Print this Article


ශාසන යුග මෙහෙවරක අමරණීය නායකත්වය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණෝ

ශාසන යුග මෙහෙවරක අමරණීය නායකත්වය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණෝ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක් සිදුකළ සිව් හෙළයේ නාමය ලොව පතළ කළ අභීත සංඝ පීතෘවර ආචාර්ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ යුග මෙහෙවරෙහි මතක බණ වරයක් ලෙස මෙම ලිපිය සනිටුහන් කරමි.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති, මා ගුරුදේවෝත්තම මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ චරිතය පිළිබඳ ව විස්තර කිරීමට ලැබීම ම මා හට අභියෝගයකි. යුග ගණනාවක සිදු කළා වූ ශාසනික මෙහෙවර ශ්‍රී ලාංකේය සසුනඹරෙහි මෙන් ම ලෝකයේ ද භික්ෂුරාවය ගෙනදුන් උත්තුංග චරිතයක් වශයෙන් ආචාර්ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් සුවිශේෂ යතිවර සලකුණකි.

1955 වර්ෂයේ දී පැවිදි බිමට පත් වූ ආචාර්ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා 1963 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. එහිදී උන්වහන්සේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගත්තේ ඉතා අපහසුම යුගයක් පසු කරමිනි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සටන්වල දී උන්වහන්සේ පෙරමුණ ගත්හ. ඒ නිසාවෙන් ම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට ද තේරී පත් වූහ.

මේ සෑම දෙයක ම නායකත්වය හමුවේ පැවිදිකමත්, ශාසනික මෙහෙවරත් සමබරව තබා ගනිමින් කුදුමහත් සියලු කාර්යයන් සොයා බලා සිදු කරමින් උන්වහන්සේගේ නායකත්වය සෑම විටම ලබා දීමට කටයුතු කළහ.

ආචාර්ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ නිල නො ලත් විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නට උන්වහන්සේට සිදු විය. ඉන්පසුව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විවිධ වූ ශාසනික කටයුතු සිදු කරමින් සංවර්ධන කටයුතු සිදු කරමින් විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරයක් ලෙස සැදැහැවතුන්ට වන්දනාමාන කරන්නට අවැසි පරිසරය සකස් කළහ. විහාරස්ථානය සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරෙන ස්ථානයක් බවට පත් වූයේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ ධර්ම කථිකත්වය නිසාවෙනි.

ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් රටේ සෑම ප්‍රදේශයකට ම වැඩම කරමින් උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළහ. කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථාන නාමයත් උන්වහන්සේගේ ධර්ම කථිකත්වය හේතුවෙන් මිනිසුන්ගේ මුවෙහි රඳවාලීමට හැකියාව සැලසිණි. දෙස් විදෙස් වෙසෙන බෞද්ධයන් පවා උන්වහන්සේගේ ධර්ම කථිකත්වයට ඇදී ආවේ ගලන ගඟක් ලෙසිනි. උන්වහන්සේගේ දක්ෂතාව හේතුවෙන් විහාරස්ථානය ද සිරිලක ප්‍රධාන විහාරස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ වීමට ද එය හේතු වී ඇත.

ජනපි‍්‍රය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ද වේගවත් දක්ෂ ධර්ම කථිකයකු වශයෙන් ද, ජාතික සටනේ පුරෝගාමී භික්ෂූවක් වශයෙන් ද, සමාජ සේවයට ලැදි හිමි නමක් වශයෙන් ද, පි‍්‍රයශීලී භික්ෂුවක් වශයෙන් ද, සැමතැනක දී ම නිදහස් මතධාරී භික්ෂුවක් වශයෙන් ද, සාර්ථක ගුරුවරයකු වශයෙන් ද, පරිවේණාධිපති හිමි නමක් වශයෙන් ද ආචාර්ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උත්තුංග මෙහෙවරක් සිදුකළ විසිරී පැතිරී ගිය ගෞරවනීය භික්ෂු චරිතයකි.

සෝභිත නා හිමිපාණන් වහන්සේගේ එකී යුග මෙහෙවර අනුස්මරණය කරමින් උන්වහන්සේගේ අපට ඉගැන්වූ ඒ උත්තුංග භික්ෂු භූමිකාව ඉදිරියට රැගෙන යාමට සෑම විට ම උත්සහ දරමි.

අපවත් වී වදාළ අති ගෞරවනීය ගුරුදේවෝත්තම ආචාර්ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේට සියලු දුකින් අතමිදී ලබන පරම ශාන්ත අතිඋතුම් අමාමහ නිවනින් සැනසීමට හේතුවාසනා වේවා.