Print this Article


ප්‍රභාෂ්වර දිවියක හිමිකාරිත්වයට

ප්‍රභාෂ්වර දිවියක හිමිකාරිත්වයට

ධාර්මික දිවිපෙවෙත යනු නිතැතින් ම නිවැරැදි ක්‍රියාවල එකතුවකි. පස් පව්, දස අකුසල් පිළිකෙව් කොට ඉන් බැහැර ව නිති පන්සිල්, පොහොය අටසිල්, දස සිල් රැකීම, නිවැරැදි කර්මයෝ වෙති. එවන් ක්‍රියාවන්ට හුරු පුරුදු ව ක්‍රියාවට නඟන්නෝ සුචරිත දිවි ගෙවන්නෝ ය. දැහැමි දිවි පෙවෙත කෙනකුගේ දිවිමඟ එළි කරයි. දිවි අඳුර දුරු කරයි.

‘සියලු පාපයන්ගෙන් දුරු විය යුතු බැව් සියලු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි.

‘සබ්බ පාපස්ස අකරණං’ එය ම මඟුල් කරුණක් ද වෙයි.

ඉහමොළ මොට කරන මදයට, ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිනිස් සංහතියට සිදුවන විනාශය සුළුපටු නොවේ. මත්වන දෑ පුද්ගලයා ද, පවුල් සංස්ථාව ද, මුළු මහත් සමාජය ද, පරාභවයට රැගෙන යයි. මත් රකුසා ජාතියක් වනසයි. අනාගතයක් අඳුරු කරයි. පවුලක නායකයා වන තාත්තාගේ මත් ඇබ්බැහිය අහිංසක කැදැල්ලේ සතුට හා සුන්දරත්වය සුනු විසුණුූ කරවයි. මේ බැව් නුවණින් සිතා, සම්බුදු අවවාද සිත්හි දරා, මතින් තොර වූ ජීවිතයක්, සිහිනුවණින් පිරුණු දිවි පෙවෙතක් ගත කිරීමට පුද්ගලයාගේ කැපවීම, පේවීම හා වගවීම සුන්දර රටක්, සමාජයක්, මානව සංහතියක් නිර්මාණය කරයි. මතෙහි ආදිනව දැන තම දිවි පවුරු සවිමත් කර ගන්නා, එම මඟුල් කරුණට අවනත ව දිවිගෙවයි.

යහපත් සිහිය, නැණබල

මොහොතින් බිඳින,

මානව සමාජය සැණෙකින්

ලෙඩ කරන,

අගනා තුරුණු ශක්තිය මරු වෙත යවන මතට තිත තබමු සිහිකර

බුදු වදන

තම චිත්ත සන්තානය තුළින් හා කයින් වදනින් ද වන වැරැදි ගැන සතිමත් ව, සිහිකල්පනාවෙන් හිඳ, දස අකුසල් සිතින්, ගතින් වදනින්, වන්නට නො දී, එළඹ සිටි සිහියෙන් කල්ගෙවීම, ධර්මයේ අප්‍රමාදීත්වය යි.

ධර්මයේ අප්‍රමාදී ව දහමේ හැසිරෙන්නා ප්‍රාණඝාතයක් තබා කුරාකුහුඹුවකුට වුව හිංසාවක් නො කරයි. තමාගේ දිවිපැවැත්ම ජීවන ක්‍රියාවන් මල නො තලා මලෙන් රොන් ගන්නා බඹරකු සදිසි ව පවත්වයි. අල්පෙනෙත්තක් තරම් අන්සතු දෙයක් තමන් සතු කර ගැනීමක්, දැහැමි දිවිගෙවන්නා තුළ නො පවතී. හෙතෙම ස්වදාර, ස්වපුරුෂ සන්තෘෂ්ටිය හෙවත් නිත්‍යානුකූල අඹුසැමි සම්බන්ධතාවෙන් තෘප්තිමත් වෙයි. බොරුව - අසත්‍යය මිනිසත් බවට නිගරුවකි. මනුෂ්‍ය සිතක්, තවත් මනුෂ්‍ය සිතක් බොරුවෙන් රැවටීම ලජ්ජා සහගත ය. සමඟිදම් නසන පිසුණ වචන, හොඳ මැදුණූ චරිත තුළින් ප්‍රකට නොවෙයි. හිස් නිසරු වදන්, පුද්ගලාභිවෘද්ධිය ද, සමාජාභිවෘද්ධිය ද, දෙලොව අභිවෘද්ධිය ද කෙලෙසයි. සිතෙහි ඇතිවන වැරැදි හේතුවෙන් අපේම මිනිස් පවුලේ අයකුගේ නැසීම යමෙක් බලාපොරොත්තු වේ ද, අනෙකාගේ වස්තුව තමාට අත් වේවා’යි පතයි’ ද, එබඳු පහත්, ගුණ, ධාර්මික දිවිපෙවෙත තුළ නො රැඳෙයි. සත්‍ය ම දකින, ඇත්තම කියන ලොව යථාර්ථය හඳුනාගැනීම ද ධාර්මික දිවි පෙවෙතකින් ඉස්මතුව පෙනෙන කාරණාවකි.

ගුණවතුන් කෙරෙහි ද, ගුණධර්ම කෙරෙහි ද, අප තුළ පවත්නා ගෞරවය ද, නැණ නුවණ පෑදූ - සිප් කිරි පෙව්, ගුරු භවතා, අපට වඩා ගුණයෙන් වයසින් වැඩි, වැඩිහිටියා අභියස යටහත්, සුවච කීකරු ඇවතුම් පැවතුම් ඇති බව දෙ ලොව ජීවිත ආලෝකයට මොනවට හේතු වේ.

ගොයම් කරල් පැසුණු කල බිමට නැමෙයි. පලබර ගස්, නැමුණූ ගොයම් කරල්, යටහත් පහත් ජීවිත පැවැත්මේ අගයට වටිනාකමට, සොබා දහමේ නිදසුන් ය. හිස්මොළ දැනුමෙන් අවබෝධයෙන් පිරුණු සැවොම යටහත් ය. ගුණැති ය. උඩඟු අයට සමාජය කැමැති නොවෙයි. එවැනි ජීවිත හිස් ය. වටිනාකමින් අඩු ය. බුදුරදුන්ගේ යටහත් නිරහංකාර අගනා ප්‍රශස්ත පන්සාළිස් දිවිය, ප්‍රභාෂ්වර ය. උත්තුංග ය. ඒ නිරහංකාර බවේ ප්‍රතිඵල තිලොවග සත්ත්වයෝ මොනවට අත්වින්දාහ. චණ්ඩ ආලවක, අංගුලිමාල, අක්කෝස භාරද්වාජ බමුණූ ළඟ තුන්ලෝ සිළුමිණ වූ බුදුරදුන් හැසුරුණු ආකාරය ද, සෝපාක, සුනීත, රාහුල, මට්ටකුණ්ඩලී, චුල්ලපන්තක ආදීන් අභියස බුදුරදුන් තුළින් විද්‍යමාන වූ නිරහංකාර පැවැත්ම, ආශ්චර්ය හැසිරීම ලොව කවර තරාතිරමක තැනැත්තකුට වුව තම චරිත සංවර්ධනය උදෙසා මනා දෘෂ්ටාන්තයන් ය.

අද ලෝකයා වෙහෙසකාරි, අතෘප්තිමත්, අසහනකාරී ජීවිත ගත කරන බැව් සක්සුදක් සේ පැහැදිලි කරුණකි. ඊට හේතුව ඇති දෙයින් සතුටු නො වීම ය. ඇති කියන්නකු සොයා ගැනීම ලොව අසීරු කරුණකි. හැමෝට ම ඇති සම්පත් මදි ය. මෙලෙස සම්පත් ගොඩගැසීමේ නො නිම් ආශාව ඉරහඳ ඇල්ලීමේ ධාවනය, සිත ගත විඩාව වැඩි කරයි. මිනිස් ජීවිතයක සැබෑ පරමාර්ථ ඉන් වසා දමයි.

සරල දිවි පැවැත්ම, චාම් ජීවන ධාරාව, සුන්දර ය. එවැන්නෝ ලොව ගැන සිතති. මිනිස් වර්ගයා ගැන පමණක් නොව සත්වග සියලු දෙනා පිළිබඳ ව සිතා සියලු සත්වයාගේ හිත සුව පිණිස ක්‍රියා කරති. ලද දෙයින් සෑහීමට පත් නොවන්නෝ ජීවිතය බර කරගෙන මියැදෙති.

සුන්දර දිවියට මඟ, ලද දෙයින් සෑහීමට පත්වීම ය. එය දෙලොව දියුණුවට හේතු වන මංගල කාරණාවක් ද වන බැව් බුදුරදුහු ලොවට අවධාරණය කළ සේක. ඉවසීම උතුම් මිනිස් ගුණ ධර්මයකි. එය අන් සතුන් අතුරින් උසස් සත්වයකු යැයි වෙන්කරනු ලබන මිනිසාට පමණක් ම අනන්‍ය මානුෂික ගුණධර්මයකි. මේ බල ශක්තිය තිරිසන් සතුන් තුළ නැත.

පොරකමින්, උදුරමින්, මරා ගනිමින්, යමක් අනුභව කරන සුනඛයන්, බඳු සතුන් අපි දැක ඇත්තෙමු. ගාල කඩාගෙන අසංවර ව, ගවරැළ මං පුරා ඇවිදිති. එහෙත් හැදුණූ මිනිසා ඉවසීමෙන් හා මනා සංයමයෙන් යුතු ව මිනිස්කමේ හැදියාව ප්‍රකට කරමින් කෑම බීම අනුභව කරන අයුරින් ද සිය චර්යාවන් පවත්වන ආකරයෙන් ද, ඉවසීමේ වටිනාකම පැහැදිලි වෙයි. රණ්ඩුසරුවල් කරමින් ගහමරා ගන්නෝ එසේ කරන්නේ මේ ඉවසීම නම් වූ මහා බලශක්තිය නැති නිසා ය.

කෙබඳු දුක් කරදර අභියස වුව නො සැලී, නො හඬා ආත්ම සංයමයෙන් නැඟී සිටීමට කෙනකුට ශක්තිය සපයන්නේ ඉවසීමේ ගුණය යි. දුක් කරදර, ප්‍රශ්න ගැටලු ළඟ ඉවසීම නැති වුවහොත් මුහුණ පෑමට සිදුවූ අනතුර සුළුපටු නොවේ. ඒ නිසා නියමිත ස්ථානයන්හි තිරිංග තද කරමින් සුරක්ෂිත ගමනක් යන රියදුරන් පරිදි ඉවසීම නම් තිරිංගය භාවිත කිරීමෙන් මිනිසා තම ජීවිතයේ ප්‍රශ්න ගැටලු මඟහරවා සාර්ථකත්වය උදාකර ගනියි. සැනසිලිදායක ජීවිතයකට මඟ ඉවසීම ය. මෙය ලෝක ධර්මතාවයකි. “ඉවසීමෙන් සැනසීම ලැබේ” යන අප කාටත් හොඳට හුරුපුරුදු කියමනෙන් ද මේ බැව් වඩාත් තහවුරු වෙයි.

කසී රට කලාබු රාජ්‍යය සමයෙහි අප මහ බෝධිසත්වයෝ කුරුණ්ඩක කුමරු නමින් බමුණු කුලයක ඉපදුණි. වැඩිවිය පත්වීමෙන් පසු තමන් සතු සියලු ධනසම්පත් දුගියනට දන් දී හිමාල වනයේ තවුස්දම් පුරන්නට වූහ. පසුකලෙක බරණැස් නුවරට ගොසින් එහි රාජකීය උද්‍යානයේ බවුන් වඩන්නට වූහ. පිණ්ඩපාතාදිය පිණිස වීථියෙහි වඩින මේ උතුමාණන් වහන්සේ දැක පැහැදුණු රජතුමාගේ මහසෙනෙවි උන්වහන්සේට දානමානාදියෙන් සංග්‍රහ කළේ ය. රාජකීය උද්‍යානයේ ම වැඩ වාසය කිරීමට කටයුතු සලසා දුන්නේ ය.

දිනක් කලාබු රජතුමා නාටිකාංගනාවන් සමඟ උයනට පැමිණ නැටුම් ගැයුම් බලා සිටියදී ම එක් නාටිකාංගනාවකගේ උකුළ මත ම නින්දට වැටුණේ ය. රජු නිදි බැව් දැනගත් නිළියෝ උයනේ අසිරිය විඳිමින් ඔබ මොබ සක්මන් කරද්දී ඔවුන් අභියස බවුන් වඩන ක්ෂාන්තිවාදී තවුසාණන් දැක කළ ඉල්ලීමෙන් එතුමා ධර්ම දේශනාවක් පැවැත්වූහ. සුව නින්දෙන් පිබිදුණු රජතුමා තමා අසල උන් ස්ත්‍රියගෙන් අන් නාටිකාංගනාවන් ගැන ඇසූවිට, ඔවුන් රජු වෙතින් තවුසා ළඟට ගිය බව කියා අතදිගු කර තවුසා ළඟට වී බණ අසන අන්දම පෙන්නුහ. ඉන් මහත් සේ කිපුණූ කලාබු රජ්ජුරුවෝ අසිපත අමෝරා තවුසා වෙත කඩා පැන්නෝ ය. ලලනාවෝ වහා ඉදිරියට විත් අසිපත, උදුරා ගත්හ.

තොප කවරෙක් ද? තොපගේ ඉගැන්වීම කුමක්දැයි රජු තවුසාගෙන් ප්‍රශ්න කළේ ය.

මම ක්ෂාන්තිවාදියෙක්මි’යි, තවුසා කීය. කෙනකු දොස් කියද්දී, කිපී කරදර - හිරිහැර, කරද්දීත් ඒ තැනැත්තා කෙරෙහි නො කිපි සිටීම ක්ෂාන්තිය යැයි තවුසා රජුට කියා දුන්නේ ය. තම නාටිකාංගනාවනට බණ කියා ඔවුන් හා පිළිසඳරේ යෙදීම නිසා තවුසා කෙරෙහි රජු උදහස් ව සිටියේ ය. මගේ නාටිකාංගනාවනට හිතවත්කම් පෑ මේ චෞර තපස් රකින්නා බිම දිගා කොට කසපහර - තැලුම් දී දණ්ඩනයට ලක්කරවැයි - දඬුවම් දෙවැයි රජු වධකයාට නියම කළේ ය. වධකයාගේ කස පහරින් තවුසාගේ හම ගැලවී සිරුර ලෙයින් තෙත් විය.

ඔබ දැනුත් ක්ෂාන්තිවාදියෙක් දැයි රජු තවුසාගෙන් විමසුවේ ය.

එසේ ය රජතුමනි, මම ක්ෂාන්තිවාදි වෙමි. මගේ ඉවසීම සිතෙහි වෙයි. සිරුරෙහි නොවෙයි. ගත වේදනාවෙන් පෙළුණ ද රුධිරය සිරුර පුරා ගලා ගිය ද, මා සිතෙහි ඔබ කෙරෙහි තරහක් නැත. මේ වේදනාවන්, - ගැහැට, දුක් සියල්ල මම ඉවසමි”. තවුසා කියා සිටියේ ය. තවත් කිපුණු රජු එසේ නම් ක්ෂාන්තිවාදය බලමු’යි කියා වධකයා ලවා අසිපින් තවුසාගේ දෙ අත් සින්ඳේ ය. ඉන් නො නැවති අත් පා, කන් නාසාදිය ද, කග පතින් කපාදමද්දී වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි මේ අමානුෂික වධ බන්දනයන්ගෙන් හා දැඩි වේදනාවන් සමඟින් සිරුර පුරා රුධිරය ගලා යද්දීත් තවුසාණෝ මගේ ක්ෂාන්තිය මගේ සිත තුළ යැයි පැවසූහ. දැඩි වේදනාවට බඳුන් වූ තවුසාගේ ළය පෙදෙසට ද ඇන, පහරදී රජු ඉන් පිටත් ව ගියේ ය.

මේ සිද්ධිය සැලවී මේ තවුසාණන්ට ඇප උපස්ථාන කළ සෙනෙවිතුමා වහා මෙම ස්ථානයට පැමිණ වැඳවැටී සමාව ඇයැදුවේ ය.

“පින්වත් තවුසාණෙනි, මේ වරද - අපරාධය තමාත් රට වැසියාත් කළ දෙයක් නොවෙයි. රජුගේ අමනෝඥ - අඥාන, ක්‍රියාවට යළි යළිත්, සෙනෙවිතුමා සමාව අයැදූ විට

සෙනෙවිතුමනි, කලාබු රජුගේ වැරැදි අවබෝධය නිසා මෙලෙස මා දැඩි පීඩාවට දුකට පත් කළ ද, ඔහු කෙරෙහි මගේ වෛරයක් නැත. සැමවිට රජුටත්, ඇමැතිවරුනටත් මා තැලූ වධකයාටත් එකසේ මෙත් වඩමි. සෙත් පතමි.” මෙලෙස කියූ තවුසා මඳ වේලාවකින් කලුරිය කළේ ය.

වධකයා තවුසාගේ දෙ අත්, දෙපා, සිඳිද්දී ද කන්, නාසා, කපද්දී ද, ක්ෂාන්තිවාදි තවුසාණෝ වධකයාට ද, රජුට ද, මෛත්‍රිය ම පැතිර වූහ. සිරුර පුරා ලේ ගලා යද්දී ද අත්, පා, කන්, නාසාදිය අහිමි ව පහරකෑම් හා කඩුපහර ගණනින් වේදනාවෙන් සිරුර පෙළෙද්දී ද තවුසාණෝ මෛත්‍රිය ම වැඩූහ.

මිහිකත නුහුළන මේ මහා පාපතර ක්‍රියාවෙන් කලාබු රජු මහ පොළොව දෙබෑ කරගෙන මතුවූ ගිනි කඳක් සමඟින් ම අවීචි මහනරකයේ අපායෝත්පත්තිය අත්පත් කර ගත්තේ ය.

බුදුදහමේ හර පද්ධතියෙන් තම දිවි ගමන ආලෝකවත් කරගත් එදා සිරිලක් ජන සමාජය තුළින් මෙකී උතුම් පුරුෂාර්ථ මැනවින් පිළිබිඹු වුණි. අපේ ජනකවිය තුළින් ද එදා ජන සමාජයේ පැවැති සාධු චර්යාවන් මොනවට පිළිබිඹු වෙයි.

දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු, සමාජයක් හොඳ මඟ යවන ගුරුවරයකු, අපේ මුල්ම ආචාර්යවරුන් වූ මව්පියන්, ගිහි පැවිදි අනුශාසකවරුන් අපට යම් අවවාදයක්, මඟ පෙන්වීමක් ලබා දෙන්නේ සාගර මඟ අනතුරු වළක්වා ගන්නට නෞකාවන්ට එළිය දෙන ප්‍රදීපස්ථම්භයන් පරිද්දෙනි. ඒවා නොතකා, නො අසා ක්‍රියා කිරීමෙන් අපේ දියුණූවේ මං ඇහිරෙයි. ප්‍රගතියේ මාවත් වැසී යයි. ඒ නිසා අපේ පෙර මඟ සුබදායක වනු දකිනු රිසියෙන් අප කෙරෙහි කරුණා මෛත්‍රි දයා පරවශ ව දැනමුතුකම් ලබාදි දියුණුවේ මඟට පාර කියන ගුරුවරු, බහුශ්‍රැත පණ්ඩිතයන්ගේ, අවවාද පිළිගැනීම මඟුල් කාරණයකි. දිවි මඟ ආලෝකවත් කර ගැනීමට හේතු වූවකි.

ඈත අතීතයේ පටන් ම සිරිලක් සමාජය තුළින් දැකගත හැකි වූ සාධු ගුණාංගයකි. මහ සඟරුවන හා තිබු මනා සබැඳියාව, ශ්‍රමණයන් දැකීම නම් වූ උතුම් මංගල්‍යය ඉන් ඉෂ්ට වුණි. උන්වහන්සේ තුළ වූ ශ්‍රමණ සාරුප්‍යය අපේ ජන මනස වර්ධනයෙහි ලා බොහෝ සෙයින් බලපෑවේ ය. උන්වහන්සේගේ පි‍්‍රය දසුන ද, පි‍්‍රය තෙපුල ද, සාරගර්භ අදහස් හා කැටි වූ පාණ්ඩිත්‍යය ද, සමාජය බරසාර කළේ ය. දැහැමි සරල අපිස් දිවි පෙවෙතකට ශ්‍රමණ දැක්ම මහෝපකාරි විය. උන්වහන්සේ හා සාකච්ඡාව දහම් මග මනාව දැන කියා ගැනීමට ද, අදහම් මඟ ගෙන දිවි වැනසෙන සමාජයක ජීවිත සනසාලන්නට ද, උභය ලෝක විමුක්ති සාධනයෙහි තත්පර වන්නට ද, මං පෑදුවේ ය. තම දූ, දරු, භාර්යා නෑසියන් ඇතුළු ලෞකික දියුණුවට ද, ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයෙන් ලබන පරලෝ වෘද්ධියට ද, ධර්ම සාකච්ඡාව මිනිසාට මං පෙත් විවර කළේ ය. මෙලොව ජීවිත හැඩගස්වා ගෙන ලෝකයට ශාන්තිදායක අයුරින් දිවි ගෙවා පරලෝ සුගතිය ද උදාපත් කර ගැනීමට,කෙනකුට හැකි වේ නම්, සැබෑවට ම එය මංගල්‍යයකි. සුදුසු කල දහම් ඇසීම හා ඒ ඇසුරු කොට ශ්‍රවණය කළ ධර්මය සාකච්ඡා කිරීමෙන්, ඇසු බණ පදවලට ජීවය කැවේ. ධර්ම සාකච්ඡාව උදෙසා සාවධාන ව ධර්ම ශ්‍රවණය හා මනාව ධාරණය කර ගැනීම යන අංග අත්‍යවශ්‍ය වෙයි. ඒ නිසා දිවිමං සරු කරන, බණ ඇසීම හා ඒවා සාකච්ඡාවට බඳුන් කිරීම තුළින් ඇසු බණ පද සජීවි ව නිරන්තරයෙන් හද සන්තානයෙහි දෝංකාර දෙයි.

පාපයට නො වැටී දහම් මඟ ම ගෙන ජීවිත පැවැත්වීමට ඉන් ලැබෙන පිටිවහල අතිමහත් වේ. දෙලොව ම සාර්ථක කර ගනු රිසියෙන් බණ ඇසීම ද, ධර්මය සාකච්ඡා කිරීම ද, අතිශයින් ම වැදගත් වේ. ඒ නිසා ම සුදුසු කල බණ ඇසිම හා ශ්‍රමණයන් වහන්සේ දැක ධර්ම සාකච්ඡාවේ යෙදීම උතුම් මංගල කරුණුූ වෙයි.

කෙලෙස් තැවීම නැතහොත් මනාකොට තම ඇස, කන, නාසාදි ඉන්ද්‍රියන් සංවර ව ආරක්ෂාවෙන් රැකබලා ගැනීම මංගල කාරණාවකි. ඊට නිසි වීර්යය අවශ්‍ය වේ. ලොව ඇති තතු දැන, ගලන ජල ප්‍රවාහයට වැටුණූ යමක් ඒ ඔස්සේ ඉදිරියට ගලා යන අනුසෝතගාමී මාර්ගයේ ලොව ම යන දිශාවට යනු වෙනුවට, එදා මහ බෝසතාණෝ අනුසෝතගාමි ලොව පටිසෝතගාමීවැ ලොව යන දිශාවට ම නො ගොස් ඊට විරුද්ධ දිශාවට විමුක්ති ඵල අවබෝධයට වීර්යය වැඩූ සේක. බවුන් වැඩූ සේක. කෙලෙස් තැවු සේක. ඉන්ද්‍රිය සංවරය උදෙසා කැපවුණු සේක. තමන්ගේ සිත, කය හා වචනය ගැන මනාව හැදෑරූ සේක. එයැම විමුක්ති මාවතට යොමු කරවූ සේක. යථාභූතඥාන දර්ශනයට, ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ජීවිතාවබෝධයට මං තනාගත් ඒ ශ්‍රේෂ්ට මිනිස් රත්නය තුන් ලොවට ම උන්වහන්සේගේ අවබෝධය හෙළිකොට දෙලොව සැනසීම උදාකළ සේක. ගඟක, මුහුදක ගැඹුර වෙත යා යුතු වනුයේ ක්‍රමානුකූලව ය. පියවරෙන් පියවර ය. පාප ක්‍රියාවන්ගෙන්, බාල ධර්ම සේවනයේ නියුතු බාල ක්‍රියා කරන්නන්ගෙන් ඈත්ව, පණ්ඩිත දහම් වඩමින්, තම තමන්ගේ විමුක්තිය දියුණු ව, වෘද්ධීය පිණිස ක්‍රියා කරන නුවණැත්තා ක්‍රමානුකූල ව තම ජීවිතය තුළ රෝපණය කරගත්, වගා කරගත් මංගල බීජ ධර්මයන් සැපයට, අභිවෘද්ධියට යොදවා සකසා පිළියෙළ කොට හදාවඩා ගන්නා වූ සාධු ජීවිත ය චරිතය පරලොව ශන්තිය සුගතිය පිණිස ද යොමු කරවයි.

බුදුරජාණන් වහන්සේගේ ඒ අද්විතීය ඉගැන්වීමේ ශිල්ප ක්‍රමය මවිතය දනවයි. ඒ උතුම් ගුරුවරයා ක්‍රමයෙන් මෙලොව දියුණුව ළඟා කරගෙන ඉන් නො නැවතී. පරලොව සුගතිගාමී වීමේ මඟ ද කියා දෙයි. උගන්වයි. ලොව සියලු ආචාර්යවරුන්, ශාස්තෘවරුන්ගෙන් නො දකින, බුදුන්වහන්සේ තුළින් ම පමණක් දෘශ්‍යමාන වන අසමාන වන ගුණය මෙයයි.