සුවපත් මනසක් සුවබර දිවියක් - 33 කොටස: නිර්වාණයට යන මාර්ගය විපස්සනා භාවනාව පුහුණු කිරීමයි

සුවපත් මනසක් සුවබර දිවියක් - 33 කොටස:

නිර්වාණයට යන මාර්ගය විපස්සනා භාවනාව පුහුණු කිරීමයි

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

 

ඔබ සංවේදනය සමඟ, ඇතිකර ගන්නා සම්බන්ධතාව අනාගතය හෝ අතීතයේ නොව මේ දැන් පවතින මොහොතේ විය යුතුයි.

සංසිද්ධීන් මවා ගැනීමට ප්‍රයත්න දරන සිත, ඒ සඳහා ඥානවන්ත ක්‍රම ගණනාවක් ගොඩනඟා ගනියි. සිතට අවකාශය සලසා දුන් විට සෑම සංවේදනයක් ම සිතිවිලි මාලාවකට ආරම්භය සපයයි. උදාහරණයක් ලෙස ශබ්දයක් ඇසීම ගනිමු. ඔබ භාවනාවේ යෙදෙන අතරතුර අසල කාමරයේ සිටින කිසිවකු බඳුනක් බිම දැමුවා යැයි සිතමු. එම ශබ්දය ඔබගේ කන වැකෙනු සැණින් එම කාමරයේ පින්තූරයක් ඔබ දකියි. සමහරවිට කිසිවකු යම්දෙයක් බිම හෙලනවා පවා ඔබ දකිනු ඇත. මෙය ඔබට හුරුපුරුදු පරිසරයක දී සිදුවුනි නම් එය සිදුකළ පුද්ගලයා මෙන්ම, බිම වැටුණු දීසිය පවා දකින ත්‍රිමාන මනෝමය චිත්‍රපටයක් ඔබ නරඹනු ඇත. මේ මුළු අනුක්‍රමයම ඔබගේ (විඥානයට) උඩුසිතට එය විසින්ම යොමු කරනු ලබයි. අන් සියල්ලම පසෙකට තල්ලු කර දමන එය යටි සිතේ සිට ඉතා පැහැදිලි ව හා දීප්තිමත්ව උඩුසිත කරා පැමිණෙයි.

ශබ්දය ඇසීමේ සංවේදනය වන මුල් සංවේදනයට සිදුවූයේ කුමක් ද? කලබලයට හසුවූ එය මුළුමනින් ම නැති වී අමතක වී ගොස්ය. අපට යථාර්ථය මඟහැරුණි. අප දවල් සිහිනයකට ඇතුළු වී ඇත. තවත් නිදසුනක් සලකමු. ඔබ භාවනාවේ යෙදෙමින් සිටියදී එතරම් පැහැදිලි නැති හඬක් ඇසුනා යයි සිතමු. ඉන්පසුව බොහෝවිට මෙවැනි දෙයක් සිදුවෙයි. “එය කුමක් ද? එය කළේ කවුද? එය පැමිණියේ කොහෙන් ද? එය අනතුරුදායක ද? යනුවෙන් දිගින් දිගටම පිළිතුරු නැති ඔබගේ සිතිවිලි ප්‍රක්ෂේපණයක් සිදුවෙයි.

පරිකල්පනය ඉතා දක්ෂ ක්‍රියාවලියකි. ඔබගේ අත්දැකීම් තුළට ඇතුළු වන එය එහි පාලනය අල්ලා ගනියි. භාවනාවේ දී ශබ්දයක් ඇසෙන විට පූර්ණ අවධානය ම එම අත්දැකීමට පමණක් යොමු කරන්න. අපට එය මුළුමනින් ම මඟහැරෙන තරමට ම සිදුවන දෙය ඉතා සරල ය. ශබ්ද තරංග එයටම ආවේනික වූ රටාවකින් අපගේ සවනේ වදියි. මොළය තුළ දී විද්‍යුත් ආවේග බවට පත්වන මෙම තරංග, ශබ්ද රටාවක් ලෙස විඥානය මත පතිත වෙයි. එපමණකි. පින්තූර නැත. මනෝමය චිත්‍රපට නැත. සංකල්ප නැත. ප්‍රශ්න අසන අභ්‍යන්තර කථාවක් නැත. ශබ්දයක් ම පමණකි. යථාර්ථය සැරසිලිවලින් තොර සරල සුන්දරත්වයකින් යුක්තය.

ශබ්දයක් ඇසෙන විට ඇසීමේ ක්‍රියාවලිය ගැන පමණක් සිහියෙන් සිටින්න. එයට අමතර සෑම දෙයක් ම එකතු කරන ලද කථාවකි. එය අත හරින්න. ඔබ අත්දකින සෑම සංවේදනයකට ම, සෑම හැඟීමකට හා සෑම අත්දැකීමකට ම මෙය පොදු නීතියකි. ඔබගේ අත්දැකීම දෙස සමීප ව බලන්න. මනෝමන්දිර තට්ටුවලට යටින් ඇති නියම දෙය දෙස දකින්න. එහි සරල බව හා සුන්දරත්වය ඔබ මවිත කරනු ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ද අනවශ්‍ය දුරකට ගෙන යා හැකි ය. වාඩි වී සිහිය එළඹවා ගත යුතු දේ නොසොයන්න. යම්කිසි දෙයක් පැමිණ ඔබගේ අවධානය ඉවතට අදින තෙක් හුස්ම වෙත සිත යොමු කරන්න. එලෙස සිදුවනු දැනුන විට එය සමඟ සටන් නොකරන්න. අවධානයට ස්වාභාවිකව ම බාධාව මත පතිත වන්නට ඉඩහැර එය පලවා හරින තුරු එසේ පවතින්නට ඉඩසලසන්න. පසුව හුස්ම වෙතට පැමිණෙන්න. වෙනත් මනෝමය හෝ කායික හෝ සංසිද්ධීන් නොසොයන්න. ඒවාට ඔබ වෙත එන්නට ඉඩ හරින්න. ඇත්ත වශයෙන්ම ඔබ ඒවා වෙත පාවී යන අවස්ථා එළැඹෙනු ඇත. දීර්ඝ පුහුණුවකින් පසුව වුව ද සිත බොහෝ වේලාවක් ඉබාගාතේ ගොස් ඇති බව හදිසියේ ම ඔබ තේරුම් ගනියි. එවන් දෙයින් අධෛර්යයට පත් නොවන්න. අවධානය බිඳී තිබූ කාලසීමාව වටහා ගෙන නැවත හුස්ම වෙත පැමිණෙන්න. එවන් අවස්ථාවක ඍණාත්මක ප්‍රතික්‍රියා දැක්වීම කිසිසේත් ම අවශ්‍ය නැත. ඔබගේ අවධානය බිඳී තිබූ බව වටහා ගැනීම ම ක්‍රියාකාරී සිහිය උපදවා ගැනීඹකි. එය උසස් එළැඹි සිහියකින් ක්‍රියා කිරීමකි.

සිහි වර්ධනය වීම සිහියෙන් කරන කාර්යයන් තුළින් ම සිදුවෙයි. එය හරියට මාංශ පේශීන් සඳහා කරන ව්‍යායාමයක් වැනියි. සෑම වාරයකදී ම සුළුවෙන් හෝ එය වැඩි දියුණු වේ. ඔබ එය තරමක් දුරට හෝ ශක්තිමත් කරයි. එම අවදිමත් බව දැනීම ම එළැඹි සිහිය වැඩි දියුණු වී ඇති බව කියාපාන්නකි. ඔබ ජයගෙන ඇති බව එහි තේරුමයි. පසුතැවීමකින් තොරව ආපසු හුස්ම වෙත පැමිණෙන්න. කෙසේ වෙතත්, පසුතැවීම ආරෝපිත සංවේදනයක් බැවින් එහි පැමිණීම නොවැළැක්විය හැකියි. එය තවත් පුරුද්දකි. අධෛර්යයට පත්වීමක්, ඉච්ඡාභංගත්වයක් හෝ ස්වයං හෙලාදැකීමක් දැනුණු විට එය පූර්ණ අවධානයෙන් යුතුව දකින්න. එය තවත් බාධාවකි. අවධානය යොමුකළ විට එය ඉවත්ව යන අන්දම දැක, නැවත හුස්ම කරා පැමිණෙන්න.

මොහොතකට පෙර අප පිරික්සූ නීති සෑම මානසික ස්වභාවයක් සඳහා ම පාවිච්චි කළ හැකි මෙන් ම පාවිච්චි කළ යුතුයි. මෙය අනුකම්පා විරහිත නියෝගයක් බව ඔබට සිතෙනු ඇත. ජීවිතයට ම බාරගන්නා දුෂ්කරම කාර්යය මෙය වෙයි. ඔබගේ අත්දැකීමේ සමහර අංශයන් සඳහා පාවිච්චි කිරීමට කැමැත්තක් හා සමහර අංශයන් සඳහා පාවිච්චි කිරීමට අකමැත්තක් ඔබ තුළ හටගනු ඇත.

භාවනාව ද තරමක් දුරට මානසික අම්ලයක් වැනියි. එය තුළට දමන සෑම දෙයක් ම ටිකෙන් ටික විනාශවී යයි. මනුෂ්‍යයින් වන අපි අසාමාන්‍ය ගති පැවතුම් ඇති අය වෙමු. සමහර විෂ වර්ගයන්ගේ රසයට ඇලුම් කරන අපි ඒවා අප මරණයට පත්කරන අවස්ථාවේ දී පවා නොකඩවා අනුභව කරමු. අප බන්ධන ඇතිකරගෙන තිබෙන සිතිවිලි ද විෂ මෙනි. සමහර සිතිවිලි මුලින් උදුරා විනාශ කර දැමීමට මහත් උනන්දුවක් දක්වන අපි තවත් සමහර සිතිවිලි ආරක්ෂා කර රැකබලා ගනිමු. එය මනුෂ්‍ය ස්වභාවය යි.

විපස්සනා භාවනාව ක්‍රීඩාවක් නොවේ. පැහැදිලි දැනීම (අවදිමත් බව) ආශ්වාදජනක විනෝදාංශයකට වැඩියමකි. එය ආශාවෙන් හා ද්වේශයෙන් සැදුණ මඩ ගොහොරුවේ එරී සිටින අප ඉවතට ඔසවා රැගෙන යන මාවත යි. ඔබගේ ජීවිතයේ වඩා අසුන්දර පැතිවලට මෙම දැනීම පාවිචිච් කිරීම වඩාත් පහසු ය. දැනීමේ උණුසුම් රශ්මි කදම්බයට හසු වී දියවී යන බිය හා මානසික පීඩනය දකින ඔබට එම ක්‍රියාවලිය නැවතත් සිදුකිරීමට අවශ්‍ය වනු ඇත. ඒවා රිදුම්දෙන, අමිහිරි චිත්ත ස්වභාවයන් ය.

පීඩාකාරී එවන් දේ පලවා හැරීමේ අවශ්‍යතාවය තිබේ. සැබෑ ආදරය, දෙමව්පියන්ගේ රැකවරණය හෝ දේශානුරාගය වැනි ඔබ රඳවා ගැනීමට ආශා කරන ස්වභාවයන් සඳහා එම ක්‍රියාවලිය ම අනුගමනය කිරීම වඩාත් අසීරු ය. නමුත් එය අවශ්‍ය යි. ඍණාත්මක බැඳීම් හා සමානව ම ධනාත්මක බැඳීම් ද ඔබව මඩ ගොහොරුවේ රඳවයි. වෙහෙස දරා විපස්සනා භාවනාව පුරුදු කරන ඔබට පහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට හැකි වන දුරට මඩෙන් ඉවතට පැමිණිය හැකියි. නිර්වාණයට යන මාර්ගය විපස්සනා භාවනාව පුහුණු කිරීම යි. මෙම උදාර අරමුණ කරා දුක්මහන්සි වී ළගාවූවන්ගේ වාර්තා දෙස බැලූවිට, ඒ සෑම ප්‍රයත්නයක් ම ඵලදරා ඇති බව පැහැදිලි ය.

ඉල් අව අටවක

නොවැම්බර් 11 අඟහරුවාදා
අ.භා 11.16 අව අටවක ලබා
12 බදාදා අ.භා 11.05න් ගෙවේ.
12 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]