දුගඳ හමන පවිටු ඇසුර
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
නො හඳුනන අයකු තමන් ජීවත් වන නිවෙස ඉදිරියට ආ විට එහි සිටින සුනඛයා බුරාගෙන ගොස්
සමහරවිට ඉදිරියට පැන අර ආගන්තුක පුද්ගලයාට සපා කෑමට සූදානම් වුවහොත් ඒ අවට සිටින
අනෙකුත් සුනඛයෝත් ඊට අනුගත වෙලා ඉදිරියට බුරාගෙන පනිනවා.
මේ, ඒ ඒ සතුන් ඔවුන්ගේ සෙසු සාමාජිකයන් එක්ක ඇති කර ගන්නා ඇසුර අනුව බහුල බවට පත්
කර ගන්නා ගති ලක්ෂණයි. ඉතින් සමාජයේ ජීවත්වන මිනිසා කියන අපූරු සත්වයාටත් ඒ ධර්මතාව
උරුම වෙනවා. හැබැයි මෙහි විශේෂයක් තිබෙනවා. මිනිස් සත්වයාට වෙනත් ජීවීන්ට නැති
උරුමයක් තමා සිතා මතා ක්‍රියා කර තීන්දු තීරණ ගැනීමේ හැකියාව. ඉතින් එයට තමා මිනිස්
සත්වයාට උසස් මනසක් උරුම වී තිබෙන්නේ. මේ මනස ඉහළ තත්ත්වයට පත් කර ගැනීමට තමා
සාරවත් අත්දැකීම් සහිත සැබෑ උගත්කම් අප විසින් ලබා ගත යුතු වන්නේ. එය එක පැත්තකින්
අධ්‍යාපනය කියලත් කියන්නට පුළුවන්. ඒ වුණත් ඒ අධ්‍යාපනය කියන මේ වචනයෙන් අද අපි
අදහස් කරන අර්ථය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ අර්ථයක් එහි ගැබ් වී තිබෙන බව තෙරුම් ගත යුතු
ව පවතිනවා.
මිනිස් මනස උසස් තත්ත්වයට පත් කර ගැනුමට අදාළ වන ප්‍රබල ම කරුණ වන්නේ සත්පුරුෂ,
නැතිනම් කල්‍යාණ මිත්‍ර ඇසුරයි. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දී පෙන්වා දෙන
ප්‍රධාන මංගල කරුණ වන්නේ අඳ බාල ඇසුරෙන් ඈත් වීමත්, අසෙවනා ච බාලානං, නුවණැති
කල්‍යාණ මිත්‍ර සේවනයෙන් යුක්ත වීමත්. පණ්ඩිතානං ච සෙවනා යන්නෙන් පෙන්වා දී ඇත්තේත්
මේ කරුණ යි. එය පුද්ගලයාගේ මෙලොව, පරලොව දෙලොව ම දියුණුවට හේතුවන කරුණක් ලෙස යි
පෙන්වා දී ඇත්තේ. හැමවිට ම උපතින් ම ප්‍රභාස්වර මෙම මනස උසස් තත්ත්වයට පත් කර
ගැනුමට අවශ්‍ය කරන තවත් බොහෝ දේ ඇති බව බෞදධයන් වශයෙන් අප තේරුම් ගත යුතු වෙනවා.
කල්‍යාණ මිත්‍ර සේවනය වගේ ම මනස තවදුරටත් උසස් අත්දැකීම් සහිත බහුශ්‍රැත බව ඇති
කරන, දැනුම දියුණු කර ගැනීමට යහපත් දැනුම් සම්භාරයක් තම ජීවිතයට එකතු කර ගැනීම.
මෙයට ධර්මයේ සඳහන් කරන වචනය වන්නේ ‘සද්ධම්ම සවණං’ එයින් අදහස් කර තිබෙන්නේ බණ ඇසීම
යන සරල අරුතට වඩා එහාට ගිය, ජීවිතය නිවැරැදි අතට යොමු කර ගැනීමට අවශ්‍ය කරන පූර්ණ
අධ්‍යාපනයක්. එහෙම නැතිනම් අත්දැකීම් සහිත තත්වයකට පත් වීමක්. එවැනි තත්වයකට පත් වූ
පුද්ගලයා සැබැවින් ම නුවණින් යුක්ත ව, බුදුදහමේ සඳහන් වන ආකාරයට ජීවිතයේ හැම
තත්පරයක් ම මනාව පිහිටුවා ගත් සිහියෙන් යුක්ත ව අප්‍රමාද ව, අනලස් ව (යොනිසො
මනසිකාරො) ක්‍රියා කරනවා. මේ තත්වයට පත් වූ අයෙක් වුවහොත් ඊ ළඟ පියවරටත් ඒකාන්ත
වශයෙන් පත් වෙනවා. එනම් තමන් ඒ ලබාගත් අත්දැකීම් සම්භාරය නිසා ම ජීවිතය ජය ගත් අයකු
බවට නො පමාව (ධම්මානුධම්මපටිපත්ති) පත් වීමයි. වේ අවසාන විජයග්‍රාහි ඉලක්කය සපුරා
ගත් අවස්ථාවයි.
මව්පියන් වශයෙන් අප ඇසුරේ හැදෙන වැඩෙන දරුවන් පිළිබඳ අප වඩාත් විමසිලිමත් ව අප
භාවිත කරන වචන, ක්‍රියාකාරකම්, ඇවතුම් පැවතුම්, චාරිත්‍ර වාරිත්‍ර ආදි හැම දෙයක දී
ම වඩාත් ආදර්ශවත් ව ක්‍රියා කිරිම අවශ්‍ය වනවා. එමඟින් අප ඇසුරේ හැදෙන දරුවා යහපත්
අයකු බවට පත් කෙරෙන මූලික පදනම ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.
එහෙම වුණත් කෙතරම් දුරට දරුවා යහපත් මව්පිය ඇසුරක් ඇතිව සහෝදර සහෝදරියන් ඇතුළු
පරිසරය තුළත්, ඉන් අනතුරුව පාසල් හා බාහිර සමාජය තුළත් නිවැරැදි ගුරු ඇසුරක් හා
විනය පාලනයක් ඇතිව හැදුණත්, වැඩුණත් මේ හැම අවස්ථාවක ම මේ මනාව සකස් වෙමින් ආ යහපත්
අත්දැකම් අඩු මිනිස් සත්වයා විනාශ මුඛයට ඇද දැමීමට මාන බලන විවිධ බලවේග අද වෙන
කවරදාටත් වඩා දැඩි ව ක්‍රියාත්මක වෙනවා. එයට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ අද
බහුල වශයෙන් ක්‍රියාත්මක වන පාලනයකින් තොර ව සංසරණය වන විවිධ සමාජ මාධ්‍ය ජාලයන්.
නිවැරැදි මාවතක, යහමඟ ගමන් කරන තරුණ පිරිස් සුළු කාල පරාසයක් තුළ මහත් අගාධයකට ඇද
දමන බලවේගත් ක්‍රියාත්මක වෙනවා. එවැනි බලවේගවලට යට නොවී යහපත් මානසික තත්වයක් ඇති
වන ආකාරයෙන් තරුණ මනස ප්‍රබුද්ධ ව පවත්වා ගැනීම හැමවිට ම වැදගත්. ඊට ශක්තිය වන්නේ
හැමවිට ම හැදෙන වැඩෙන දරුවා අහිතකර බලවේගවලින් මුදවා ගැනීමට ක්‍රියා කිරීම යි. මේ
සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය යි.
බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි ආනන්ද හාමුදුරුවෝ දවසක් දා උන්වහන්සේගෙන්
ප්‍රශ්නයක් අසා සිටිනවා “ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ විසින් දේශනා කර
වදාළ විමුක්ති මාර්ගය සාධනය
කර ගැනීමට අඩක් ම බලපාන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර නේද?” කියලා.
එහි දී උන්වහන්සේ පෙන්වා දෙනවා අඩක් නොවෙයි ආනන්ද, මේ සම්බුදු දහම ම මුල්බැස
තිබෙන්නේ කල්‍යාණ මිත්‍ර නැතිනම් සත්පුරුෂයාගේ ඇසුර නිසා” කියලා.
මේ පිළිබඳ ව අවධානයට ගත යුතු ඉතා ලස්සන උපමාවක් මඟින් අපේ බුදුරජාණන් වහන්සේ
දේවදත්ත හාමුදුරුවන්ගේ සාපරාධී ක්‍රියා නිසා මුළු මහත් සමාජයට එදා ඇති වූ මහා විපත
පැහැදිලි කරපු දේශනාවක් අපට මෙහි දී වැදගත් වෙනවා.
ඉතිවුත්තක පාළි නම් ඛුද්දක නිකායට අයත් සුඛපත්ථනා සූත්‍රයෙහි එනවා මෙවැනි
ප්‍රකාශයක්. එයින් කියැවෙන්නේ කුණු වී ගිය, දුගඳ හමන මාලුවකු කුසතණ අගකින් ඔසවා
තබනවා ද, ඒ ආකාරයෙන් ම ඒ කුසතණ අග ස්පර්ශ වූ පමණින් එම තණ අග ද කුණුමස් ගඳ වහනය කරන
පිළිකුල් සහගත තත්ත්වයට පත් වෙනවා. ඒ වගේ ම තමා අඳබාල, අනුවණ, අසත්පුරුෂ පාප
මිත්‍රයන්ගේ ඇසුරට වැටීමෙන් නිවැරැදි ජීවිත ගත කරන අය ද පිළිකුල් සහගත තත්ත්වයන්ට
පත් වී සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා මෙලොවත් පිරිහෙනවා. මෙලොව සිදු කරන ලද පාප
ක්‍රියා නිසා විවිධ දුක් කම්කටොලුවලට භාජනය වී දෙලොව ම දුකට පත් වෙනවා කියලා.
සත්තිගුම්බ ජාතකයෙහි ත් මෙය මේ ආකාරයෙන් ම විස්තර වෙනවා. දේවදත්තයන් හා අජාසත්ත යන
දෙදෙනා ම පරලොව අදත් අවීචි මහ නරකයෙහි දුක් කන්දරාවක් විඳීන්නේ මේ පාපමිත්‍ර සේවනය
දෙදෙනාට ම එකම ආකාරයෙන් විපාක දීමෙන්. දේවදත්ත තම මිත්‍ර අජාසත්තට උපදෙස් දුන්නේ ඔබ
පියා වූ බිම්බිසාර රජු මරා රජකම ගන්න. මම බුදුරදුන් මරා බුදුපදවිය ගන්නම්” යනුවෙන්.
එසේ දුන් උපදේශය නිසා අජාසත්ත රජතුමා තම පියරජ වූ බිම්බිසාර රජු උපක්‍රමශී ව මරා
පිතුඝාතන ආනන්තරිය පාප කර්මය කර ගත් නිසා ම අද අවීචි මහ නරකයෙහි දුක් විඳීනවා. ඒ
වගේ ම තමා දේවදත්ත බුදුරදුන් හිස මතට ගිජුකුළු පව්ව මුදුනේ සිට ගලක් පෙරලා
බුදුරදුන් ඝාතනය කරන්නට ක්‍රියා කළා. ඒ මහ ගලෙන් බිඳීගිය ගල්පතුරක් උන්වහන්සේගේ
මාපට ඇඟිල්ලේ වැදී බුදු සිරුරට තුවාල කිරීමේ ආනන්තරිය පාප කර්මයෙන් අදත් අවීචි මහ
අපායෙහි පැහෙනවා. මේ පාප මිත්‍ර සේවනය දෙදෙනාට ම විපාක දුන් අයුරු යි.
මේ නිමිති කර සත්තිගුම්බ ජාතකයෙහි කියැවෙන අයුරෙන් එදා දේවදත්ත ගිරවකු වෙලා උපන්
භවයෙහි සුළි සුළං පොදකට අසු වී හොර මුලක් වාසය කරන වාඩියකට හමු වී මේ ගිරවා ද එම
පරිසරයෙහි හැදී වැඩී පාපකාරි සතකු බවට පත් වුණා. එවගේ ම තමා බෝසත් ගිරා පැටවා, ඒ
සුළඟ නිසා ම අවිහිංසක සත්පුරුෂ තාපසයන් ලැගුම් ගත් අසපුවකට වැටී එහි හැදි වැඩී
දැහැමි දිවි පෙවෙතක් ගතකිරීමේ භාග්‍යය උදා කර ගත්තා. |