Print this Article


පංචබල ධර්ම

පංචබල ධර්ම

අප සරණ ගිය අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළා. එලෙසම නිවන අවබෝධ කර ගැනීමට කැමැති ශ්‍රාවකයා සත්තිෂ් බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කළ යුතු බව ද දේශනා කොට වදාළ සේක. සත්තිෂ් බෝධිපාක්ෂික ධර්මයට අයත් පංචබල ධර්ම ගැන මෙසෙ විමසා ගනිමු.

පංචබල ධර්මයෝ නම් පංචබල යනු ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය යි. මේ පංච බල ධර්මයන් ප්‍රගුණ කිරීම ක්‍රමයෙන් නිවන පිණිස ම නැමී පවතින ආකාරය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ සරණගිය ශ්‍රාවකයා මෙම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය ධර්ම තුළ පිහිටා සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේ විභංග සූත්‍රයේ දී පෙන්වා දී ඇත.

සද්ධා බලය

ලෝභාදි කෙලෙසුන්ට නො සල්විය හැකි පමණට, කෙලෙස් පීඩනය ඉවසිය හැකි පමණට, කෙලෙසුන් පැරදවිය හැකි නැසිය හැකි පමණට වූ බුද්ධාදි රත්නය කෙරෙහි ඇති විශ්වාසය සද්ධා බලය යි.

වීර්ය බලය

ලෝභාදි කෙලෙසුන්ට හැකි පමණට කෙලෙස් පීඩනය ඉවසිය හැකි පමණට කෙලෙසුන් පැරදවිය හැකි නැසිය හැකි පමණට ශක්තිමත් වූ වීර්ය වීර්ය බලය යි.

සති බලය

ලෝභාදි කෙලෙසුන්ට නොසල් විය හැකි පමණට, කෙලෙස් පීඩනය ඉවසිය හැකි පමණට, කෙලෙසුන් පැරදවිය හැකි, නැසිය හැකි, පැවැත්විය හැකි එළඹ සිටි සිහිය හෙවත් සතිය (සතර සති පට්ඨානයේ පිහිටීම) සති බලය යි.

සමාධි බලය

ලෝභාදි කෙළෙසුන්ට නොසල්විය හැකි පමණට, කෙලෙස් පීඩනය ඉවසිය හැකි පමණට, කෙලෙසුන් පැරදවිය හැකි නැසිය හැකි පමණට ශක්තිමත් වූ සිතේ එකඟ බව හෙවත් සමාධිය සමාධි බලය යි.

පඤ්ඤා බලය

ලෝභාදි කෙලෙසුන්ට නොසල්විය හැකි පමණට, කෙළෙස් පීඩනය ඉවසිය හැකි පමණට, කෙලෙස් පැරැදවිය හැකි නැසිය හැකි පමණට වැඩූ ප්‍රඥාව ප්‍රඥා බලය යි.