Print this Article


මහනුවර යුගයේ බිතුසිතුවමින් ශෝභමාන සැලව රාජමහා විහාරය

මහනුවර යුගයේ බිතුසිතුවමින් ශෝභමාන සැලව රාජමහා විහාරය

සැලව රාජමහා විහාරය පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. රහලගල, ගලඋඩගල, කරගල, පහන තිබූ ගල යන කඳුවැටිවලින් වටවුණු, කෙත්යායවලින් පිරුණු, හැම පැත්තකින් ම දිය දහරා ගලා බසින සුන්දර ගම්මානයක මේ විහාරය පිහිටා තිබේ. ගමේ නමින් ම විහාරයට ද ‘සැලව’ නාමය යෙදී ඇත. පුරාණ බෙදීම් අනුව විහාරය අයත් වන්නේ සතරකෝරළ මහදිසාවේ පරණකුරු කෝරළයේ නැගෙනහිර තුන් පළාත පත්තුවට ය.

අරණායක සිට ඔරේවෙල, රහල, අරම හරහා කිලෝමීටර් හයක පමණ දුරක් ගමන් කළ විට ද, හෙම්මාතගම අරණායක පාරේ බූවැලිකඩ හන්දියෙන් හැරී එම මාර්ගයේ කිලෝමීටර් දෙක හමාරක පමණ දුරක් ගිය විට ද විහාරයට ළඟා විය හැකි ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්ෂා වීමට කලක් මේ ගල් ලෙනේ වාසය කළ බවට ජනප්‍රවාදයක් පවතියි. තමන්ට ආරක්ෂාව සැලසූ ලෙන් පසු කලෙක භික්ෂූන්ගේ ආරාමයක් බවට පත් කරන්නට ඇති බවට විශ්වාස කෙරේ.

කටාරම් කෙටූ තවත් ගල්ලෙන් කිහිපයක් ම විහාර භූමියේ දක්නට ලැබෙන අතර, එයින් තහවුරු වන්නේ අතීතයේ භික්ෂූන් වහන්සේ මේ ලෙන්වල වාසය කළ බවයි.

අතීතයේ ‘සැලව’ නාමය ‘සැල්ව’ නමින් හඳුන්වා ඇති බව විහාරයට ආසන්නයේ කුඹුරු යායකින් සොයා ගත් සෙල්ලිපියෙන් තහවුරු වේ. ශෛලමය පියගැට පෙළක් තරණය කළ පසු අලංකාර ලෙන් විහාරය හමුවේ.

විහාර මන්දිර තුනක් සහිත විශාල ගල්ලෙන අඩි එකසිය දහඅටක් දිගින් යුක්ත ය. එහි පළල අඩි විසිදෙකකි. විහාරය සකසා ඇත්තේ පිහිටි පොළොවේ සිට අඩි තුනක් පමණ උස් වේදිකාවක් මත ය. විහාරවලට ප්‍රවේශ වන දකුණුපස විහාරයේ ඉදිරි බිත්තියේ පේළි දහනවයකින් යුක්ත සෙල් ලිපියක් පිහිටුවා ඇත. එය සිංහල රාජ පරම්පරාවේ අවසාන සෙල් ලිපිය හැටියට ද සලකනු ලැබේ. දාහත් වැනි සියවසේ සිංහල භාෂාවෙන් රචනා කර ඇති අතර, සෙල්ලිපියේ දිග අඩි දහයයි අඟල් දෙකකි. පළල අඩි හතරයි අඟල් දෙකකි. විහාරයේ ඉතිහාසය මෙහි සටහන් කර ඇති අතර බුදුරදුන් වෙනුවෙන් පූජා කළ තණ පතක් හෝ වේවා, දර කැබැල්ලක් හෝ වේවා, මලක් හෝ වේවා, ඵලයක් හෝ වේවා යම්කිසිවකු වංචනික ව ගන්නේ නම් ඔහු මහා ප්‍රේතයන් වී ඉපදෙන බව ද සඳහන් කර තිබේ.

ඒ අනුව විහාරයේ ආරම්භය සිදු කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළ මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් විසිනි. ඒ සඳහා රජුගේ අනුග්‍රහය හිමි වී ඇත. ක්‍රි.ව. 1779 දී ආරම්භ කළ විහාරයේ කටයුතු නිමාකර ඇත්තේ රාජාධිරාජසිංහ රාජ්‍ය සමයේ දී බව ද සෙල්ලිපිය සාක්ෂි සපයයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විහාරයේ පැවැත්මට ගම්බිම් පූජා කළ බව ද සඳහන් වේ.

සැලව ලෙන්විහාරයේ මුලින්ම දක්නට ලැබෙන්නේ ‘පල්ලේ විහාරය’ යි. මහනුවර යුගයේ පැරැණි බිතු සිතුවම්, ප්‍රතිමා හා සැරසිලි ඒ ආකාරයෙන් ම මේ විහාරයේ දී දැක ගැනීමට හැකියාව ලැබේ. පල්ලේ විහාරයේ ඇති ප්‍රධාන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි තිස් දෙකයි අඟල් හයකින් යුක්ත ය. උරහිස් දෙක අතර පරතරය අඩි හයයි අඟල් දහයකි. මහනුවර යුගයට ආවේණික දියරැළි ක්‍රමයට චීවරය සකසා ඇති අතර, ශීර්ෂය සිරස්පතකින් අලංකාර කර තිබේ. මේ පිළිමය නිර්මාණය කර ඇත්තේ පොළොව මට්ටමේ සිට අඩි අටක් පමණ උස් වේදිකාවක් මතයි. සැතපෙන පිළිමයට වම්පසින් මකර තොරණ සහිත හිඳීපිළිමයක් සහ හිටි බුද්ධ ප්‍රතිමාවක් තනා තිබේ. එය අඩි දහයක පමණ උසකින් යුක්ත ය.

දකුණුපස හා වම්පස බිත්තිවල අවකාශය පිරිවීමට මහනුවර යුගයේ භාවිත සහස්‍ර බුද්ධ රූප සංකල්පය, දේවතා සිතුවම්, සූවිසි විවරණ සිතුවම්, නාරිලතා මල්, නෙළුම් මල් මෝස්තර, වියන් සිතුවම් ආදී තවත් බොහෝ සිතුවම් යොදාගෙන තිබේ. බිත්තිවල රාජරූපත්, දේවරූපත් විහාරය කර වූ මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ ප්‍රතිමාවක් ද දක්නට ලැබේ.

මේ විහාරයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂ සිතුවමක් වන්නේ ත්‍රිසිංහ සිතුවම යි. මේ සිතුවමට අමතර ව මෙවැනි ත්‍රිසිංහ සිතුවමක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ රිදී විහාරයෙන් හා බඹරගල විහාරයෙන් පමණි. චිත්‍ර නිර්මාණය කිරීමට බහුල ව යොදා ගෙන ඇත්තේ රතු, කහ, නිල් සහ කළු වර්ණ යි.

දෙවන විහාර මන්දිරය ‘මැද විහාරය’යි. මැද විහාරයේ දිග අඩි හතළිස් දෙකකි. පළල අඩි විසි එකකි. මේ විහාරයට ඇතුළු වීමට ප්‍රවේශ දොරටු දෙකක් තිබේ. මෙය දිගින් විශාල ම විහාර මන්දිරය යි. ප්‍රධාන දොරටුවට ඉහළින් මකර තොරණක් දක්නට ලැබේ. මේ විහාරයේ ප්‍රතිමා හා බිතුසිතුවම් අලුත්වැඩියාවලට ලක්ව ඇති බැවින් පැරැණි ස්වරූපය දැක ගැනීමට අපහසු ය. සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හිඳී බුද්ධ ප්‍රතිමාවක්, මෛත්‍රී බෝධිසත්ත් ව ප්‍රතිමාවක්, විෂ්ණු දේව ප්‍රතිමාවක් මේ විහාරයේ දක්නට ලැබේ.

සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ ශ්‍රීපාද යුවළ අලංකාර පියුම්වලින් සරසා තිබේ. උඩ විහාරය හෙවත් කුඩා විහාරය ලෙන් විහාර සංකීර්ණයේ තෙවැනි විහාර මන්දිරය යි. එම විහාරයට ප්‍රවේශ වන පඩිපෙළ ආරම්භයේ මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන කුඩා ප්‍රමාණයේ සඳකඩ පහණක් දක්නට ලැබේ.

පඩිපෙළ නැඟගෙන ගිය විට මණ්ඩපයක් සහිත කුඩා විහාරයක් දක්නට ලැබේ. එම විහාරයේ මැද අඩි දෙක හමාරක් උස ආසනයක් මත අඩි අටයි අඟල් හයක් උස සමාධි පිළිමයක් ද, ඒ දෙපස හිටි පිළිම දෙකක් ද වේ. තවත් සමාධි බුද්ධ ප්‍රතිමාවක් ද, විහාර බිත්තිවල සුවිසි සිතුවම් ද, නාථ දේව රූපයක් ද දක්නට ලැබේ. මේ විහාරයේ බුදුපිළිම වහන්සේ ද ප්‍රතිසංස්කරණවලට ලක් වී ඇති බැවින් පැරැණි ස්වරූපය තරමක් වෙනස් වී තිබේ. මේ විහාරය අඩි දහ අටක් දිගින් හා අඩි පහළොවක් පළලකින් යුක්ත ය.