Print this Article


ජාතික ආගමික මෙහෙවරට ජීවය දුන් හීනටියන ශ්‍රී ධම්මාලෝක මහ නාහිමි

ජාතික ආගමික මෙහෙවරට ජීවය දුන් හීනටියන ශ්‍රී ධම්මාලෝක මහ නාහිමි

හීනටියන මා හිමිපාණන් වහන්සේ එකල ජාතික ව්‍යාපාරයන් හි ප්‍රමුඛතාව ගෙන ක්‍රියා කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර, සර්. ඩී. බී. ජයතිලක, මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි ජාතික වීරයින් සමඟ කටයුතු කළ සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ඒ කටයුතුවලට නායකත්වය දුන් මහ තෙර නමකි.

උන්වහන්සේ ළමා නිවාස, වැඩිහිටි නිවාස, බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ කටයුතුවලදී පුරෝගාමී ව කටයුතු කරන ලදි. හීනටියන පොත්ගුල් විහාරස්ථානයේ දී එවක ළමා නිවාසයක් පවත්වා ගෙන ගොස් ඇත.

හීනටියන ශ්‍රී ධම්මාලෝක මහා විද්‍යාලය ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වන අතර, එය අද වන විට ඉතා දියුණු මට්ටමක පවතී.

දෙවැනි ලෝක යුද සමයේ කොළඹ පැවති බෞද්ධ පාසලක් වන නාලන්දා මහා විද්‍යාලය මිනුවන්ගොඩ නගරයට ගෙනැවිත් ස්ථාපිත කිරීමේ දී ජාතික නායකයින් සමඟ කටයුතු කළ නා හිමිපාණෝ ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. යුද්ධය අවසන් වීමෙන් පසු නැවත එම විද්‍යාලය කොළඹට ගෙන ගිය අතර, එහි ශාඛාවක් මිනුවන්ගොඩ නගරයේ පවත්වා ගැනීම සඳහා කටයුතු සිදු කරනු ලැබුවේ හීනටියන මහ නා හිමිපාණෝ ය. නාලන්දා පිරිමි හා නාලන්දා බාලිකා පාසල් ලෙස දැනට ඒවා පවත්වාගෙන යනු ලැබේ.

දැන උගත් ධර්මධර ධම්මප්‍රචාරක කටයුතුවලට සුදුසු භික්ෂු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් 1969 ජුනි මස 25 වැනි දින හීනටියන පොත්ගුල් විහාරස්ථානයේ ශ්‍රී ලක්ෂ්මී ධර්මදූත පිරිවෙන උන්වහන්සේ ආරම්භ කළහ. එදා සිට මේ දක්වා දැන උගත් දෙස් - විදෙස් ධර්ම ප්‍රචාරක භික්ෂු පිරිසක් බිහි කොට ඇත.

ලංකාවේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයේ පුරෝගාමී තෙරුන් වහන්සේ නමක් ලෙස හීනටියන නා හිමියෝ ක්‍රියා කළහ. අපරාධ මර්දන ව්‍යාපාරය, අමද්‍යප ව්‍යාපාරය, මැලේරියා මර්දන ව්‍යාපාරය වැනි සමාජ සේවා කටයුතුවල නියැළුණහ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ඉල්ලීම පරිදි දඹදිව ධර්ම ප්‍රචාරක කටයුතුවල ප්‍රධානත්වය උසුලන ලද්දේ හීනටියන මහ නා හිමියන් ය. අනගාරික ධර්මපාලතුමන්ගේ ආරාධනයෙන් සාමණේර භික්ෂූහු 10 නමක් පමණ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා දඹදිව බලා වැඩම කළහ. ඒ අතර ශාන්ති නිකේතනයේ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ආභාසය ලබමින් උන්වහන්සේ තුලනාත්මක දර්ශනය පිළිබඳ දැනුමක් ලබා ගත්හ. මීට අමතර ව මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන්ගේ සහයෝගය ද ඇති ව බටහිර යුරෝපයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණහ.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන් වහන්සේගෙන් අනතුරුව කොළඹ නාලන්දා මහ, විද්‍යාලයේ ධර්මාචාර්යයන් වහන්සේ ලෙස ද හීනටියන ශ්‍රී ධම්මාලෝක මහ නා හිමිපාණන් වහන්සේ කටයුතු කළහ. තවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංඝාරාමය භාර ස්වාමීන් වහන්සේ වූහ. විචිත්‍ර ගුවන් විදුලි ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස දෙස් -විදෙස් බොහෝ දෙනාගේ කීර්තියට පත්ව ඇත.

අමරපුර මහා නිකායේ මහනායක ධුරන්ධර හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමියන්ගේ 125 වැනි ජන්ම දින ගුණ සමරුව පසුගිය සැප්තැම්බර් මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිති කරගෙන හීනටියන පොත්ගුල් මහා විහාරස්ථානයේ පින්කම් මාලාවක් විහාරාධිපති ශාස්ත්‍රපති හීනටියන

ධම්මදස්සි අධිකරණ සංඝනායක නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කරන ලදී. එදින සඟසතු දානමය පින්කම මාදම්පාගම අස්සජි තිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මීට අමතරව මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය හා ආදි ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයේ ආදි කර්තෘන් ගුණ සමරුවක් සංවිධානය කොට තිබිණි.

ඊට සමගාමී ව මිනුවන්ගොඩ මූලික රෝහලට උපකරණ පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි. හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමියන්ගේ උදාර සමාජ මෙහෙවර මාතෘකා කොටගෙන රචනා තරගයක් පවත්වා ඉන් ජයග්‍රහණය ලැබූ සිසු දරුවන්ට ත්‍යාග පිරිනැමීම ද එහිදී සිදු කෙරිණි.