|
ඉල් අව අටවක පෝ දා
2025-11-12
දුර්ජන ඇසුර
එපා
බුදුරදුන් ජීවමාන සමයෙහි දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ
ධර්ම සාකච්ඡාවක යෙදී සිටියහ. ඒ අසා සිටි එක් මහලු භික්ෂුවක් අනුන්ගේ පැසසුම් ලබන්නට
අවස්ථාවක් පැමිණි බව සිතා සැරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසා පරදවම්’යි
උන්වහන්සේගෙන් ප්‍රශ්න පෙළක් විමසී ය. එහෙත් ඒ එකිනෙකට සම්බන්ධ නොවූ හිස්, තේරුමක්
නැති වචන පෙළක් ම විය. මේ අවස්ථාවේ මේ අඥාන භික්ෂුවගේ අරමුණ සහ ධර්ම ඥානයේ තරමත්,
ඇසූ ප්‍රශ්නයේ ස්වභාවයත් දුටු සැරියුත් මහරහතන් වහන්සේ මුවින් නො බැණ ධර්ම ශාලාවෙන්
බැහැරට වැඩියහ.
ඒ මොහොතේ ධර්ම ශ්‍රවණය පිණිස බොහෝ උවසු උවැසියෝ ධර්ම ශාලාවට පැමිණ සිටියහ. එහෙත් මේ
මහලු, අඥාන භික්ෂුව තමන්ගේ තරම නො දැන කළ දේ නිසා අපටත් බණ අසන්නට නො ලැබුණේ යැයි
ඔවුහු කනගාටු වූහ. පිරිසක් මේ භික්ෂුවට පහර දෙන්නෙම්’යි ලුහුබඳින්නට වූහ. භික්ෂුව ද
බියෙන් දිව යන්නේ දිරාගිය වැසිකිළියක සැඟවුණි. ඒ මොහොතේ පුවරු බිඳ භික්ෂුව වැසිකිළි
වලෙහි වැටී අසූචියෙන් නැහැවුණි.
මේ සිදුවීම ගැන ඒ උපාසකයකු බුදුරජාණන් වහන්සේට ද සැළ කළහ. ඒ අවස්ථාවේ තථාගතයන්
වහන්සේ දේශනා කොට වදාළේ මෙපසුව මෙවැනි කරදරවල පැටලුණේ මේ අත්බවයේ පමණක් නොවන බව ය.
පෙර කලෙක ද මෙසේ උතුමන් සමඟ වාදයට, පොරට සැරසී සිරුරෙහි අසූචි තවරාගත් බව ය.
පන්සිය පනස් ජාතක පොත්වහන්සේ තුළ එන ‘සුකර’’ ජාතක කතාවේ සිංහයකු සමඟ සටනට සැරසුණු
ඌරාගේ කතාව අපි අසා ඇත්තෙමු. මේ සූකර චරිතය ඉහත භික්ෂුවගේ පෙර අත්භවයකි.
මේ කතා පුවත් අප වෙත සන්නිවේදනය කරන පණිවුඩය ජීවිතයට මිල කළ නොහැකි අගයකින් යුතුය.
විශේෂයෙන් ජීවිතයට ළං කර ගත යුතු පුද්ගලයන්ගේ හා ජීවිතයෙන් සපුරා දුරස් කළ යුතු
පුද්ගලයන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීමේ වටිනාකම උගන්වයි.
අප ජීවත්වන සමාජය නිර්මාණය වී තිබෙන්නේ විවිධ පුද්ගලයන්ගෙනි. ඔවුන්ගේ අදහස්,
සිතිවිලි චර්යාවන් එකිනෙකාට වෙනස් ය.
ඊර්ෂ්‍යාව, රාගය, ද්වේෂය, මෝහය, කුහකකම පවෙහි ලජ්ජා නොවීම, පවට බිය නොවීම ආදී
දුර්ගුණ සේම මෛත්‍රිය, දයාව, කරුණාව, පරිත්‍යාගශීලී බව, අවංක බව, පවට ලජ්ජාව සහ බිය
ඇති බව යන යහපත් ගුණ ධර්ම හෙබි පුද්ගලයෝද වෙති.
අප ඇසුරට තෝරා ගත යුතුවන්නේ මෙවැනි පිරිස් අතරින් කවුරුද යන බව අමුතුවෙන් කිව යුතු
නැත.එහෙත් බොහෝ අඥාන දනෝ මේ පිළිබඳ සැලකිලිමත් නොවී අයහපත් ඇසුරට වැටී මේ ජීවිතයත්,
මරණින් මතු ජීවිතයත් අභාග්‍ය සම්පන්න කර ගන්නා ආකාරයක් පෙනෙන්නට තිබේ. ඉතා දුර්ලභව
ලද මේ අවස්ථාව තවත් කෙනකු නිසා විනාශ කර ගන්නවා ද යන්න තීරණය කළයුතු තමන් ම ය.
දුර්ජනයන්ගේ ඇසුරින් මිදීම ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්ගේ ස්වභාවය යි. ඔවුහු
දුර්ජනයන් නිසා තමන්ට මොනතරම් නින්දා, අපහාස, අසාධාරණකම් සිදුවුවද නො දුටු ඇස් ඇතිව
නො ඇසූ කන් ඇතිව එවැන්නෝ මඟ හැර යති. තමන්ගේ ප්‍රතිපත්ති විනාශ කර නො ගනිති. කෙනෙක්
නිසා ජීවිතයේ වටිනාකම් මඟහැර නො ගනිති. බෞද්ධයන් සියලු දෙනා මේ සදූපදේශ හිතට ගත
යුතු කාලය එළඹ තිබේ. |