සැඳෑ සමය සතුටින් ගෙවන්නට ජීවිතය නුවණින් විමසන්න

සැඳෑ සමය සතුටින් ගෙවන්නට ජීවිතය නුවණින් විමසන්න

විවිධ රැකි රක්ෂා කාර්යයන්හි යෙදෙමින් ජීවිතයේ තාරුණ්‍ය අවධියේත්, මැදි වයසේදීත් අපි බොහෝ දෙනා කායික හා මානසික ශ්‍රමය අසීමිත ලෙස වැය කළෙමු. කය දුබල වෙත්ම තවදුරටත් සිය ශ්‍රමය නිසියාකාර ව වැය කළ නොහැකි නිසා සැදෑ සමය සුවසේ ගත කිරීමට සියලු වෘත්තීන්ගෙන් සමු ගැනීමට සිදුවිය. කායික හා මානසික සුවය පතා ගත් එම තීරණය ඵලදායි ලෙස භුක්ති විඳින්නේ දැයි සොයා බැලීම වටනේ ය.

‘විශ්‍රාම යාම යනු විශ්‍රාම යාමයි’ ඉන් එහාට කළ යුක්තක් නැත. නමුත් එවැන්නක් ඇති සෙයක් සේ දැනෙන්නේ දැයි ගැටලුවයි. විශ්‍රාම යාමෙන් පසුවත් එම සටන අලුත් මුහුණුවරකින් ආරම්භ වී ඇති සෙයකි. විශ්‍රාම කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්‍රාමික තත්ත්වයක් තිබිය යුතු ය. එහෙත් විශ්‍රාම යාමට ආසන්න වීමට පෙර සිටම බොහෝ දෙනා විවිධ වැඩ සැලසුම් කරගෙන සිටී. යුතුකම් වගකීම යනුවෙන් ලේබලයක් අලවාගෙන තවත් බොහෝ දෙනකු විවිධ කාර්යයන්හි යෙදී සිටිති. “මේවාත් කරන්න එපායැ.” මේවා ඉතින් යුතුකම් .. කර්මේ තමයි” කියමින් බොහෝ විශ්‍රාමික පිරිස් දරුවන්ගේ දරුවන් රැකබලා ගනිමින් සුසුම්ලති. සමහර පිරිස් සාඩම්බරයෙන් කතා කරති. සියලු වැඩ අවසන් වෙලා. බණක් භාවනාවක් කරනවා” කියමින් තවත් පිරිසක් අනාගත බලාපොරොත්තු ගොන්නක් තුළ හිරවී සිටිති.

එහෙත් ඒ සියලුම වැඩ මේ භවයේ දී ඉවර කළ නොහැකි බවත්, මරණයත් සමඟ ඒ සියලු ම වැඩ අවසන් වී නැවතත් ඊළඟ භවයේදී ඊට වඩා වැඩ කොටසක් තුළ තවත් හිරවන බවත් බොහෝ දෙනා නොදනිති. බෞද්ධ වත් පිළිවෙත් දන්නා ශ්‍රාවකයා මීට වඩා නුවණින් යුතු ව දහම අභිමුව සිට ගත යුතුව ඇත.

කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුවෙන් විවේක තුනක් ගැන බෞද්ධ දර්ශනය තුළ කියැවේ. කායික විවේකයක්, චිත්ත විවේකයත් එකිනෙක ප්‍රත්‍යවීමත් සිදුවේ. අනවශ්‍ය ලෙස එය අකුසලයට නැඹුරුවී ම නිසා සිතට විවේකයක් නැත. කය සහ සිත විවේක නොවන තැන උපධි විවේකයක් ද නැත. අතීතයේ කළ වැරැදි ගැන සිතමින් ඒ පිළිබඳ ව පසුතැවිලි වීමත්, කළ නොහැකි වූ යහපත් වැඩ ගැන ද සිතමින් කනස්සලුවී ම තුළ සිතටත්, ගතටත් වෙහෙස මිස සුවයක් සහනයක් නූපදී.

අනාගතය ඔස්සේ සිතමින් කාලය කාදැමීම තුළ ද විශ්‍රාමික තත්ත්වයක් නූපදී.

කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය මිනිසකුගේ නිරාමිස සතුටට අත්‍යවශ්‍ය සාධකයකි. කය දුබල වුවත් සිත දුබල නොවී එය ධර්මය තුළ ශක්තිමත් වුවහොත් ඔහු සැබෑ විශ්‍රාමිකයකු විය හැකි ය.

“බහුධීතු” සූත්‍රයේ කතා ප්‍රවෘත්තිය ගැන අවධානය යොමු කරන විට විශ්‍රාම සුවය ගැන යම් තරමක හෝ අවබෝධයක් ලබා ගත හැකිය.

බුදුපියාණන් වහන්සේ හා භාරද්වාජ බමුණු තෙමේ අතර කතා සල්ලාපයේ දී විශ්‍රාමික වීම ගැන ගැඹුරු විස්තරයක් ඉන් කියැවේ. බමුණු තෙමේ ගාථා 7කින් පැහැදිලි කළ ගැටලුවලට බුදුපියාණන් වහන්සේ ගාථා 7කින් පිළිතුරු දුන්හ.

“එහෙයින් මේ ශ්‍රමණයාහට එවැන්නක් නැත. ඒ නිසා ඔහු සැපෙන් සිටී” සැපෙන් යන විශ්‍රාම සුවයෙන් සිටින බවයි. සැපයට බාධාව අල්ලා ගැනීම බව යමින් කියැවේ. අපි ද විශ්‍රාම යනවා කියා බොහෝ දේ පි‍්‍රයමනාපයි කියා අල්ලා ගෙන සිටින්නෙමු. ඒ දේ අත්හරින තුරු විශ්‍රාම සුවයක් නැත. තම තමන්ගේ යුතුකම් වගකීම් නොකර සිටීම ලෙස මින් හුවා දක්වන්නේ ද නැත. ඒ සියල්ල සතුටින් සතිමත් ව කළ යුතු ය. මගේ කියා බාධා නොගෙන ඒ සියල්ලෙහි ප්‍රයෝජනය සඳහා පමණක් පරිහරණය කිරීමට මනස හුරු පුරුදු කළ යුතු ව ඇත.

වර්තමාන මොහොත තුළ අවධානශීලීව කටයුතු කිරීමට හුරුපුරුදුවීම විශ්‍රාමික තත්ත්වයකි. විශේෂයෙන් නිශ්ශබ්දතාව විවේකයට හොඳ ආරම්භයකි. විශ්‍රාමිකව සිටින බොහෝ දෙනා ජනමාධ්‍ය මඟින් විසුරුවා හරින ප්‍රවෘත්ති හරහා විවිධ මතිමතාන්තර අදහස් උදහස් දක්වමින් සමාජ ශෝධකයන් වීමට උත්සාහ ගනිති. එය විවේකයට බාධාවක් විය හැකි ය.

බෞද්ධ දර්ශනය අපට කියා දෙන්නේ යහපත් ජීවන දර්ශනයකි. ජීවිතය විඳවීමක් නොකර යහපත් විඳීමක් සිදුවිය යුතු ය. එය විඳීමෙන් ද එහා ගිය දර්ශනයක් අපට බුදුදහම කියා දෙන්නේ ය.

විශේෂයෙන් බෞද්ධ ශ්‍රාවකයා නිති පන්සිල් රැකිය යුතු ය. කාය සංවරය සහ වචී සංවරය බුදුදහම අගය කර ඇත. “කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ......” ආදි වශයෙන් අපගේ චිත්ත සංතානය වික්ශිප්ත කරවන මෙම දොරටු දෙක අසංවර වුවහොත් අපගේ විවේකයට ඉන් විශාල හානියක් සිදුවේ.

‘මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනෝමයා......” ආදී වශයෙන් ධම්මපද පාලියේ එන එම ගාථා රත්නය අපගේ විවේකයට හානි සිදුවන අයුරු පහදා දෙන්නේ ය.

බෞද්ධ ශ්‍රාවකයා පමණක් නොව අන්‍ය ආගමික පුද්ගලයන් ද මරණ ධර්මතාවක් ඉක්මවා නැත. මේ සෑම දෙන ම මරණයට බයක් දක්වති. මාසයක් වැඩ කිරීමෙන් අනතුරුව මාසික වේතනය ලැබෙන දවසට ලොකු සතුටක් ලැබෙන්නේ යම් සේ ද එලෙසට මරණය ළඟා වන දවසට අර වැනි සතුටක් ඇති විය යුතු ය. සනීපයට සතුටින් මරණය වැලඳ ගැනීමට අප සූදානම් විය යුතු ය. මෙලොව ජීවිතයෙන් ම විශ්‍රාම යන දවසට තමන් තනියම සියල්ල හැර දමා යන බව සිහි තබා ගත යුත්තේ ජීවත්ව සිටින කාලය තුළ දී ය. එම නිසා ජීවත්ව සිටින කාලය විශ්‍රාමික සුවයෙන් සති සම්පජ්ඤ්ඤව සිටියහොත් අවුලක් විය නොහැකි ය.

මේ සඳහා ශ්‍රැතමය ඥානය තුළින් ලබාගත් දැනුම ඔහු තුළ වගා විය යුතු ය. බෞද්ධ පොත සහ දේශනා, දහම් සාකච්ඡා සහ කල්‍යාණ මිත්‍රයා ඔහුට උපකාරී වේ.

මහා මංගල, පරාභව, සිඟාලෝවාද, බද්දේකරත්ත වැනි සූත්‍ර පරිශීලනය කොට එහි ඇති ධර්ම කරුණු මඟින් ඔහු සන්නාහ සන්නද්ධ විය යුතු ය. බහු පුත්තක මාතාව මඟින් කියවන අපූරු කතාව වයස්ගත අම්මාවරුනට වීරිය වැඩීමටත්, නුවණ සහ ශ්‍රද්ධාව වැඩීමටත් මහත් උපකාරි වේ. ජරාපත් රාධ බමුණාගේ කතාව තුළින් කියැවෙන ආදර්ශය වයස්ගතත පිරිමි මහත්වරුන්ට හොඳ තෝතැන්නකි. කරදරයි, කරදරයි කියමින් දෙස් දෙවොල් තබමින් අනුන්ගේ දොස් පමණක් දකිනා තමන්ගේ වැරැදි අඩුලුහුඬුකම් නොදකින අයට හොඳ පහරක් ඉහත කතාවන් තුළින් අනාවරණය වේ.

බුදුපියාණන් වහන්සේගේ ජීවමාන කාලයේ ජීවත් වූ ‘නකුල පිතා හා නකුල මාතා’ යන දෙදෙනාගේ ජීවන දර්ශනය ගැන කියවන කතාව තුළින් සාර්ථක විවාහක දිවියක් සතුටින් ගෙවා දමන හැටි කියා දෙන්නේ ය. මෙසේ ලබාගත් ශ්‍රතමය ඥානය තුළින් චින්තාමය ඥානය ගොඩනඟා ගෙන භාවනාමය ඥානය කරා පියනැඟිය යුතු ය. ඒ සඳහා විශ්‍රාමික බෞද්ධයා දැන් දැන්ම සූදානම් වීම වටනේ ය. පරලොව යන ගමන හමාර කර දැමීම සඳහා සිය විශ්‍රාමික කාලය යොදා ගැනීමට ඔබ දක්ෂ විය යුතු ය. දාන, ශීල ආදියෙහි පමණක් යෙදීමෙන් ඔබ යන ගමන සාර්ථක නොවේ. ඇත්ත ඇති සැටියෙන් දැකීමට නම් ඔබ එතැනින් එහා යා යුතු ය. ඒ සඳහා ‘සතර සතිපට්ඨානය’ ජීවිතයට හුරුපුරුදු කිරීමට දැන්ම කටයුතු කරන්න.

ඉල් අව අටවක

නොවැම්බර් 11 අඟහරුවාදා
අ.භා 11.16 අව අටවක ලබා
12 බදාදා අ.භා 11.05න් ගෙවේ.
12 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]