, උපේක්ෂා වේදනා හටගනියි. ශරීරයේ ස්පර්ශය අරමුණු ගැටීමෙන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා සිදුවෙයි. මනසෙහි අරමුණූ ගැටීමෙන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, සිදුවෙයි. මෙසේ හය ආකාරයකින් වේදනා සිදුවෙයි.

විහංග සූත්‍රයේ වේදනා ඇති වීමට හේතුවන ඵස්සය පැහැදිලි කර ඇත්තේ මෙසේ ය.

“කතමො ච භික්ඛවෙ ඵස්සො, ජයිමෙ භික්ඛවෙ භස්සකායා චක්ඛු සම්ඵස්සො, සොත සම්ඵස්සො, ඝාණ සම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කාය සම්ඵස්සො, මනො සම්ඵස්සො, අයං වුච්චති භික්ඛවෙ ඵස්සො.”

මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි ඇසේ (අරමුණු) ගැටීම ය, කනෙහි ගැටීම ය. නහසයෙහි ගැටීම ය. දිවෙහි ගැටීම ය. කයෙහි ගැටීම ය. සිතෙහි ගැටීම ය . මේ ස්පර්ශ රාශි සයෙකි. මහණෙනි, මේ ස්පර්ශ යැයි කියනු ලැබේ.

ස්පර්ශ නිසා වේදනාව සිදුවෙයි. ස්පර්ශ ලෙස හඳුන්වන්නේ ගැටීම නොහොත් එකතු වීමයි. ඇසයි, රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි, කනයි, ශබ්දයි, විඤ්ඤාණයයි එකතුවීම කනේ ස්පර්ශය යි. නාසයයි, ගන්ධයයි, විඤ්ඤාණයයි, එකතු වීම නාසයේ ස්පර්ශයයි, දිවයි, රසයයි, විඤ්ඤාණයයි, එකතුවීම දිවේ ස්පර්ශය යි. ශරීරයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය යි. මනසයි, සිතුවිලියි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය යි.

විභංග සූත්‍රයේ සඳහන් පරිදි ස්පර්ශයට හේතුවන සළායතන දැක්වෙන්නේ මෙසේ ය.

කතමඤ්ච භික්ඛවෙ සළායතනං, චක්ඛායතනං සොතායතනං ඝාණායතනං ජිව්හායතනං කායායතනං මනායතනං ඉදං වුච්චති භීක්ඛවෙ සළායතනං,

“මහණෙනි ෂඩායතන කවරේ ද චක්ඛු ආයතනය, සෝත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනා ආයතනය, මහණෙනි, මේ ෂඩායතන යැයි කියනු ලැබේ.”

සළායතන ලෙස දැක්වෙන්නේ ඇස මූලික කරගෙන සිදු කරන ක්‍රියාවලිය, කන මූලික කරගෙන සිදු කෙරෙන ක්‍රියාවලිය, නාසය මූලික කරගෙන සිදුකෙරෙන ක්‍රියාවලිය, දිව මූලික කරගෙන සිදුවෙන ක්‍රියාවලිය, ශරීරය මූලික කරගෙන සිදු කෙරෙන ක්‍රියාවලිය, සිත මුල් කරගෙන සිදුකෙරෙන ක්‍රියාවලිය යන හයයි.

විභංග සූත්‍රය ආයතන හයට හේතුවන නාම රූප පිළිබඳ ව මෙසේ සඳහන් වෙයි. පැහැදිලි කෙරෙයි.

“කතමඤ්ඤ භික්ඛවෙ නාමරූපං වෙදනා සඤ්ඤා චේතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහා භූතානං උපාදායරූපං ඉදං වුච්චති රූපං ඉති ඉදඤ්ච නාමාං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවෙ නාම රූපං”

“මහණෙනි නාම රූප කවරේද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශය, මනසිකාරය යන මෙය නාමය යි. කියනු ලැබේ. සතර මහාභූතයෝ ද, සතර මහා භූතයන්ගේ උපාදාය රූප ද යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ නාමරූප යැයි කියනු ලැබේ.”

නාම රූප ලෙස හඳුන්වන්නේ වේදනාව හෙවත් වින්දනය, සංඥාව හෙවත් හඳුනා ගැනීම, චේතනා හෙවත් සිතුවිලි, ස්පර්ශ හෙවත් කරුණු තුනක එකතුව ( ඇස, රූපය, විඤ්ඤාණයාදී) මනසිකාර හෙවත් මෙනෙහි කිරීම යන නාමය ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සරත මහා ධාතු සහ උපාදාය රූපාදියෙන් යුක්ත රූප කොටස් ආදියේ එකතුවටයි.

විභංග සූත්‍රයේ නාමරූපයට හේතුවන විඤ්ඤාණය සඳහන් වෙන්නේ මෙසේ ය.

“කතමඤ්ච භික්ඛවෙ විඤ්ඤාණං? ඡයිමෙ භික්ඛවෙ, විඤ්ඤාණකායා චක්ඛුවිඤ්ඤාණං සෝත විඤ්ඤාණං ඝාණවිඤ්ඤාණං

ජිව්හා විඤ්ඤාණං කායවිඤ්ඤාණං මනො විඤ්ඤාණං ඉදං වුච්චති

භික්ඛවෙ, විඤ්ඤාණං.”

“මහණෙනි, විඤ්ඤාණ කවරේද? මහණෙනි චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයයි. මේ විඤ්ඤාණ රාශි සයෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණ යැයි කියනු ලැබේ.”

විඤ්ඤාණය ලෙස දැක්වෙන්නේ ඇස මූලික කරගෙන හටගන්නා සිතීමේ ශක්තියයි. කන මූලික කරගෙන හටගන්නා සිතීමේ ශක්තිය යි. නාසය මූලික කරගෙන හටගන්නා සිතීමේ ශක්තිය යි. දිව මූලික කරගෙන හටගන්නා සිතීමේ ශක්තිය යි. ශරීරය මූලික කරගෙන හටගන්නා සිතීමේ ශක්තිය යි. සිත මූලික කරගෙන හටගන්නා සිතීමේ ශක්තිය යි. යන හය ආකාර වූ සිතීමේ ශක්තියටයි.

විභංග සූත්‍ර දේශනය තූළ විඤ්ඤාණය හට ගැනීමට හේතුවන සංස්කාර දැක්වෙන්නේ මෙසේ ය.

“කතමෙ ච භික්ඛවෙ සංඛාරා, තයොමො භික්ඛවෙ, සංඛාරො

කාය සංඛාරො වචී සංඛාරෝ චිත්ත සංඛාරො ඉමෙ වුච්චති භික්ඛවෙ සංඛාරා.”

මහණෙනි, සංස්කාරයෝ කවරහුද? මහණෙනි, කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය යි. මේ සංස්කාර තුනකි. මහණෙනි, මොහු සංස්කාරයෝ යැයි කියනු ලැබේ.

සංස්කාර යනුවෙන් හඳුන්වන්නේ කය මූලික කරගෙන රැස්කරන පින් පව් ආදී කර්මයයි. වචනය මූලික කරගෙන රැස්කරන පින් පව් ආදි කර්මය යි. සිත මූලික කරගෙන රැස්කරන පින්, පව් ආදි කර්ම යන සිත, කය වචනය ඇසුරින් රැස් කරන පින් පව් ධ්‍යානාදී කර්මයන්ටයි.

විභංග සූත්‍රයට අනුව සංස්කාරවලට හේතුවන අවිද්‍යාව දැක්වෙන්නේ මෙසේ ය.

“කතමා ච භික්ඛවෙ අවිජ්ජා යං ඛො භික්ඛවෙ දුක්ඛෙ අඤ්ඤාණං

දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං දුක්ඛ නිරොධෙ අඤ්ඤාණං දුක්ඛ නිරොධ

ගාමිනියා පටිපාදය අඤ්ඤාණං, අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජා”

“මහණෙනි, අවිද්‍යාව කවරේද? මහණෙනි, දුක්ඛ සත්‍යයෙහි යම් නොදැනීමක්, දුක්ඛ සමුදය සත්‍යයෙහි යම් නොදැනීමක්, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි යම් නොදැනීමක්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍යයෙහි යම් නොදැනීමක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යා යැයි කියනු ලැබේ.”

අවිද්‍යාව ලෙස හඳුන්වන්නේ දුක නම් වූ උතුම් සත්‍යයේ අවබෝධය නොදැනීම, දුකට හේතුවන උතුම් කරුණු පිළිබඳ සත්‍ය නොදැනීම, දුක නැති කිරීමට හේතු වන කරුණු සත්‍ය නොදැනීම, දුක නැති කිරීමට උපකාරී වන ප්‍රතිපදාව හෙවත් පිළිවෙළ නොදැනීම යන කරුණු නොදන්නාකමයි.

අවිද්‍යාව නිසා සංස්කාර වේ. සංස්කාර නිසා විඤ්ඤාණ වේ. යනාදී වශයෙන් සත්ත්වයා සසර තුළ මරණය කරා ළඟාවන මාවත හෙවත් මඟ සැකසී ඇත.