ආයු-වර්ණ-සැප-බල ලැබෙන අට මහ පින්කම්

ආයු-වර්ණ-සැප-බල ලැබෙන අට මහ පින්කම්

සියලු සත්වයන් හට උපකාරය පිණිස “පින” හේතුවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. සබ්බ භූතස්සපි උපකාරානි පුඤ්ඤාති

නිවන් දකින තුරු අප සැම දෙනා මේ සසර ගමන් කළ යුතු ය.

සසර ගමන නවතින්නේ නිවන් අවබෝධයෙනි. එතෙක් අප ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් යන මේ සංසාර ගමන අනන්ත දුක් කම්කටොළුවලින් යුක්ත ය. ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්පයෝග, ආදී දුක් කන්දරාවකින් මේ සසර ගමන පිරී ඇත. එබැවින් උතුම් සැනසීම හා සතුට ඇත්තේ සසර ගමන හෙවත් ඉපදීම නතර කළ දිනක ය. එතෙක් මේ සංසාර ගමනේ යෙදෙන අප කාටත් තාවකාලික හෝ සුවයක් ලැබෙන්නේ කළ පින්කම්වල යහපත් ආනිසංස නිසා ය.

ආයු, වර්ණ, සැප, බල, ගුණ නුවණ ආදී යහපත් ප්‍රතිඵල සසර ජීවිතවලට එකතු වන්නේ අප සිදුකර ගන්නා වූ පින්කම්වල ප්‍රතිඵල වශයෙනි. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ආනුශාසනාව වන්නේ “පුඤ්ඤාති කයිරාථ සුඛා වනානි” සැප ගෙනදෙන පින්කම් සිදුකර ගතයුතු බවයි.

බුදුරදුන් දවස මගධ අධිරාජ්‍යය පාලනය කළ බිම්බිසාර රජතුමාගේ පුතකු වූ බෝධිරාජ කුමාරයාට ඔහුගේ අලංකාර මන්දිරයට ගෙවදින අවස්ථාවේ එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ තම ජීවිතයේ අවධි තුනෙන් එක් අවධියක හෝ පිනෙහි යෙදෙන ලෙස අවවාද කළහ.

යම්කිසි කෙනෙක් තමන්ට ආදරයක් තිබේනම් බාල, තරුණ, මහලු යන ජීවිතයේ ප්‍රධාන අවදි තුනෙන් එක් අවධියක හෝ පින් දහම් සිදු කරගත යුතු ය. එය නුවණැති ක්‍රියාවක් බව දේශනා කළහ. අප සිදු කරන පින්කම් පරලොව සැප සඳහා හේතු වේ.

“පුඤ්ඤාති පරලෝකස්මිං පතිටිඨා හොන්ති පාණිනං” යැයි වදාළහ. මේ අනුව පස් පව්, දස අකුසල් ආදියෙන් වැළකී දාන, සීල, භාවනා ආදී පින්කම්වල යෙදෙන අයගේ සසර ගමන සුවපත් වේ.

අපට සිදුකරගත හැකි, එමෙන් ම සිදුකරගත යුතු මහා පින්කම් අටක් ගැන දහමෙහි සඳහන් වේ. ඒවා හැඳීන්වෙන්නේ “අට මහා පින්කම්” යනුවෙනි. එම වටිනා පින්කම් අතර පළමු පින්කම කඨින පූජා පින්කම වන අතර අනකුත් පින්කම් වන්නේ අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුද්ධ ප්‍රමුඛ සඟ සතු දාන පූජාව, දහම් පොතපත ලිවීම, ශාසනයේ පැවැත්ම සඳහා කුඹුරු ඉඩකඩම් පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම, වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් සලසා දීම ආදී පින්කම් අටක් මෙම මහා පින් සිදුවන පින්කම් ලෙස දහමෙහි දක්වා ඇත.

මින් එක් පින්කමක් හෝ සිදුකර ගැනීම අප සසර ගමන සැපවත් කර ගැනීම පිණිස හේතු වනු ඇත.

මෙම අටමහා පින්කම් අතර පළමු පින්කම කඨින පින්කම යි. තම ජීවිත කාලය තුළ ඕනෑම කෙනකුට සිදුකළ හැකි වටිනාම පින්කම ලෙස හැඳීන්වේ. එමෙන්ම දුර්ලභ ගණයේ පින්කමකි. වර්ෂයකට එක් ස්ථානයක එක් වරක් පමණක් සිදුකළ හැකි පින්කමකි. විනය කර්ම රාශියක් සම්පූර්ණ කරගෙන කළ යුතු පින්කමක් ලෙස ද දැක්වේ.

අට මහා පින්කම් අතර දෙවැනි පින්කම අටපිරිකර පූජාව යි. භික්ෂූන් වහන්සේ විසින් පරිහරණය කරන පිරිකර අටක් මෙහි ඇතුළත් වන බැවින් ශාසනයේ පැවැත්ම සඳහා උපකාරී වන පින්කමක් ලෙස අටපිරිකර පූජා පින්කම දහමෙහි වර්ණනා කර ඇත. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පාත්‍රය, දැලි පිහිය, ඉඳීකටු, නූල්, බඳ පටිය, පෙරහන්කඩය යන භික්ෂුවට අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් මේ පිරිකරට අන්තර්ගත වේ.

තුන්වන පින්කම ආවාස පූජාවයි. භික්ෂූන් වහන්සේට වැඩ විසීම සඳහා ආවාස ගෙවල් තනා පූජා

කිරීම ද, ශාසනික වශයෙන් සිදුකරන වටිනා පූජාවකි. භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් සිදු කෙරෙන පූජාවක් බැවින් මෙම පූජාව ද, ශාසනයේ පැවැත්ම සඳහා හේතු වනු ඇත.

බුද්ධ ප්‍රමුඛ සඟසතු දානමය පින්කම අටමහා පින්කම් අතර සිව්වැන්න යි.

පෞද්ගලික දාන සහ සඟසතු දාන රාශියක් අතරින් මෙම දානය පළමු ගණයේ දානමය පූජාව ලෙස දහමෙහි දැක්වේ. දාන පූජාවන් අතරින් වඩාත්ම පින් සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවන උදෙසා දෙන දානය බව ද සඳහන් වේ.

මහා පින් සිදුවන පස්වැනි පින්කම ලෙස දහම් පොතපත ලිවීම, ලියවීම සහ ඊට අනුග්‍රහ දැක්වීම, ධර්ම දේශනා පැවැත්වීම, දායකත්වය ගෙන කටයුතු කිරීම වැනි ධර්මයේ පැවැත්ම සඳහා හේතුවන ක්‍රියාවන් ධර්ම දානමය පින්කමට ඇතුළත් වේ. ධර්මයේ ආරක්ෂාව, දිගුකල් පැවැත්ම, ධර්මය ව්‍යාප්තවීම වැනි සේවාවන් රැසක් ධර්ම දානයෙන් සිදුවේ. එබැවින් මහා පින් වැඩෙන පින්කමකි.

ශාසනයේ චිර පැවැත්ම සඳහා හේතු වන පින්කමක් වන කෙත්වතු ඉඩම් ආදිය පූජා කිරීම වැදගත් කොට සැලකේ. විහාරස්ථානයට අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීමට හේතුවන පූජාවක් බැවින් මෙය ද ශාසනයේ පැවැත්මට උපකාරී වේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම, විහාර මන්දිර කරවා පූජා කිරීමෙන් ද මහා පින් වැඩේ. දකින දකින අයගේ ශ්‍රද්ධාව ඇතිවන ආකාරයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ කරවා පූජා කිරීම ද ශාසන පැවැත්ම සහ දියුණුව සඳහා හේතුවේ.

පොදු පහසුව සඳහා වැසිකිලි ආදිය සාදවා පූජා කිරීම අටමහා පින්කම් අතර අවසාන පින්කමයි.

ඉහත දක්වන ලද අට මහා පින්කම් එකක් හෝ සිදුකර ගැනීමට දායක වීම සසර ගමනේ සුවසෙත සඳහා හේතු වන බව සඳහන් කළ යුතු ය.

ඉල් අව අටවක

නොවැම්බර් 11 අඟහරුවාදා
අ.භා 11.16 අව අටවක ලබා
12 බදාදා අ.භා 11.05න් ගෙවේ.
12 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]