Print this Article


බිය නැති තැන

බිය නැති තැන

තණ්හාය ජායති සොකො
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං

තණ්හාව නිසා ශෝකය උපදී. තණ්හාව නිසා බිය උපදී. තණ්හාවෙන් වෙන්වූවනට ශෝකය නොවේ. එකල්හි බියක් නම් කොයින් ද? මේ ධර්මාවවාදය ධම්ම පදයේ එන්නකි.

අහිමිවීම්, නොලැබීම්, වෙන්ව යෑම් හමුවේ කඩාවැටෙන, හඬාවැටෙන මොහොතක නැවත නැඟිටින්නට මේ ධර්මතාව ධාරණය කර ගන්නා කාට වුව ද ලැබෙන ශක්තිය අපමණ ය.

බුදුරදුන් සැවැත්නුවර වැඩ සිටින සමයේ එහි මිසදිටු ගොවියෙක් විසුවේ ය. මිසදිටු වුව ද ඔහු සෝවාන් වීමට හේතු සම්පත් ඇත්තෙකි. මේ බව දුටු අප තථාගතයන් වහන්සේ මේ ගොවියා හමුවන්නට කිහිපවරක් ම ඒ කුඹුරට වැඩම කළහ. ගොවියාගේ සුවදුක් විමසූහ. බුදුරදුන් කෙරෙහි ගොවියාගේ සිත පැහැදුණි. මිතුදමක් ගොඩනැඟුණි. පීදෙන ගොයම සරුවට වැඩිණි. ඒ හා ම ගොවියාගේ සතුට ද වැඩිණි.

අස්වනු නෙළන දිනය ද ළං වුණි. නොසිතුවක් ම සිදු වූයේ මොර සූරන මහ වැස්සක් ඇද වැටීමත් සමඟ ය. ගොවියාගේ කුඹුර ම මහ ජල කඳට යටවුණි. තමන්ට සිදු වූ විපත ගැන සිතමින් ඔහු මහත් සේ කම්පාවට පත්වුණි. එහෙත් කල්‍යාණ මිත්‍රත්වය නිසා ගොවියාගේ සිත ශෝකයෙන් මිදුණි. ඒ තථාගතයන් වහන්සේ බමුණාට දෙසු සදහම් ඇසීමෙනි.

තණ්හාවෙන් මිදුණු තැන ශෝකය නො ඉපදෙන ආකාරය උන්වහන්සේ ගොවියාට පැහැදිලි කළහ. සතුටින් පිරුණු ඒ සිත සෝවාන් බවට පත්වුණි.