Print this Article


දිවි මඟ දිනීමට නිවැරැදි උපාය

දිවි මඟ දිනීමට නිවැරැදි උපාය

උට්ඨාන සම්පදාව හෙවත් උත්සාහය ජීවිතයකට අත්‍යවශ්‍ය ම අංගයකි. උත්සාහයෙන් තොර පුද්ගලයාට දියුණු විය නොහැකි ය. ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේ දී ඒ ගැන පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ අංග සතරක් යටතේ උත්සාහය ගොඩනඟා ගත යුතු බව පෙන්වා දුන්හ.

දක්ෂයකුවීම, අලස නොවීම, උපායෙන් හා විමසීමෙන් ක්‍රියා කිරීම යම් කාර්යයක් සිදු කිරීමටත්, සංවිධානය කිරීමටත් දක්ෂවීම එම අංග සතරයි.

කිසියම් කාර්යයක් සඵල කර ගැනීමට නම්, ඒ පිළිබඳ දක්ෂකමක් තිබිය යුතු ම ය. කෘෂි කර්මාන්තය, වෙළෙඳාම, රාජ්‍ය සේවය යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳ ව දක්ෂ විය යුතු ය. දක්ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොට ගෙන ය. ලෝකයේ ඇතැම්හු උප්පත්තියෙන් ම යම් යම් දෙයට දක්ෂ වෙති. සංසාර පුරුද්ද එයට හේතුවයි. එසේ නොමැති වුවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයාට අවශ්‍ය ඒ ඒ ක්‍රියාවන් කෙරෙහි දක්ෂකමක් ඇති කරගත හැකි ය.

අනලස් බව හෙවත් කම්මැළි නොවීම ද උත්සාහය ගොඩනඟා ගැනීමේ දී අත්‍යාවශ්‍ය ම දෙයකි. දැන් ඉතා ශීතය, ඉතා උෂ්ණ ය, දැන් සවස් ය, දැන් උදේ ය, ඉතා කුසගිනි ය දැන් කුස පිරුණේ ය යැයි සිතමින් වැඩ නො කරන්නා ගේ ධනය පිරිහෙයි. අමුතු ධනයක් උත්පාදනය නොවෙයි. උපායෙන් හා විමසීමෙන් යුක්තවීම ද උත්සාහයේ දී අවශ්‍ය තවත් අංගයකි. මෙලොව දියුණුවට අවශ්‍ය ගොවිතැන්, වෙළෙඳාම් ආදී දේ දියුණු කර ගැනීමට උපායෙහි දක්ෂ බව තිබිය යුතු ය. වැරැදි උපාය සහ නිවැරැදි උපාය යනුවෙන් උපාය මාර්ග දෙකක් තිබේ. මෙයින් අනුන්ට පීඩා පමුණුවන වැරැදි උපාය මාර්ගයන් සහමුලින් ම බැහැර කළ යුතු ය. නිවැරැදි උපායමාර්ග පමණක් භාවිතයට ගත යුතු ය. කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි , බුදුරදුන් වදාළේ නිවැරැදි උපාය මාර්ගය මුල් කරගෙන ය. එනම් තමා පත්ව ඇති තත්ත්වය තමාට ම තේරුම් ගැන්මට ඉඩකඩ සැලසීමයි.

ලෞකික රාජ සම්පත් සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කොට බුද්ධත්වයට පත්වූ බුදුරදුන් පිටුපස රාහුල කුමරු දායාද ඉල්ලා පිටත්කොට හැරියේ, උන්වහන්සේ ලත් පරම සුවය ඔහුට ද ලබාදීමේ අපේ්ක්ෂාවෙනි. යශෝධරා දේවිය බුදුරදුන්හට ලෞකික වශයෙන් දිය හැකි දායාද කිසිවක් නොමැති බව පැහැදිලිව ම දන්නීය. සිය පුත් කුමරු ද ලෝකෝත්තර මාර්ගයට ඇතුළත් කිරීම සඳහා යශෝධරා දේවිය යෙදූ නිවැරැදි උපායක් ලෙස පුත් කුමරු දායාද ඉල්ලා පිටුපස යැවීම දැක්විය හැකි ය.

උපාය සමඟ විමසා බලා කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය ය. නො විමසා, නොසිතා කටයුතු කරන්නා දියුණු නො වන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. කල්පනා ශක්තිය යෙදවීමක් නැතිව අවිචාරවත් ලෙස ක්‍රියා කරන්නා දෙලොවින් ම පිරිහෙයි. එය පැවිදි වුවහොත් මාර්ගඵල ලැබීමටත්, නිසි සේ ගිහි ජීවිතය ගත කළේ නම් මහසිටුවීමටත් වාසනාව තිබිය දී නො නිසි ලෙස ක්‍රියා කොට සිඟන්නකු බවට පත් වූ රජගහනුවර සිටාණන්ගේ කතාවෙන් පැහැදිලි වේ. විමසීමෙන් හා උපායෙහි දක්ෂ ව ක්‍රියා කරන්නා ඉතා සුළු දෙයකින් පවා දියුණූු වන අයුරු මළ මී කුණක් විකුණා සිටුවරයකු වූ පුද්ගලයකු ගැන කියැවෙන චුල්ලසෙට්ඨි කතා පුවතින් විග්‍රහ කෙරේ. එම සිද්ධිය ම ඇසුරු කොට කුඩා ගිනි පුපුරකින් මහා ගින්නක් මොලවන්නා සේ ඉතා කුඩා දෙයකින් විශාල ධනයක් උපයාගත හැකි යැයි, බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ කළයුත්තේ අනුන් තළා පෙළා හිංසා පීඩා කොට, අධාර්මික ලෙසින් නොවේ. ධාර්මිකව යෙදූ උපාය ශක්තියෙන් හා විමසීමේ නුවණිනි.

එසේම කිනම් කාර්යයකට වුවද පිළිවෙළක්, සංවිධානයක් තිබිය යුතු ම ය. අසංවිධානාත්මක ව සිදුකරන දේ සාර්ථක නොවේ. ජීවිතයේ දෛනික කටයුතු සියල්ලක් ද සංවිධානාත්මක ව කළ යුතු ය. දින සටහනක්, කාලසටහනක් අවශ්‍ය වන්නේ එබැවිනි. බුදුරදුන් පවා එදිනෙදා කටයුතු සිදු කළේ දින චර්යාවකට අනුව ය. එබැවින් කිසියම් කාර්යයක් සපල කර ගැනීමට නම් සංවිධානශීලි බව ද මැනවින් අත්‍යවශ්‍ය ය.