Print this Article


හැම දුකටම මුල රූපස්කන්ධයයි

හැම දුකටම මුල රූපස්කන්ධයයි

රූප නිරන්තර ව පවතින ස්ථිර ධර්ම නො වෙයි. අපට නිරන්තරයෙන් කන්නට, බොන්නට ආදී දේ දෙන්නට සිදු වන්නේ, ප්‍රත්‍ය සම්පාදනය කරන්නට සිදුවන්නේ, මේක නිරන්තරයෙන් වෙනස් වන නිසයි. වෙනස් නො වී පවතින ධර්මයක් නම්, හැම දවසෙ ම කන්න බොන්න ඕන නැහැ.

කෑම බීම ආදිය දෙන්නට සිදුවන්නේ, නැති වී යන රූප කලාප ආදිය පවත්වාගෙන යෑමට සිදු වන නිසයි. මේක මහ විශාල දුකක් බවට පත් වෙනවා. ඊට අමතරව ඒ කෑම බීම ආදිය නිකම් ම ලැබෙන්නේ නැහැ. වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන්නට ඕනෑ. මේ හැම දුකක් ම විඳීන්නට සිදුවන්නේ රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වන නිසයි. රූපස්කන්ධය එසේ වෙනස් නො වී

ස්ථිර වශයෙන් පවතිනවා නම්, කවන්න පොවන්න අවශ්‍ය නැහැ. රැකීරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ශරීරය පවතින තාක් කල් එහි වෙනස්වීම් - අනිත්‍යභාවය පවතිනවා. මේ අනිත්‍යතාව පවතින නිසා ම, ශරීරය පවතින තාක් කල් දුක පවතිනවා.

මේ විදිහට යද නිච්චං තං දුක්ඛං - යමක් අනිත්‍ය නම්, එය දුකක් බව තේරුම් ගත යුතු වෙනවා.

සිතේ ස්වරූපයත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. සිත නිරන්තර ව ස්ථිර වශයෙන් පවතින ධර්මයක් නම්, දුක් ඇති වෙන්නේ නැහැ.

අපි හිතමු සෝමනස්ස සහගත වේදනා වක්, සතුටු වේදනාවක් විඳීමින් කෙනෙක් ඉන්නවා. මෙය මුළු ජීවිත කාලය පුරා පවතිනවා නම්, ඔහුට දුකක් ඇති වන්නේ නැහැ. ඒ සුඛ වේදනාව සුළු මොහොතකින් ඇති වී නැති වී යයි. ඊට පස්සෙ විවිධ වේදනා හටගනියි. ඒ සුඛ වේදනාව නිත්‍ය ධර්මයක් නො වන නිසා දුක්ඛ වේදනා ගෙන දෙනවා. ඒ නිසා විවිධ දුක් අත්විඳීන්න සිදු වෙනවා.

ඇති වූ සුඛ වේදනාව දිගට ම පවතිනවා නම් ප්‍රශ්නයක් නැහැ. සැප විඳ විඳ ඉන්න පුළුවන්. නමුත් ඒක ඉබේ ම ලැබෙන්නේ නැහැ. සුඛ වේදනාව සොයන්නට කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා නැති වන සුඛ වේදනාව නැවත ලබන්නට උත්සාහ ගන්නට ඕනෑ. ඒ සඳහා නොයෙකුත් දේ කරන්නට ඕනෑ. පුංචි කාලෙ ඉගෙනීමේ පටන් කරන හැම දෙයක් ම ලෝක සත්ත්වයා කරන්නේ, දුක නැති කර ගැනීමට යි. බොහෝ දෙනෙක් හැම ක්‍රියාවක් ම කරන්නේ ඒ සඳහා කිව්වොත් නිවැරැදියි. ඒ හැම ක්‍රියාවක් ම දුකක් බවට පත් වෙනවා. එසේ පත්වන්නේ, සුඛ වේදනාව නිත්‍ය ධර්මයක් නො වන නිසයි.

සිතේ ඇති වන හැඟීම් ද අනිත්‍යයට යනවා

ඒ වගේ ම සංඥා (සිතේ ඇති වන හැඟීම්) හැම වෙලාවේ ම හොඳයි හොඳයි කියා සිතෙන් සංඥාවක් ගෙන දෙනවා නම්, ඒ සංඥා තුළින් කෙනකුට දුකක් ගෙන දෙන්නේ නැහැ. නමුත් ඒ සංඥා අනිත්‍යයට යනවා. ඒ නිසා ම විවිධ සංඥා ඇති වෙනවා. ‘මොහු නරකයි; මොහු දුෂ්ටයි; මොහු හතුරා.’ ආදී විවිධ සිතිවිලි පහළ වෙන කොට සිතට දුකක් ජනිත වෙනවා. සංඥාවේ අනිත්‍යභාවය නිසා ඒ ආකාරයෙන් දුක් අත්දකින්නට සිදු වෙනවා.

ඒ වාගේ ම සිතේ නිරන්තරයෙන් ම සතුට ගෙනදෙන සිතිවිලිවලින් ම ඉන්න පුළුවන් නම්, සිතට කිසි ම දුකක් ගෙනදෙන්නේ නැහැ. නමුත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙලාවකට තරහ යනවා. තරහ ආපුවා ම, මහා දුකක් බවට පත් වෙනවා.

සමහර වෙලාවට අප මෛත්‍රී කරනවා, ‘අපේ තරහකාරයෝ, වෛරකාරයෝ සුවපත් වෙත්වා’ කියා. ඒ වෙලාවට සිතට සහනයක්, සැනසීමක් ලැබෙනවා. එක පාරට ම මේක අනික් පැත්තට කැරකෙන්න පුළුවන්. ‘මේ තරහකාරයාට මේ විදිහට අපරාධ සිදු වේවා! අපට මේ මේ දේ කළා’ කියලා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර සිතිවිලි ඇති වෙනවා. ඒකත් දුකක් බවට පත් වෙනවා. සිතේ ඇති වන සිතිවිලි නිරන්තරයෙන් වෙනස් වන නිසා, ඒ වෙනස් වන ස්වභාවය සිතමින් අනන්ත අප්‍රමාණ දුක්ගැහැට, කම්කටොළු සත්ත්වයාට අත්දකින්නට සිදුවෙනවා. ඒ නිසයි යද නිච්චං තං දුක්ඛං කියා වදාළේ.

එපමණක් නො වෙයි, තමන් ඇසුරු කරන අයගේ ස්වාමි පුරුෂයා වේවා, භාර්යාව වේවා, දූවරු, පුත්තු, නැත්නම් මව්පියන්, සහෝදර සහෝදරියන්, නෑදැයන් ආදී තැනැත්තන් හැම දා ම එක ම විදිහට පවතින අය නො වෙයි. අද ආදරයෙන් කතා කරනවා. හෙට වෙන කොට බණින තත්ත්වයට පත් වෙනවා. ආදරයෙන් සෙනෙහසින් කටයුතු කිරීම හැම විට ම පවතිනවා නම්, ස්ථිර වශයෙන් ම ඒ අය තුළත් දුකක් ජනිත වන්නේ නැහැ. නමුත් එහෙම නොවෙයි, ඒ තත්ත්වය හැම වෙලාවේ ම වෙනස් වන නිසා විවිධ දුක්වලට මුහුණ පාන්නට කෙනකුට සිදු වෙනවා.

සමහර විට අද තමාට ඇලුම් කරන පුතෙක්, දුවක් හෙට අනිද්දා වන විට, තමාගේ පරම හතුරෙක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්.

ඒ තත්ත්වයකට පරිවර්තනය වෙන කොට ම, කෙනකුට ඒ දුක අත්දකින්නට සිදු වෙනවා, මේ විදිහට අප ඇසුරු කරන අයගේ පංචස්කන්ධ වෙනස් වෙනවා.

රෝග පීඩා, කරදරවලට බඳුන් වෙනවා. ඒ නිසා තමාට ඒවාට ප්‍රතිකර්ම යොදන්නට සිදු වෙනවා. මේ ආදී විවිධාකාරයෙන් ඒ දුක්ගැහැට. කම්කටොළු විඳීන්නට සිදුවන්නේ, ඒ අය වෙනස් ස්වරූපයකට පත් වන නිසයි.

අජීවී දේවලුත් වෙනස් වෙනවා

ඒ වගේ ම තමයි, හොඳ යම් තාක් දේ නො කැඩී, නො බිඳී ස්ථාවර ව පවතිනවා නම්, කිසි ම දුකක් නැති ව ඉන්න පුළුවන්. එහෙම නොවෙයි. කැඩෙනව. බිඳෙනව. වෙනස් වෙනව. පරණ වෙනව. පරණ වෙන ඒවා අලුත් කරන්න ඕනෑ. කැඩෙන ඒවා අලුත්වැඩියා කරන්න ඕනෑ. නඩත්තු කරන්න ඕනෑ. මේ සියලු දුක් විඳීන්නට සිදුවන්නේ, අන් කිසිවක් නිසා නො වෙයි. වෙනස් වන නිසා. උදාහරණයක් ගෙන බලමු. ගෙවල් පිරිසිදු කළා කියලා එය හැමදා ම එහෙම ම තියෙනවා නම්, නැවත ඒ කර්තව්‍යයන් කරන්න සිදු වන්නේ නැහැ. නමුත් වෙනස් වන නිසා, හැම දවසෙ ම පිරිසිදු කරන්න සිදු වෙනවා. මේක ඒකාන්තයෙන් ම දුකක්. මේක සමහරුන්ට තේරුම් ගන්නට බෑ. ඒ නිසා යද නිච්චං ත දුක්ඛං කියන කාරණාව තේරුම් ගන්නට නො හැකි වෙනවා.

ස්වභාව ධර්මයත් වෙනස් වනවා

එපමණක් නො වෙයි. බාහිර ලෝකයේ තිබෙන ස්වභාවික ධර්ම පවා වෙනස් වීම නිසා, විවිධ දුක් ගැහැට, කම්කටොළුවලට මුහුණ දීමට සිදු වෙනවා. හැම දවසෙ ම වහින්නෙ නැතුව, හැම දවසෙ ම පායන්නෙ නැතුව නිසි කාලෙට වහිනවා නම්, නිසි වෙලාවට පායනවා නම්, උෂ්ණය නැතුව, තද සීතල නැතුව සම තත්ත්වයේ පවතිනවා නම් කෙනකුට ඒ තරම් දුක් ඇතිවන්නේ නැහැ.