ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් අව අටවක පෝ දා 2025 නොවැම්බර් 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කැලණිය රාජමහා විහාරයීය බුද්ධ ප්‍රතිමා වහන්සේ සේයාරුව නිශ්ශංක විජේරත්න
නොවැම්බර් 11 අඟහරුවාදා අ.භා 11.16 අව අටවක ලබා 12 බදාදා අ.භා 11.05න් ගෙවේ. 12 බදාදා සිල්
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
පසළොස්වක
දෙසැම්බර් 04
අපගේ බෝසතාණන් වහන්සේ ගයාවේ ඇසතු බෝ සෙවණේ දී දස බිම්බරක් මාර සේනා පරාජය කරමින් දස දහසක් ලෝක ධාතුව ම කම්පා කරවමින් සකල ක්ලේශයන් ප්රහාණය කොට, අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. ඒ වන විට බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ සිටි පස්වග මහණුන් කරා සුගතයන් වහන්සේ පියවර තැබූයේ සොයාගත් නිවන් මඟ දේශනා කිරීමේ මහා කරුණාවෙනි. “මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ (කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගය) තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඤාණය ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේ ය. “මහණෙනි, ඒ මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.” ලෝක සත්ත්වයා දීර්ඝ වූ සසර ගමනට වැටී කෙළවරක් සොයාගත නොහැකි ව අසරණ වූයේ මිථ්‍යා වැඩපිළිවෙළ තුළ ම සිටිමින් රැස්කර ගන්නා අකුසල් නිසා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. මහණෙනි, පාපය කෙරෙහි ලජ්ජාව නැති බවත්, භය නැති බවත් එකතු වී ඇති අකුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් කරුණ වන්නේ අවිද්‍යාව යි. අවිද්‍යාවෙන් යුක්ත වූ කෙනා අවිද්‍යාව තුළින් දකින විට වැරැදි දෘෂ්ටිය උපදී. වැරැදි දෘෂ්ටිය නිසා වැරැදි වචන, වැරැදි කායික ක්‍රියා, වැරැදි දිවි පැවැත්ම, වැරැදි උත්සාහය, වැරැදි වීර්යය, වැරැදි සමාධිය හට ගනී. “මහණෙනි, ආධාරකයක් නොමැති කළය පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි ද, ආධාරකයක් මත තිබෙන කළය පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආධාරකයක් රහිත වූ සිත පහසුවෙන් ම පෙරළිය හැකි වන්නේ ය. ආධාරකයක් සහිත වූ සිත පහසුවෙන් ම පෙරළිය නොහැකි වන්නේ ය. මහණෙනි, සිතට ඇති ආධාරකය කුමක් ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය.”
සියලු සත්වයන් හට උපකාරය පිණිස “පින” හේතුවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. සබ්බ භූතස්සපි උපකාරානි පුඤ්ඤාති නිවන් දකින තුරු අප සැම දෙනා මේ සසර ගමන් කළ යුතු ය. සසර ගමන නවතින්නේ නිවන් අවබෝධයෙනි. එතෙක් අප ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් යන මේ සංසාර ගමන අනන්ත දුක් කම්කටොළුවලින් යුක්ත ය. ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්පයෝග, ආදී දුක් කන්දරාවකින් මේ සසර ගමන පිරී ඇත. එබැවින් උතුම් සැනසීම හා සතුට ඇත්තේ සසර ගමන හෙවත් ඉපදීම නතර කළ දිනක ය. එතෙක් මේ සංසාර ගමනේ යෙදෙන අප කාටත් තාවකාලික හෝ සුවයක් ලැබෙන්නේ කළ පින්කම්වල යහපත් ආනිසංස නිසා ය. ආයු, වර්ණ, සැප, බල, ගුණ නුවණ ආදී යහපත් ප්‍රතිඵල සසර ජීවිතවලට එකතු වන්නේ අප සිදුකර ගන්නා වූ පින්කම්වල ප්‍රතිඵල වශයෙනි. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ආනුශාසනාව වන්නේ “පුඤ්ඤාති කයිරාථ සුඛා වනානි” සැප ගෙනදෙන පින්කම් සිදුකර ගතයුතු බවයි. බුදුරදුන් දවස මගධ අධිරාජ්‍යය පාලනය කළ බිම්බිසාර රජතුමාගේ පුතකු වූ බෝධිරාජ කුමාරයාට ඔහුගේ අලංකාර මන්දිරයට ගෙවදින අවස්ථාවේ එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ තම ජීවිතයේ අවධි තුනෙන් එක් අවධියක හෝ පිනෙහි යෙදෙන ලෙස අවවාද කළහ. යම්කිසි කෙනෙක් තමන්ට ආදරයක් තිබේනම් බාල, තරුණ, මහලු යන ජීවිතයේ ප්‍රධාන අවදි තුනෙන් එක් අවධියක හෝ පින් දහම් සිදු කරගත යුතු ය. එය නුවණැති ක්‍රියාවක් බව දේශනා කළහ. අප සිදු කරන පින්කම් පරලොව සැප සඳහා හේතු වේ. “පුඤ්ඤාති පරලෝකස්මිං පතිටිඨා හොන්ති පාණිනං” යැයි වදාළහ. මේ අනුව පස් පව්, දස අකුසල් ආදියෙන් වැළකී දාන, සීල, භාවනා ආදී පින්කම්වල යෙදෙන අයගේ සසර ගමන සුවපත් වේ. අපට සිදුකරගත හැකි, එමෙන් ම සිදුකරගත යුතු මහා පින්කම් අටක් ගැන දහමෙහි සඳහන් වේ. ඒවා හැඳීන්වෙන්නේ “අට මහා පින්කම්” යනුවෙනි.
උට්ඨාන සම්පදාව හෙවත් උත්සාහය ජීවිතයකට අත්‍යවශ්‍ය ම අංගයකි. උත්සාහයෙන් තොර පුද්ගලයාට දියුණු විය නොහැකි ය. ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේ දී ඒ ගැන පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ අංග සතරක් යටතේ උත්සාහය ගොඩනඟා ගත යුතු බව පෙන්වා දුන්හ. දක්ෂයකුවීම, අලස නොවීම, උපායෙන් හා විමසීමෙන් ක්‍රියා කිරීම යම් කාර්යයක් සිදු කිරීමටත්, සංවිධානය කිරීමටත් දක්ෂවීම එම අංග සතරයි. කිසියම් කාර්යයක් සඵල කර ගැනීමට නම්, ඒ පිළිබඳ දක්ෂකමක් තිබිය යුතු ම ය. කෘෂි කර්මාන්තය, වෙළෙඳාම, රාජ්‍ය සේවය යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳ ව දක්ෂ විය යුතු ය. දක්ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොට ගෙන ය. ලෝකයේ ඇතැම්හු උප්පත්තියෙන් ම යම් යම් දෙයට දක්ෂ වෙති. සංසාර පුරුද්ද එයට හේතුවයි. එසේ නොමැති වුවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයාට අවශ්‍ය ඒ ඒ ක්‍රියාවන් කෙරෙහි දක්ෂකමක් ඇති කරගත හැකි ය. අනලස් බව හෙවත් කම්මැළි නොවීම ද උත්සාහය ගොඩනඟා ගැනීමේ දී අත්‍යාවශ්‍ය ම දෙයකි. දැන් ඉතා ශීතය, ඉතා උෂ්ණ ය, දැන් සවස් ය, දැන් උදේ ය, ඉතා කුසගිනි ය දැන් කුස පිරුණේ ය යැයි සිතමින් වැඩ නො කරන්නා ගේ ධනය පිරිහෙයි. අමුතු ධනයක් උත්පාදනය නොවෙයි. උපායෙන් හා විමසීමෙන් යුක්තවීම ද උත්සාහයේ දී අවශ්‍ය තවත් අංගයකි. මෙලොව දියුණුවට අවශ්‍ය ගොවිතැන්, වෙළෙඳාම් ආදී දේ දියුණු කර ගැනීමට උපායෙහි දක්ෂ බව තිබිය යුතු ය. වැරැදි උපාය සහ නිවැරැදි උපාය යනුවෙන් උපාය මාර්ග දෙකක් තිබේ. මෙයින් අනුන්ට පීඩා පමුණුවන වැරැදි උපාය මාර්ගයන් සහමුලින් ම බැහැර කළ යුතු ය. නිවැරැදි උපායමාර්ග පමණක් භාවිතයට ගත යුතු ය. කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි , බුදුරදුන් වදාළේ නිවැරැදි උපාය මාර්ගය මුල් කරගෙන ය. එනම් තමා පත්ව ඇති තත්ත්වය තමාට ම තේරුම් ගැන්මට ඉඩකඩ සැලසීමයි.
බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළින්...
බෙරන්නාවේ විමල නා හිමි
කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්
විදුලකර අබිමන් - 03
නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නාහිමි
මාපලානේ ආනන්ද නාහිමි
හිදෝගම කළුවිල ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය
පිහිට පතයි
ඉතිරිය»
සැඳෑ සමය සතුටින් ගෙවන්නට ජීවිතය නුවණින් විමසන්න
හැම දුකටම මුල රූපස්කන්ධයයි
සුවපත් මනසක් සුවබර දිවියක් - 33 කොටස: නිර්වාණයට යන මාර්ගය විපස්සනා භාවනාව පුහුණු කිරීමයි
පංචබල ධර්ම
නිවනින් සැනසීම ලබාදෙන පින්කම්
බොදු ජන මන පුබුදු කළ මහානීය නැණවතා ගුණපාල මලලසේකර
ශාසන යුග මෙහෙවරක අමරණීය නායකත්වය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණෝ
පිරිවෙන් අධ්‍යාපනයට අලුත් මාවතක්
සියවස් ගණනක ඉතිහාසය සැඟවුණු මනරම්ය පුදබිම මැදිලිය ටැම්පිට විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]