Print this Article


නොබිඳෙන-නොසැලෙන පින්කෙත

නොබිඳෙන - නොසැලෙන පින්කෙත

මනුලොව උපන් අප අතර විවිධ වස්ත්‍රාභරණයෙන් සැරසීම පවතී. ගිහි ජීවිතය දෙස බලන විට ධනය ලැබෙන්නට, ලැබෙන්නට ජීවිතය නොයෙක් වස්ත්‍රයෙන් පිරී යයි. විවිධ තැන්වලට, විවිධ අවස්ථාවලට සුදුසු ලෙස විවිධ වස්තු - ආභරණ වෙන් කරගෙන සැරසීම ගිහිගෙයි ස්වභාවය යි. එහි වරදක් ද නැත. හැඩවැඩ වී සිටීම අන් අයට පි‍්‍රයමනාප නොවැ.

නමුදු මේ සාමාන්‍ය ලෝකයෙන් වෙනස් වන අද්භූත වස්ත්‍රයක් ලොව ඇත්තේ ය. එය වනාහි චීවරය යි. මේ ගෞතම ශාසනයේ ප්‍රථම චීවරය ලද අප මහා බෝසතාණන් වහන්සේ එය ඝටීකාර බ්‍රහ්මරාජයාගෙන් ම ලැබූ සේක. සඟ පරපුරේ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒහි භික්ඛු පැවිද්ද ලැබීම නිසා සඟ පරපුර ලද ප්‍රථම චීවරය බුද්ධ සෘද්ධියෙන් ම ලද්දේ ය. එනම්,

“පින්වත් භික්ෂුව, මෙහි එන්න. මේ මනාව දෙසූ දහම් ඇති සාර සසුනට විත් සියලු දුක් කෙළවර කරන්නැ” යි සම්බුදු මුව මඬලින් නිකුත්වන සුභාෂිතය සමඟම සෘද්ධියෙන් කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ කයට සිවුරු පෙරවී ගියේයැ. පාත්‍රා අතැති වීයේ යැ. මනා ශ්‍රමණ රුව ලැබීයේ යැ. මතු බිහි වූ සඟ පරපුර සොහොනේ හෝ මහ මඟ දැමූ අයිතිකරුවන් නොමැති පාංශුකූල වස්ත්‍ර එක්කොට මගධ කෙත් යාය සේ මැඬිලි සහිත ව මැසූ චීවරය දරා ගත්තාහුය.

මතු ගිහියන් විසින් පුදන ලද චීවරය ද ලද්දාහු, කිනම් චීවරය වුව එහි අරථය සලකා, නොඇලුණු සිතින්, ආදීනව දකින සිතින්ම, හුදෙක් බඹසර ජීවිතයට පිටිවහලක් ලෙස චීවරය දැරුවාහුය. අහෝ සැරසීම පිණිස ගිහි වස්ත්‍ර දැරූ කෙනකුට පැවිදි ව අර්ථ සලකා යම් වස්ත්‍රයක් පොරවයි ද, එහි ලා සැරසීමක් නො පතයි ද හිරිඔතප් සංවරයත්, ශීතෝෂ්ණ නපුරු සත්ව පහසාදී අනතුරු දුරු කිරීම පමණක් ම සලකා, අනිත්‍ය බව සලකමින් යළි යළි ඉරුණු තැන් මසමින් පරිභෝග කරත් යන මෙය ආශ්චර්යයක් නොවේ ද?

‘යමෙක් ගිහි ව සිට අරහත්වයට පත් වෙයි ද, ඔහු හට ස්ථිර ව ඇත්තේ ඉරණම් දෙකකි. අනිකක් නැත්තේ ය. එනම් ඒ රහත් වූ දවසේ ම හේ පැවිදි විය යුත්තේ ය. නැතිනම් පිරිනිවන් පෑ යුත්තේ ය. ඒ ගිහි රහත් තෙමේ එම ගිහි වේශයෙන් දවසක් ඉක්ම යන්නට නොහැක්කේ ය’ යන කරුණ අරභයා මිලිඳු රජු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නාගසේන හිමියන් මෙසේ පැවසුවාහු.

“මහරජාණෙනි, ගිහි වේශය යනු විෂම දෙයකි. විෂම වූ එම ගිහි වේශයෙහි ඇති, එම ගිහි වේශයට අයත් දුර්වලතා නිසාවෙන් අරහත්වයට පත් ගිහි තෙමේ ඒ දවසෙහි ම පැවිදි විය යුතු වෙයි. නැතහොත් පිරිනිවන් පාන්නේ ම ය. මහරජාණෙනි, මෙය රහත් බවෙහි ඇති දෝෂයක් නම් නොවෙයි. ගිහි වේශයෙහි ම ඇති දෝෂයකි. එනම් මේ ගිහි වේශයෙහි ඇති දුර්වලත්වය යි.”

එනම් චීවරය වනාහි අරහත්වය සාක්ෂාත් කළ, නිකෙලෙස් වූ, අවසන් සිරුර දරන මුනිවරයන් වහන්සේ දවසකට මත්තෙහි ජීවත් කරවීමෙහි ලා සමර්ථ එකම ප්‍රාණ වායුව බඳු උතුම් පැවිදි බව පිණිස ම වූ ලොව අග්‍රතම වස්ත්‍රය යි. සසර දුක ජයගත් මුනිවරුන්ගේ ජය සංකේතය මේ අරහත් ධජය යි. අරහත්වයට පත් වූ ඒ උත්තමයාණෝ ඉදින් පැවිදිබිමට පත්ව චීවරය දරන්නෝ නම්, ආයුෂ ඇතිතාක් මනු ලෝ සතට සෙත සදා ලොව පින්කෙතක් ව, ලොවට අමෘතය දන් දෙන දන්සලක් ව, දෙව් බඹුන්ගේ වන්දනාව මැද වැඩසිටිනු ඇත. ආශ්චර්යය යි. අද්භූත යි.

හිස රැවුල් මුඩුකොට ගිහි වස්ත්‍රාභරණ හැර දමා මෙසේ කාසාය වස්ත්‍ර දැරීමක් මේ මනුලොව හැර දෙව් බඹ ලොවකවත් නැත්තේ ම ය. එක් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ඒකාලෝක වන, මුළු දස සහස් ශ්‍රී ලෝක ධාතුවට ම උත්තම චීවර දරන්නාහු මනුලොව උපන් ශාසනයට ඇතුළු වන පින්වත් කුල දරුවන් පමණක් ම වෙත්.

චීවර අතරින් ද මහත් ම බැබළීම සහිත පරම දුර්ලභ ආනුභාව සම්පන්න චීවරය නම් ද කඨින චීවරය යි.

1. පිරිසුදු උපසම්පදා සංඝයා විසින්

2. සමාදන් වූ පෙර වස් ඇතිව (එනම් ඇසළ පෝ දිනට පසුදා වස් වසා)

3.වස් නොබිඳ වසන සුපිළිපන් සංඝයා කඨිනය සිදු කිරීමට වරම් ලබත්. වස් තෙමස ඇවෑමෙන් වප් පොහෝ දින වස් පවාරණය කළ පසු කඨින චීවරය ලද සංඝයා සංඝ කර්මයකින් තෝරා ගත් භික්ෂුවකට කඨින චීවරය පුදනු ලබයි. අනෙක් භික්ෂූන් වහන්සේ ඒ කඨිනය එහිම අනුමෝදන් වෙත්. එහිලා දහස් ගණන් සංඝයා වැඩ සිටින ආරාමයක වුව ද කඨින චීවර සකසන්නේ එකකි. කඨින චීවරය අන් චීවර සේ පුද්ගලික ව කිසියම් භික්ෂූන් වහන්සේ නමකට පිදිය නොහැක්කකි. පොදුවේ සංඝයා උදෙසා ගිහි පින්වතුන් විසින් පුදන කඨින චීවරයේ හිමිකම ලබන්නා තීරණය කිරීම සඟ සතු කටයුත්තකි.

මේ කඨින චීවරය කොතරම් ආනුභාව සම්පන්න ද යත්, කඨින පින්කමක දී පිදෙන අනෙකුත් සියලු චීවර, පිරිකර කඨිනය හිමි සඟරුවනට ම හිමි වේ. ඒ සියලු පිරිකර කඨිනයට අයත් ය. යටත් ය. එනම් කඨිනය පුදන එකම තැනැත්තා පමණක් නොව කඨිනයට සෙසු පිරිකරකින් හෝ වත පිළිවෙතකින් හෝ වෙන කිසියම් ක්‍රමයකින් හෝ සම්බන්ධ වන්නෝ ද, සාධු කියා සතුටින් අනුමෝදන් වන්නෝ ද ඒ සොඳුරු අග්‍ර පිනෙහි කොටස්කරුවෝ ය. කඨින පූජාවේ පින ලබන්නෝ ය. ඉදින් කඨිනයක පින සියල්ලෝ සොය සොයා සිත සිතා අනුමෝදන් විය යුතු ම ය. මන්ද යත් මේ දුර්ලභ කඨින චීවරය පිදිය හැක්කේ එක් සීමාවක එක් වසරකට එකක් පමණි. මේ පින බොහෝ දෙනා අතර පැතිරෙන්නේ උපකාර කිරීමෙන් හා අනුමෝදන් වීමෙනි.

කුමක් ද මේ වස් කාලය? අමා නිවන් බෙදාදීම සිය වගකීම කොට,

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය.....” ආදී බුදු වදන ගරු කොට වසර පුරා ගමින් ගමට චාරිකාවේ වැඩියාහුය ඒ සඟරුවන්. එහි ලා අන්‍යාගමිකයන් චෝදනා කරන්නට වී මේ ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයන්ට වැසි කාලයේවත් එක තැන වසනු බැරි කිමදැයි. ඉදින්, මහා කාරුණික සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙර බුද්ධ වංශය ද සලකා, අනාගත ශාසන අභිවෘද්ධිය සලකා වස් විසීමට අනුදැන වදාළ සේක. ඒ අනුව එදා පටන් ඇසළ පුන් පෝයට පසුදා පෙරවස් සමාදන් වීම හෝ එය මඟ හැරුණහොත් නිකිණි පුන් පොහෝ දිනට පසුවස් සමාදන් ව උපසම්පදා සංඝයා විසින් එක තැන වාසය කරනු ලබයි.

එවන් සංඝයාට වස් ආරධනා කිරීමේ භාග්‍යය ගිහි පින්වතුන්ට ද ලැබේ. වැසි කාලයට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ අතිරේක සිවුර වන වස්සාවාසික සාටක (වැසි සළු) පූජා කොට, වස් වැසීමට ආරාධනා කොට ඒ මාස තුන පුරාවට සිව්පසයෙන් අනුග්‍රහ කිරීමට බැඳෙන ගිහි පින්වත්හු ඒ කාලය මුළුල්ලේ සංඝයාගේ අවශ්‍යතා සොයා බලමින්, ගිලන් උපස්ථාන ආදිය නො පිරිහෙළමින්, දානමාන කැප සරුප් ලෙස පුදමින්, සංඝයා ඇසුරේ ධර්ම ශ්‍රවණයෙන්, වතපිළිවෙතින් සරු වී පේ වී උපස්ථාන කරමින් පින් කරත්. සඟරුවන ද මේ විවේකී කාලයේ ධර්ම මාර්ගයේ දියුණුව පිණිස ම වෙනදාටත් වඩා වැඩි අවධානයකින්, වීරියකින් පිළිවෙත් පුරත්.

මෙසේ (පෙර) වස් අවසන් කළ මහා සංඝයා වහන්සේ වප් පෝයට වස් පවාරණය සිදු කරයි. එනම්, සියලු සංඝයා රැස්ව වැඩිමහලු පිළිවෙළින් එකිනෙකාගෙන් මෙසේ විමසත්.

“පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මේ වස්සාන කාලය තුළ මාගේ සිත, කය, වචනයෙන් වරදක් අඩුපාඩුවක් වූ බවක් ඔබ වහන්සේ දුටුවේ නම්, ඇසුවේ නම්, සැකයක් උපන්නේ නම්, මට පවසන සේක්වා”යි නිවැරැදි වීමේ ආසාවෙන් ම විමසත්. මෙය ද බුදු සසුනක ඇති ආශ්චර්යයක් නොවේ ද? තම වරදක් අන් අය කියද්දී සිත රිදෙන ලෝකයේ, අමනාප වන ලෝකයේ, තරහෙන් ගුගුරන ලෝකයේ, මඟහැර මුසා දොඩන ලෝකයේ, අනෙකකු පාවා දී තමා මිදී පලා යන ලෝකයේ තම වරද කීමට අන් අයට පැවරීමත්, අවසරයක් නැති ව තවකකුට වැරැදි නොකීමත් කෙතරම් සොඳුරු අද්භූත ගුණයක් ද? කොතරම් පවිත්‍ර සංවරයක් ද? දමනයක් ද?

සියලු අකුසල් මැඩ කුසලයේ අග්‍රප්‍රාප්ත වූ ධර්මරාජයන් වහන්සේ ද තමන්ගේ දොස් දකිනු පිණිස සංඝයාට පවරන සේක. සියලු පව් ප්‍රහාණය කළ නිකෙලෙස් රහතන් වහන්සේ ද තමාගේත්, සංඝයාගේත් වැරැදි පෙන්වා දෙන ලෙස ශාස්තෘ වහන්සේට පවරන සේක. ඇතැම් විටෙක මගඵල නොගත් සඟ පිරිස් වස් වසත්. වස් අවසන රහත් මුනිවරුන් ලෙස වස් පවාරණය කරත්. සියලු සංඝයා නිකෙලෙස් ව කරන්නා වූ වස් පවාරණය විශුද්ධ පවාරණය යි. කෙතරම් පිවිතුරු නිර්මල සසුනක් ද?

මෙසේ වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ උදෙසා ය කඨින චීවර පූජාව සිදුවන්නේ. මේ බුදු සසුන ශික්ෂා පද පසකින් ඇරඹී අෂ්ටාංග උපෝසථ සිල්, නවාංග උපෝසථ සිල්, දසසිල් ලෙස ද චීවරය ලැබීමත් සමඟ සාමණේර සිල්, උපසම්පදා සිල් වශයෙන් සිල්පද වැඩෙමින් යන නමුදු මේ කඨින චීවරය ලබන උතුම් භික්ෂුව ශික්ෂාපද පහකින් ලිහිල් බව ලබත්.

කෝටියක් සංවර සිල් රකින සංඝයාගේ සිල්පද පහක් ලිහිල් කිරීමට හේතුවන මේ කඨින චීවරය පූජා කිරීමෙන් කිසිම හේතුවකින් නො සිඳෙන, නො නැසෙන, නිවන පිණිස පවතින මහා පිනක් රැස් වන්නේම ය.

රකින්නට සමාදන් වන ශික්ෂා පද අතරමඟින් ඡේදනය නොවී, මඟඵල ලබන්නට ඇති පින අසත්පුරුෂ ආශ්‍රය ආදියෙන්, ආනන්තරීය පාප, ආර්යෝපවාද ආදියෙන් ඛණ්ඩනය නොවී නිවන කරා ම යෑම පිණිස රැකවරණයක් ලබා දෙන පිනකි මේ.

ඒ සා බලවත් පිනක් බැවින් මේ පිනට බාධා ද අධික ම ය. සිත රැක ගැනීම දුෂ්කර ම වනු ඇත. නො සිතූ අර්බුද මතුවනු ඇත. එහෙත්, සියලු කරදර බාධා මැද රැස්කරත් නම් මේ සොඳුරු පින ඒ කරදර බාධා සහිත සසරින් ම ගැලවීම පිණිස, ඒ කරදර බාධා යළි හමු නොවීම පිණිස එය ආශීර්වාදයක් ම වනු ඇත. මේ පුණ්‍යකර්මයේ මිහි විපාක ලෙස මතු පිනක් නම් මඟ නොහැරෙනු ඇත. කුසල් දහම් මඟ නොහැරෙනු ඇත. උතුම් සත්පුරුෂ ආශ්‍රය මඟ නොහැරෙනු ඇත.

දුෂ්කර කාලයක, බලවත් කැපකිරීම් කොට, රැස්කරන මේ අග්‍ර පින් ඔබ අප සැමගේ සිත් අතරේ එක සේ සතුට පුරවා පැතිරේවා. හැමදෙනාට ම සුව සේ ම මේ දුක්පීඩා පිරි සසරින් අත්මිදෙන්නට ම කඨින මහා චීවරය නම් වූ අග්‍ර පූජ්‍ය වස්තුව උපකාර වේ මැයි....