Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 32 කොටස: වේදනාව සිදුවීමක් පමණි එහි බැඳෙන්න එපා

සුවපත් මනසක් සුවබර දිවියක් - 32 කොටස:

වේදනාව සිදුවීමක් පමණි එහි බැඳෙන්න එපා

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

මෙපමණ වේලාවක් අප දවල් සිහින දකිමින් සිටි බව තේරුම් යන්නේ මෙම මොහොතේදීය. එවිට සිද්ධිදාමයේ ඔබ ප්‍රමාද වී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. එය හරියටම පැන යන සිංහයාගේ වලිගයෙන් අල්ලා ගැනීමට තැත් කිරීමක් වැනි අදක්ෂ උත්සාහයකි. දරුණු මෘගයෙක් සමඟ මුහුණට මුහුණලා හමුවෙන්නාක් මෙන් අප බාධාවන්ට ඍජුවම මුහුණ දිය යුතුයි. උඩුසිතේ වඩා ගැඹුරු මට්ටමේ සිට නැගී එන අවස්ථාවේදීම ඒවා හඳුනාගැනීමට අපි ඉවසීමෙන් යුතුව ඉගෙන ගනිමු.

මුලින් ම යටිසිතේ (අවිඥානයේ) හටගන්නා මෙම මානසික තත්ත්වයන් අල්ලාගැනීමට නම් ඔබගේ එළැඹි සිහිය අවිඥාන කලාපය දක්වා වර්ධනය කරගන්න. මනසේ විඥාන කොටසේ හටගන්නා දේ දකින අන්දමට අවිඥානය දැකිය නොහැකි බැවින් එය අසීරු කටයුත්තකි. නමුත් මානසික ස්පර්ශ කිරීමක් මෙන් අපැහැදිලි චලනයක් ලබා ගැනීමට ඔබට ඉගෙන ගැනීමට පුළුවන. පුහුණුවෙන් දියුණු කරගන්නා මෙම හැකියාව ගැඹුරු සමාධියේ ප්‍රතිඵලයකි. චිත්ත ස්වභාවයන්ගේ හැඟීම්වල වේගය බාල කරන චිත්ත ඒකාග්‍රතාවය යටිසිතේ නැඟෙන සෑම දෙයක්ම උඩුසිතට ඒමට පෙර දැන ගැනීමට ඔබට ඉඩ සලසා දෙයි. සිතිවිලි හා සංවේදනා උපදින අන්ධකාර ආගාධය දක්වා සිහිය පුළුල් කිරීමට සමාධිය ඔබට උපකාරී වෙයි. සමාධිය ගැඹුරු වන විට එකිනෙක වෙන්කර හඳුනාගැනීමට බුබුළු මෙන් සිතිවිලි හා සංවේදනා සෙමෙන් නැඟී එනු දැක ගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත. අවිඥානයේ සිට ඒවා සෙමෙන් බුබුළු නංවා මතුවී එයි. විඥානයේ මඳකට නැවතී සිට, පසුව ඒවා ඉවතට පාවී යනු ඇත.

සිහිය මානසික ස්වභාවයන් සඳහා භාවිතා කිරීම සියුම් ක්‍රියාවලියකි. හැඟීම් හෝ සංවේදනා සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සත්‍ය වේ. එනම් එහි තිබෙනවාට වඩා යමක් එයට එකතු කිරීමයි. වඩා පහසුවෙන් පවතින ප්‍රමාණයට අඩුවෙන් එයින් කොටසක් අත්දැකීම මිස මුළුමනින් ම අත්දැකීම නොවේ. ඔබ වෙහෙසෙන්නේ අඩු හෝ වැඩි නැති ව පවතින දෙය ඒ ආකාරයෙන් ම අත්දැකීමට යි. උදාහරණයක් ලෙස පාදයක වේදනාවක් සලකමු. සැබැවින්ම එහි තිබෙන්නේ ගලායන සංවේදනාවකි. නිරතුරුව වෙනස්වන එය කිසිම මොහොතක පෙර පැවති මොහොතට සමාන නැත. තැනින් තැනට ගමන් කරන අතර එහි තීව්‍රතාවය අඩු වැඩි වෙයි. වේදනාව ද්‍රව්‍යයක් නොවේ. එය සිදුවීමකි. ඒ හා බැඳුණු හෝ සම්බන්ධ හෝ කරන කිසිදු සංකල්පයක් තිබිය යුතු නැත. මෙම සිද්ධිය පිළිබඳ ව නොබිඳුණු නිර්මල දැනීම විසින්, එය හුදෙක්ම සරල ගලායන ශක්ති ධාරාවක් මිස වෙන කිසිවක් නොවන බව අත්දකියි. සිතිවිලි නැති විට ප්‍රතික්ෂේප කිරීමක් ද නැත. එය හුදු ශක්තිය පමණකි.

භාවනා පුහුණුවේ මුල් අවදියේ දී ම සංකල්ප නිර්මාණයට පාදකවන අපගේ උපකල්පන පිළිබඳ ව නැවත වරක් සිතා බැලීම වටී. අපගේ ජීවිත කාලයේ දී මානසික සංසිද්ධීන්, සංකල්ප අපට අවශ්‍ය කරන ආකරයට හසුරුවා ගැනීම සම්බන්ධයෙන් අප බොහෝ දෙනකු පාසල් කාලයේ දී දක්ෂකම් දක්වා තිබේ. අපගේ රැකියාවන්, එදිනෙදා ජීවිතයේ සාර්ථක බව, ප්‍රීතිමත් සම්බන්ධතා බොහෝවිට සංකල්ප හසුරුවා ගැනීමට අපගේ ඇති දක්ෂතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස ගත හැක. කෙසේ වෙතත් සිහිය එළඹවා ගැනීමේ දී මෙම සංකල්ප නිර්මාණය තාවකාලික ව නවත්වන අපි මානසික සංසිද්ධීන් ගේ ශුද්ධ ස්වභාවය දෙසම අවධානය මුළුමනින් ම යොමු කරමු. සංකල්ප ගොඩනැඟීමට පෙර පවතින මනස අත්දැකීමට, භාවනාවේ දී අපි ප්‍රයත්න දරමු.

නමුත්, එවන් සිදුවීම් මිනිස් සිත විසින් වේදනා ලෙස අර්ථ දක්වනු ලබයි. ඔබ එය “වේදනාව“ කියා සිතයි. එය සංකල්පයකි. එය ලේබලයකි. සංවේදනාවට තවත් යමක් එකතු කිරීමකි. එය වටා මානසික රූපයක් ගොඩනංවන ඔබ වේදනාවේ පින්තූරයක් හා හැඩයක් දකිනු ඇත. වේදනාව සහිත පාදයේ පින්තූරයක් සුන්දර වර්ණයකින් අලංකාර කොට තිබෙනු ඔබ දකියි. මෙය ඉතා නිර්මාණශීලී හා විනෝදජනක ක්‍රියාවක් වුව ද අපට අවශ්‍ය එය නොවේ. මේවා ජීවිතයේ යථාර්ථයට මූට්ටු කළ සංකල්පයන් ය. බොහෝ විට ඔබට මෙසේ සිතෙනු ඇත. “මගේ පාදයේ වේදනාවක් ඇත.” “මගේ “ යනු සංකල්පයකි. එය ශුද්ධ අත්දැකීමට වැඩිපුර යමක් එක්කාසු කිරීමකි.

“මම” යන්න මෙම ක්‍රියාවලියට හඳුන්වා දුන් කල ඔබ යථාර්ථය හා යථාර්ථය දකින සිහිය අතර මානසික හිඩැසක් නිර්මාණය කරයි. මා, මගේ හා මම යන සිතිවිලිවලට ඍජු දැනීම තුළ ඉඩක් නැත. ඒවා අවස්ථාවට ද්‍රෝහිවන පිටස්තර, අතිරේක ද්‍රව්‍යයන් ය.

“මම” යන්න ක්‍රියාවලිය තුළට රැගෙන එන ඔබ වේදනාව බාර ගනියි. එය හුදෙක් ම අවධාරණය කිරීමකි. “මම” යන්න මෙහෙයුමෙන් ඉවත් කළ විට තවදුරටත් වේදනාව වේදනාත්මක නොවේ. එය ඉස්මතුවී එන ශක්ති ධාරාවක් පමණි. එය සුන්දර අත්දැකීමක් වීමට වුව ද පුළුවන. “මම” යන්න ක්‍රමයෙන් එය විසින් ම ඔබගේ අත්දැකීම තුළට කාවදින බව ඔබට හැඟෙයි නම් එය හුදෙක් ම සිහියෙන් දකින්න. වේදනාව සමඟ එකතු වූ පෞද්ගලික සම්බන්ධතාව ය දෙසට පූර්ණ අවධානය යොමු කරන්න.

කෙසේ වෙතත්, මෙහි සමස්ත අදහස ඉතා සරල ය. නීරස වූ හෝ ආනන්දජනක වූ හෝ වේදනා සහගත වූ හෝ සෑම සංවේදනයක් ම නියම ස්වරූපයෙන් දැකීමට ඔබට අවශ්‍යයි. දූෂණය නොවූ, නියම ස්වභාවයෙන් එය පූරණ වශයෙන් අත්දැකීමට ඔබට උවමනා ය. එසේ කළ හැකි එකම ක්‍රමයක් පමණක් ඇත. මෙහිදි කාලය ඉතා නිරවද්‍යව විය යුතුයි. සංවේදනයක් නැගෙන විටම ඔබගේ අවදිමත් භාවය ද ඊට අනුරූපව ක්‍රියාකළ යුතුයි. එය හසුකර ගැනීම මඳක් හෝ ප්‍රමාද වූ විට ඔබට එහි ආරම්භය මඟහැරෙනු ඇත. එය සම්පූර්ණයෙන් ම ඔබට නොලැබෙයි. සංවේදනය ඉවත්ව ගිය පසුව ද ඒ මත රැඳී සිටින ඔබ කරන්නේ මතකයක් අල්ලා ගැනීමකි. පහව ගිය සංවේදනයක මතකය සමඟ රැඳී සිටින ඔබට ඊළගට පැමිණෙන සංවේදනයේ ඇරඹුම මඟ හැරෙනු ඇත. එය ඉතා සියුම් වූ මෙහෙයුමකි. කිසිම ප්‍රමාදයකින් තොරව, දේවල් අහුලා ගනිමින් හා දේවල් අත්හැර දමමින් මේ මොහොත හරහා ගමනක යෙදීමට ඔබට සිදුවේ. එයට අවශ්‍ය ඉතා සැහැල්ලු ස්පර්ශ කිරීමකි.