Print this Article


පිරිවෙන් අධ්‍යාපනයට අලුත් මාවතක්

පිරිවෙන් අධ්‍යාපනයට අලුත් මාවතක්

රටක අනාගතය තීරණය වන්නේ අධ්‍යාපනය මතයි. මේ නිසා ලෝකයේ සෑම රටක ම

අධ්‍යාපනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනිසා ම සෑම රටක් ම ස්වකීය අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරමින් නිතර ම කාලානුරූපී ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත යොමු වේ.

ශ්‍රී ලංකාවේ ද වසර අටකට වරක් සාමාන්‍යයෙන් විෂය නිර්දේශ වෙනස් කිරීම සිදු කරයි. කලානුරූපී ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරයි. එහෙත් පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය, ආර්ථික දුෂ්කරතා වැනි හේතු නිසා එය සිදු වූයේ නැත.

එහෙත් වර්තමානය වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රටේ ම කථිකාවතක් ඇති වී තිබේ. ඒ පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව යි. එහෙත් ජාතික අධ්‍යාපනයේ මහගෙදර වූ පිරිවෙන තුළ සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජය දැනුම්වත් වී තිබේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. එනිසා පිරිවෙනේ අධ්‍යාපනය යනු කුමක් ද? එහි ඉතිහාසය, වර්තමානය සහ අනාගතය පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

භික්ෂු අධ්‍යාපනය මූලික කරගත් පිරිවෙන් අධ්‍යාපනය වර්ෂ 2250කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි. බුදුරජාණන් වහන්සේ දවස ආරම්භ වූ භික්ෂු අධ්‍යාපනය ක්‍රි.පු. 06 වන සියවස තරම් ඈතට දිව යයි. ශ්‍රී ලාංකේය පිරිවෙන් අධ්‍යාපන ඉතිහාසය මිහිඳු මහරහතන් වහන්සේ දවස දක්වා ගමන් කරයි. මෙහි ආරම්භය සනිටුහන් වන්නේ අනුරාධපුර කාලප්පසාද පිරිවෙනෙනි. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අතීතයේ සිට මෙරට සිංහල බෞද්ධ ජන ජීවිතය කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.

පිරිවෙන භික්ෂු අධ්‍යාපනය අරමුණු කරගත්තක් වුව ද එහි ගිහි දරුවන්ට ද ඉගෙනීමේ අවස්ථාව ලබා දී ඇත. අද පාසලේ අධ්‍යාපනය ලෙසින් මිෂනාරී අධ්‍යාපනය ආරම්භ වීමට පෙර ලක්දිව සියලු දෙනා අධ්‍යාපනය ලැබුවේ පිරිවෙන මූලික කරගෙන වීම බොහෝ දෙනාට අද අමතක වී ඇත.

මුල් කාලයේ දී පිරිවෙන් අධ්‍යාපනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම් කොට ගෙන ආරම්භ වූ බව පෙනේ. භික්ෂු සංඝයාගේ ජීවන රටාව සංවිධානය කිරීම උදෙසා දෙසන ලද ධර්මය සුරක්ෂිත බව ව්‍යාප්තිය හා පරමාදර්ශ ගොඩනැඟීමේ අරමුණෙන් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වී ඇත. එය පර්යාප්ති, පටිපත්ති පටිවේද යන ත්‍රිවිධ ශාසනයේ පැවැත්ම අරමුණු කොටගෙන සකස් වූවකි. ’පාරිවෙන’ නමින් පාලියෙන් හැඳීන්වෙන පිරිවෙණ පිළිබඳ තොරතුරු බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත විශුද්ධි මග්ගයේ ද දැක ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ආරම්භය ගැන කතා කිරීමේ දී අනුරාධපුර යුගයේ දිග්සඳ සෙනවියා විසින් ආරම්භ කරන ලද දීඝසන්ද ප්‍රසාද නම් පිරිවෙනක් අපට හමුවෙයි. මේ යුගයේ දී අනුරාධපුර පැවැති අධ්‍යාපන මධ්‍යස්ථාන තුනකි. එනම් මහා විහාරය, අභයගිරිය සහ ජේතවන විහාරය යි. මුලින් ම මහා විහාරය අරම්භ වූ අතර, පසුව අභයගිරියත්, ඉන්පසුව ජේතවන විහාරයත් ආරම්භ වෙයි. මහා විහාරය ලෝකෝත්තර මාර්ගය පදනම් කරගෙන අධ්‍යාපනය ලබා දුන් අතර අභයගිරිය ලෞකික විෂයයන් ද සිය විෂය නිර්දේශයට ඇතුළත් කරගෙන ගිහි පැවිදි සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කෙළේ ය.

එදා ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදේශීය ශිෂ්‍යයන් ද අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් ලෙස මෙම අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක විය.

පසුකාලීන ව මධ්‍ය අනුරාධපුර යුගයේ පස් වැනි අග්බෝ (ක්‍රි. ව. 718 - 724) රජතුමාගේ කාලය වන විට පිරිවෙන් ආයතන හතක් පැවැති බව පූජාවලියේ සඳහන් ය. ඒවා නම්

උතුරුමුළ පිරිවෙණ, කපුගම් පිරිවෙණ, අලගිරි පිරිවෙන, සත්නැලිය පිරිවෙන,

වාදුමුළ පිරිවෙණ, දෙමටමලේ පිරිවෙන, උතුරු පිරිවෙන යි.

චූලවංශයට අනුව පොලොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජතුමාගේ කාලයේ දී ආලාහන පිරිවෙන මෙන් ම ‘අෂ්ටමූලායතන’ පැවැති බව සඳහන් ය. එනම්

උත්තරෝළ්හ ආයතනය (උතුරු මුළ පිරිවෙන), මහානෙත්තපාසාද ආයතන (මහෙනත්පා මුළ පිරිවෙන) ,කප්පූර - මූල ආයතනය (කපාර මූළ පිරිවෙන), වාහකදීපක ආයතන (වහදු මූළ පිරිවෙන), දක්ඛිණ මූළ ආයතනය (දකුණු මුළ පිරිවෙන), සේලත්තර මූල ආයතනය (ගලතුරු මුළ පිරිවෙන), සරෝගාම මූළ ආයතනය (විලේගම් මුළ පිරිවෙන), සේනාපති මූළ ආයතනය (සෙනෙවිරත් මූළ පිරිවෙන) යනු එම පිරිවෙන් අධ්‍යාපන ආයතන වේ.

මේවා පිරිවෙන යන නමින් හඳුන්වා නැති අතර මූළායතන නමින් හඳුන්වා ඇත. බෞද්ධ අධ්‍යාපනය මූලික කරගත් මෙම පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගිහි පැවිදි උභය දෙපිරිස ම අධ්‍යාපනය හදාළහ.