නිවනින්
සැනසීම
ලබාදෙන පින්කම්
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
අප මේ ගෙවා අවසන් කළේ චීවර මාසය යි. ඒ කාලයේ දස දෙස හේවිසි හඩ, පෙරහර, බණ, පිරිත්
දේශනා, සාධු නාද රැව් පිළිරැව් දුන් අතර ශ්‍රද්ධාවෙන් පිරුණු සත් පුරුෂයන්ගේ සිත්
පිනින් පිරී ඉතිරි ගියහ.
පින්කම් කරන පිනැතියන්ගේ සිත් හි අරමුණු, අපේක්ෂා, ප්‍රාර්ථනා පවතියි. ජීවත් වන
කාලය තුළ සතුටින් දියුණු ජීවිතයක් ගත කිරීම, පරලොව ජීවිතය සතුට අස්වැසිල්ල,
සැනසිල්ල ඇති ව ජීවත් වීම හා මැරෙමින් ඉපදෙමින් නො නිමි භව සංසාර ගමනට නිමාවක්
තැබීම යි.
මේ අරමුණු අපට මව, පියා වෙනත් නෑයෙක් ඉටු කර නො දෙයි. මෙලොව දියුණුව ඇත්තේ අපගේ සිත
තුළයි. පරලොව වාසනාව සලසා ගත හැකි ශක්තිය පවතින්නේ ද සිත තුළයි. නිවන පවතින්නේත්
අපගේ සිත තුළයි. මේ නිසා සිත යහපත් කර ගත යුතුයි. පින් නැත. පව් නැත. මෙලොවක් නැත.
පරලොවක් නැත. දුන් දෙයෙහි විපාක නැත යන මිත්‍යාදෘෂ්ටි මතවාදයන් තුළින් සිත් පුරවා
ගතහොත් පාපයට යොමු වෙයි. කර්ම, කර්මඵල පිළිබඳ ව විශ්වාසය තබමින් රත්නත්‍රය කෙරෙහි
ප්‍රසාදය ගොඩනඟාගෙන පින්කම් කළ යුතු ය. එවිට සිත යහපත් වෙයි.
පින කියනුයේ සිත තුළ ඇති ලෝභ, ද්වේෂ, මෝහ කියන කසල ඉවත ලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන
කුසල ඇති කොට සිත පිරිසුදු කරන ක්‍රමවේදය යි. අප අවදානම් සහිත ජීවියක් ගත කරයි.
අවදානම් සහිත සසර ගමනක යයි. මේ ජීවිතය දිනෙන් දින දිරා යයි. මොහොතින් මොහොත වෙනස්
වෙයි. අවයව දුර්වල වෙයි. පින්කම් කළ හැකි ශක්තිය බිඳ වැටෙයි. ලෙඩ ඇඳට වැටෙන්නේ කවදා
දැයි කිව නොහැකි ය. කටු ගසා, බට ගසා, ලෙඩ ඇදට වැටුන කල පින්කම් කළ නොහැකි ය. අපගේ
මරණය කවදා කොතැනක දී කවර අයුරකින් සිදු වේ දැයි කිව නොහැක. මරණයට පත් වූ විට ද යළි
මිනිසත් බව ලැබුවොත් පින්කම් කළ හැකි ය. එසේ නො වුනොත් පින්කම් කළ නොහැකි ය. කළ
පවක් කරණකොට ගෙන ප්‍රේත ලෝකයක, තිරිසන් ලෝකයක, සතර අපායක ඉපදුණොත් පින්කම් කළ
නොහැක. කළ පිනක් නිසා දිව්‍ය ලෝකයක උපත ලැබුවොත් පව් නො කර දිගු කලක් සිටිය හැකි
වුවත් පින්කම් කළ නොහැක. එහෙයින් ලද අවස්ථාව තුළ පින්කම් කළ යුතුයි. පින්කම් කිරීම
අද නොවෙයි හෙට යැයි පමා නොකළ යුතුයි. පිනට කම්මැලි නොවිය යුතුයි. එසේ වීම තුළින්
පිනට ලැබෙන ප්‍රති විපාකය අඩු වෙයි.
පෙර ඒක සාටක නම් බමුණෙක් විසී ය. ගමනක් බිමනක් යද්දී ගැහැණු පිරිමි දෙපක්ෂය ම
සළුවක් දැරීම පෙර සිරිතකි. ඒක සාටක බමුණාටත්, එම බැමිණියටත් තිබුණේ එක සළුවකි. එක
සළුවක් ඇති නිසා කිසිදා දෙදෙනා එක විට බැහැර නො යයි. මෙකල මේ පෙදෙසට වැඩම වූ
බුදුරජාණන් වහන්සේ දහම් දෙසති. දෙදෙනාට ම එක විට යා නොහැකි නිසා බැමිණිය දහවල් කල
බණ අසන්නට යයි. බමුණා රාත්‍රී කල බණ අහන්නට යයි. මෙසේ බණ අසන්නට ගිය බමුණාට තම සළුව
බුදුරදුන්ට පූජා කරන්නට සිතුණි. එහෙත් දෙදෙනාට ම පවතින්නේ මේ එකම සළුව බැවින් එය
පූජා කළොත් දෙදෙනාට ම බැහැරට යා නොහැකි වෙයි. එහෙයින් ඒ සිතිවිල්ල වෙනස් කර ගනියි.
බණ කියන මධ්‍යම යාමයෙහි දී සිතුණි. ඒ අදහස ද පෙර සේ සිතා නතර කර ගනියි. අනතුරුව බණ
අවසාන වන කල ද ඔහුට මේ සිතිවිල්ල උපදියි. සිතිවිල්ල උපන් ඇසිල්ලෙහි බණ පිරිස්
මැදින් දිවගිය බමුණා ඒ සළුව බුදුරදුන්ගේ සිරිපතුල මත තබා පූජා කොට නැඟී සිට දෑත්
ඔසවා “මා දිනුවා, මා දිනුවා” යැයි මහ හඩින් කෑ ගැසී ය.
මේ ධර්ම ශාලාවෙහි කොසොල් මහ රජු ද බණ ඇසී ය. මොහු මා දිනුවා යැයි හඬ නගද්දී සැක
උපදවා චර පුරුෂයන් යවා ඔහු ගැන සොයා බැලී ය. එවිට දැන ගන්නට ලැබුණේ තම සිත සමඟ කළ
සටනින් තමා දිනූ නිසා බව දැන ගනියි. ඔහු ගැන පැහැදුන රජු රාජ භාණ්ඩාගාරයෙන් ඔහුට
සළු දෙකක් දෙයි. බමුණා ඒ සළු දෙක ද පූජා කරයි. අනතුරුව පිළිවෙලින් සළු හතරක්, අටක්,
දහසයක් වශයෙන් ලබා දෙයි. ඒ ලබා දුන් අවස්ථාවේ දී ම ඔහු ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට
පූජා කරයි. අනතුරුව සළු තිස් දෙකක් ලබා දෙයි. ඔහු එයින් දෙකක් තබා ගෙන ඉතිරි තිහ
පූජා කරයි. බමුණා ගැන පැහැදුන රජු බමුණා මාළිගයට කැඳවා එක් පළසක් ලක්ෂයක් වන පළස්
දෙකක් ලබා දුණි. ඔහු ඒ පළස් දෙකත් බුදුරදුන්ට පූජා කළහ.
නැවත බණ අහන්නට යන රජු එය දකියි. මේ බමුණා පූජා කළ බව දැනගත් රජු නැවත බමුණා රජ
මාලිගයට කැඳවා ගම්වර හතරක්, ඇතුන් හතරක්, අසුන් හතරක් ඒ ඒ කාර්යයට දැසි දසුන් හතර
බැගින් ද, රන්කහවනු හාර දහසක් ද, ලබා දුන්නේ ය. එක් රැයකින් බමුණා සිටුවරයකු විය.
මේ ආශ්චර්යය භික්ෂූන් වහන්සේ කතා කරති. එතැනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගේ
කථාබහ දැන මේ සංඛ්‍යාව හතර බැගින් වූවේ අවසාන අවස්ථාවේ පූජා කළ නිසා බවත්, මධ්‍යම
අවස්ථාවේ පූජා කළේ නම් සංඛ්‍යාව අට වන බවත්, සිතුන අවස්ථාවේ ම පූජා කළා නම්
සංඛ්‍යාව දහසය වන බවත් දේශනා කළහ. මෙයින් ගෙනෙන ආදර්ශය පින්කමක් කරන්නට අවස්ථාව ලද
විට ම එය කළොත් එහි ප්‍රතිවිපාකය විශාල වන බවයි.
කය, වචනය, සිත යන තිදොරින් කරන, කියන, සිතන යහපත් දේ පින් නම් වේ. පින වන්නේ තමන්ට
සතුටු විය හැකි, අනුන්ට සතුටු විය හැකි, තමන්ටත් අනුන්ටත් සතුටු විය හැකි. සතුටින්
කළ හැකි, සතුටින් ප්‍රතිඵලය ලද හැකි දේ පින් නම් වෙයි. අපගේ ජීවිතය තුළ අපගේ
අවශ්‍යතා මත වෙනස් නොවන, වෙනස් කළ නොහැකි ධර්මතා වෙයි. ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය,
අස්ථිර බව හා කර්මය එම ධර්මතා වෙයි. මින් කර්මය අපගේ දායාදය වෙයි. නෑයා වෙයි.
පිළිසරණ පිහිට වෙයි. යහපත් කර්මයක් කළ විට යහපත් ප්‍රතිඵල ලැබෙයි. එවන් යහපත් කර්ම
පින්කම් ය.
මල්මාලා තනන මාලාකරයා විවිධ හැඩයේ, ප්‍රමාණයේ, පැහැයේ, සුවඳෙන් යුතු මල් ගෙන
ප්‍රියමනාප මල් මාලයක් තනයි. මල් මාලය තනන්නේ පළඳින්නයි. ඒ තුළින් ප්‍රියභාවය,
අලංකාරය, අභිමානය ගොඩනඟයි. වර්තමානය තුළ මල්මාලා පැළඳීම නො තිබුණ ද රන්මාල,
මුතුමාල, මිණිමාල පළඳියි. මේ මාල ප්‍රිය බව, අලංකාරය, අභිමානය ලබා දෙන්නේ මේ භවය
තුළ පමණි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාල නොව පින් මාලයක් තනා පැළඳ ගන්නා
ලෙසයි. එවිට එහි ප්‍රියමනාප බව, අලංකාරය, අභිමානය, පරලොව මෙන්ම මෙලොවදීත් අපට
ප්‍රිය බව, අලංකාරය, සුරක්ෂිතතාව හා අභිමානය ලබා දෙයි. මෙවන් පින්කම් කළ යුතු බව
බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති.
එනිසා නිවනින් සැනසිය හැකි පින්කම් කරමු.ස්ව කැමැත්තෙන් ම නිතර නිතර පින්කම් කරමින්
මෙලොව පරලොව සතුට ලබා දෙන, නිවනින් සැනසීම ලබා දෙන පින්කම් කිරීමට අධිෂ්ඨානයක් ඇති
කර ගනිමු. |