සසර ගමනට නැවතුමක්...

සසර ගමනට නැවතුමක්...

අපගේ බෝසතාණන් වහන්සේ ගයාවේ ඇසතු බෝ සෙවණේ දී දස බිම්බරක් මාර සේනා පරාජය කරමින් දස දහසක් ලෝක ධාතුව ම කම්පා කරවමින් සකල ක්ලේශයන් ප්‍රහාණය කොට, අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක.

ඒ වන විට බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ සිටි පස්වග මහණුන් කරා සුගතයන් වහන්සේ පියවර තැබූයේ සොයාගත් නිවන් මඟ දේශනා කිරීමේ මහා කරුණාවෙනි.

“මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ (කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගය) තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඤාණය ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේ ය.

“මහණෙනි, ඒ මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.” ලෝක සත්ත්වයා දීර්ඝ වූ සසර ගමනට වැටී කෙළවරක් සොයාගත නොහැකි ව අසරණ වූයේ මිථ්‍යා වැඩපිළිවෙළ තුළ ම සිටිමින් රැස්කර ගන්නා අකුසල් නිසා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

මහණෙනි, පාපය කෙරෙහි ලජ්ජාව නැති බවත්, භය නැති බවත් එකතු වී ඇති අකුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් කරුණ වන්නේ අවිද්‍යාව යි.

අවිද්‍යාවෙන් යුක්ත වූ කෙනා අවිද්‍යාව තුළින් දකින විට වැරැදි දෘෂ්ටිය උපදී. වැරැදි දෘෂ්ටිය නිසා වැරැදි වචන, වැරැදි කායික ක්‍රියා, වැරැදි දිවි පැවැත්ම, වැරැදි උත්සාහය, වැරැදි වීර්යය, වැරැදි සමාධිය හට ගනී.

“මහණෙනි, ආධාරකයක් නොමැති කළය පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි ද, ආධාරකයක් මත තිබෙන කළය පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආධාරකයක් රහිත වූ සිත පහසුවෙන් ම පෙරළිය හැකි වන්නේ ය. ආධාරකයක් සහිත වූ සිත පහසුවෙන් ම පෙරළිය නොහැකි වන්නේ ය. මහණෙනි, සිතට ඇති ආධාරකය කුමක් ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය.”

උරුවේලාව බලා පිටත් ව ගිය භාග්‍යවතුන් වහන්සේ, අරහත් බවට පුණ්‍ය සංස්කාර සකස් වූ නමුත් ශ්‍රී සද්ධර්මය මුණ නොගැසීමෙන් මිථ්‍යා අදහස්වල පැටලී සිටින උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදීන්ට දහම් පවසා දහසක් වූ එම පිරිසට බුදුසසුනේ පිහිට සලසා දුන් සේක.

“මහණෙනි, යම් රාගයක ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂයක ක්ෂය වීමක් ඇද්ද, මෝහයක ක්ෂය වීමක් ඇද්ද, මෙය අමෘතය යැයි කියනු ලැබේ. යම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද, මෙය අමෘතය කරා ගෙන යන මාර්ගය යි.”

“මහණෙනි, මේ උතුම් ධර්මයන් අට තමා තුළ දියුණු කර ගත් විට, බහුල වශයෙන් පුරුදු කරගත් විට, නිවන කරා යන්නේ ය. නිවන් පිහිට සැලසෙන්නේ ය. නිවනින් සමාප්ත වන්නේ ය. ඒ කවර අටක් ද? සම්මා දිට්ඨියෙන් ඇරඹි සම්මා සමාධියෙන් අවසන් වන්නා වූ මේ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි.

වරෙක අප භාග්‍යවතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

“මේ නිවන් මඟ මුළුමනින් ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මත ය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරු වීම මත ය. මෙසේ වාසය කරන භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරන්නේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ ය යන කරුණ කැමැති විය යුතු ය.”

යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සිත පහදවා ගන්නාහු ද, ඒ ප්‍රසාදය ඇති වූයේ අග්‍ර තැන කෙරෙහි ය. අග්‍ර ස්ථානයේ පැහැදුණවුන්ගේ විපාකය අග්‍ර වෙයි.”

“මහණෙනි, හිරුමඬල නැඟ එන විට මුල්ම සලකුණ මෙයයි. මුල්ම නිමිත්ත මෙයයි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් භික්ෂූවන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය හට ගැනීම පිණිස මුල් ම සලකුණ මෙයයි. නිමිත්ත මෙයයි. එනම් කල්‍යාණ මිත්‍රයන් ඇති බවයි. සීල සම්පත් ඇති බවයි. දුකින් මිදීමට කැමැත්ත ඇති බවයි. දුකින් මිදීමට සිත පිහිටුවීම යි. නිවැරැදි දැක්ම නමැති සම්පත්තිය යි. නුවණ යොදා මෙනෙහි කිරීමයි.

යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරැදී ගියේ මැනවින් දුක් ක්ෂය කරන්නා වූ මාර්ගය යි. යනුවෙන් වරෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට උප නූපන් පාපී අකුසල් අතුරුදන් කළ හැකි ය.

“මහණෙනි, හටගත් මහා වැස්ස මහා සුළඟකින් අතරමඟ දී අතුරුදහන් කරවයි. සංසිඳුවයි. එලෙසින් ම මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ, උපනූපන් පාපී අකුසල ධර්මයන් හටගත් අතරමඟ දී ම අතුරුදහන් කරවයි. සංසිඳවයි.”

දෙව් මිනිස් ලෝ සතුන් සසර දුකින් නිදහස් කරවන්නා වූ ඒ උතුම් ආර්ය මාර්ගයට අයත් වූ සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස දෙයාකාර වේ. ලෞකික සම්මා දිට්ඨිය යනු, මිථ්‍යා දෘෂ්ටිය බැහැර කිරීමෙන් ලබන්නකි. මිත්‍යා දෘෂ්ටිය යනු කුමක් ද? සම්මා දිට්ඨිය යනු කුමක් ද? ලෙස දැන සිටීම සම්මා දිට්ඨිය යි.

දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය

දානයෙහි විපාක නැත, ඇප උපස්ථානවල විපාක නැත, පුද පූජාවන්හි විපාක නැත, යහපත් වේවා, අයහපත් වේවා කරන ලද කර්මයන්ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත, මවු නැත, පියා නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොව පරලොව පිළිබඳ තමා තුළ ඇති කර ගත් විශිෂ්ට ඤාණයෙන් යුතු ව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද එබඳු මහණ බමුණන් නැත ආදිය යි.

මෙම මිථ්‍යා අදහස්වලින් බැහැර ව සිටින, ලෞකික සම්මා දිට්ඨියට පැමිණි කෙනා ලෝකෝත්තර දියුණුව කරා යෑම පිණිස ශ්‍රී සද්ධර්මය මනාව ශ්‍රවණය කරමින් නුවණින් විමසීමෙහි යෙදී වාසය කරයි. දුක පිළිබඳ, දුක හටගැනීම පිළිබඳ, දුක නිරුද්ධ වීම පිළිබඳ. දුක නිරුද්ධ වන මාර්ගය පිළිබඳ අවබෝධ ඤාණයෙන් යුතු ව ආර්ය වූ, ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් ලෙස සම්මා දිට්ඨිය වඩයි. මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස සිදුකරන වෑයම සම්මා වායාමය වේ. සිහියෙන් යුතුව මිත්‍යා දෘෂ්ඨිය අත්හරිමින්. සිහියෙන් යුතු ව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරයි. එම සිහිය සම්මා සතිය වේ.

ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගවත් ව සකස්් වෙයි. ඒ අනුව පවතියි. එනම්, සම්මා දිට්ඨිය, සම්මා වායාමය හා සම්මා සතිය යන තුනයි. මෙම කරුණු තුන පෙරටු කොට ගෙන විදර්ශනා අරමුණෙහි සිත පිහිටුවා, නංවා, සිදු කරන විතක්ක විචාර ඇද්ද, එය සම්මා සංකල්පය යි.

(සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය)

මෙම කරුණූු තුන පෙරටු කොටගෙන වචී දුශ්චරිතයට (බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම) නොඇලී, වෙන් වී, දුරුවී, නවතා, ඒවායෙන් වැළකී සිටිත් ද, එය සම්මා වාචා වේ. මෙම කරුණුූ තුන පෙරටු කොටගෙන කායික දුශ්චරිතයට (ප්‍රාණඝාතය, සොරකම, වැරැදි කාම සේවනය) නොඇලී, වෙන්වී, දුරු වී නවතා, වැළකී සිටිත් ද, එය සම්මා කම්මන්තය වේ.

මෙම කරුණු තුන පෙරටු කොටගෙන මිථ්‍යා ආජීවයට නොඇලී, වෙන් වී, දුරු වී, නවතා, වැළකී සිටිත් ද, එය සම්මා ආජීවය වේ. මේ අයුරින් සම්මා දිට්ඨියෙහි පිහිටි කෙනා තුළ සම්මා සංකප්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීව ද, සම්මා වායාමය ද සම්මා සතිය ද, සම්මා සමාධිය ද, සම්මා ඤානය හා සම්මා විමුක්තිය ද ඇති වේ. ධර්මයෙහි හික්මෙන සේක පුද්ගලයා මාර්ග අංග අටකින් ද, රහතන් වහන්සේ මාර්ග අංග දහයකින් ද යුක්ත වෙයි.

“මහණෙනි, මහණකම හා මහණකමේ ප්‍රතිඵල යනු මොනවා ද? මහණකම යනු මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මහණකමේ ප්‍රතිඵල යනු සෝවාන්, සකදාගාමි, අනාගාමී, අරහත් ඵලයන් ය.”

“මහණෙනි, පිරිසුදුව බබළන්නා වූ, කෙලෙස් රහිත වූ, උපක්ලේෂ රහිත වූ මේ ධර්මයන් අට තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීමෙන් විනා කිසි කලෙක ඇති නොවූත්, අන් කිසි කලෙක ඇති නො වන්නා වූත් දෙයකි. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.”

ඉල් අව අටවක

නොවැම්බර් 11 අඟහරුවාදා
අ.භා 11.16 අව අටවක ලබා
12 බදාදා අ.භා 11.05න් ගෙවේ.
12 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]