Print this Article


නිවැරැදි බව නොදන්නා සිත වරදට පොළඹවයි

නිවැරැදි බව නොදන්නා සිත වරදට පොළඹවයි

සිත, සිතුවිලි, චේතනා, සිත පිහිටුවීම ආදියේ වෙනස ඉතා සියුම් නිසා මනා අවධානයකින් ඒ ධර්ම තත්ත්වයන් වටහා ගත යුතු ය. ගලා බස්නා ගංගාවක් මෙන් ද, දැල්වෙන පහන් දැල්ලක් මෙන් ද පවතින තත්ත්වයක් සිතේ පවතින නිසා කිසියම් ක්‍රියාවක මුල් සිත වෙන්කොට ගැනීම දුෂ්කර වනු ඇත. හේතුඵල වශයෙන් සලකා බලා මුල් සිත අල්ලා ගන්නට ගියොත් ව්‍යාකූල වන්නේ ය. නැතහොත් මුළා වන්නේ ය.

හේතුඵල වශයෙන් නොසලකා බලන්නට ගියහොත් වරදින්නේ ය. එහෙයින් දමනය අනුව සිත පිහිටුවීම ම සලකා බැලිය යුතු ය. සියලු ක්‍රියාවන් හෙවත් කර්මයන් මනෝපුබ්බංගමව සිදුවන බවත් කුසල හෝ අකුසල කර්මයන් බවට පත්වන්නේත් ‘සිතක්’ ම බවත්, චිත්තය වූ කලී ප්‍රවාහයක් මෙන් නොකඩවා ගලා බස්නා සන්තතියක් තුළ ම උපදින අවස්ථාවක් වන බවත්, එදා විවිධ චෛතසිකවලින් සම්මිශ්‍රණ වී පවතින බවත් සලකා, මනස දැකීමෙන් ම ‘පණහිත චිත්තය’ හෙවත් පිහිටු වූ සිත මෙයයි නිශ්චය කළ යුතු ය. මෙය පැහැදිලි වීමට නිදසුන් වශයෙන් බුදු දහමෙහි ප්‍රසිද්ධ සිද්ධි කිහිපයක් ගෙනහැර දැක්විය හැකි ය.

කලින් ලෞකික සෘද්ධි පවා ලබා සිටි දෙව්දත් තෙරුන් පසු කාලයෙහි කිසියම් විට සිත වරදවා පිහිටුවූ බැවින් පාපියෙක් වූ බව ප්‍රසිද්ධයි. මෙහි වරදවා තැබූ සිත කුමක්ද? වරදවා තැබුවේ කොයි අවස්ථාවේදී ද කියා සලකා බැලීම ප්‍රස්තුතය වටහා ගැනීමට උපකාර වන්නේ ය. අනුක්‍රමයෙන් බුදු සස්න ‘රාජ්‍යයක්’ මෙන් සංවිහිත වන විට අග්‍රශ්‍රාවකාදී තනතුරුවලින් සිව්වනක් පිරිසෙන් බබළන්නට පටන් ගත්තේ ය. සැරියුත් ආදී මහ තෙරුන් වහන්සේලා තනතුරු ලබත්ම ඥාතිවරයකු වූ ද, රජ කුමාරයකු වූ ද ව්‍යක්ත ජනපි‍්‍රය භික්ෂුවරයකු වූ ද දෙව්දත්ට කිසි තනතුරක් නුසුදුසු නිසා ම නොලැබුණේ ය. තමාට එවැන්නක් ලැබිය යුතු යැයි ද, එහෙත් නොලැබෙන බව ඒකාන්ත යැයි ද සිතූ දෙව්දත් බුදුන් වහන්සේ වෙත ගොස් සංඝ පාලනය තමාට පවරන ලෙස ඉල්ලා සිටියහ. ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ “ඔබ වැනි කෙළ තොල්ලෙකුට (බෙලාසකස්ස) තබා සැරියුත් තෙරුන්ටවත් සංඝ පාලනය භාර නොදෙන බව පැවැසූ විට බුදුරජාණන් වහන්සේට විරුද්ධ වී භික්ෂු භික්ෂුණීන් පමණක් නොව අජාසත් ආදී ගිහියන් ද පොළඹවාගෙන පක්ෂයක් තනාගෙන ක්‍රියා කළ ආකාරයත් බෞද්ධ ලෝකයෙහි ප්‍රසිද්ධයි. ශ්‍රමණ ධර්ම විරෝධී ‘බලකාමය’ ම මෙහි පාප සිතුවිල්ල වන අතර, එය ක්‍රියාත්මක කරනු සඳහා සිතාමතා ම බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ‘සංඝ පාලනය ඉල්ලා සිටීමට’ සනිටුහන් කරගෙන වරදවා සිත පිහිටුවීම් ‘පිළිසිඳ ගැනීම’ මෙන් ම ‘ඉල්ලා සිටීම’ බිහිවීම මෙන් ම සැලකිය යුත්තේ ය.

එතැන් පටන් කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ නැසීමට සිදුකළ සියලු කටයුතු පාපයෝ ය. අන්තිමට පිරිහී ගොස් තම වරද වැටහී සමාව ගැනීමට බුදුරජාණන් වහන්සේ වෙත යෑමට අදහස් කළ මොහොත දෙව්දත් ‘නිවැරැදි බවට පත්’ මොහොතයි. එතැන් පටන් ඔහු පාපියෙක් නොවේ. කලක් වැරැදි ලෙස ගිය ඔරලෝසුවේ වේලාව සාදා නැතහොත් නිවැරැදි කර තැබූ මොහොතේ පටන් හරියට වේලාව යන්නාක් මෙන්. ‘වරද පිළිගැනීම්’ පාපිෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨත්වයට යන ගුණයක් බව සැලකිය යුත්තේ ය.

අජාසත් කුමරු දෙව්දත් තෙරුන්ගේ පෙලඹවීම නිසා පියා වූ බිම්බිසාර රජු සිරකොට තබා මැර වූ බව ප්‍රසිද්ධයි. ම්ච්ජාපණීහිත චිත්තය ඔහු ද පාපියකු වීමට හේතු විය.

දෙව්දත් විසින් තමා බුදුන් නසා සංඝ පාලනය ගන්නා බවත්, අජාසත්ට පියා මරා රාජ්‍ය පාලනය ගන්නා ලෙසත් කළ නියමය නිසා පියා මැරූ බැවින් එහි වරදකරු දෙව්දත් තෙරුන් යැයි කිසිවකුට තර්ක කළ හැකි ය. එහෙත් එය එසේ නොවේ. එය ඇසූ පමණින් එය අජාසත්ට පාපයක් නොවේ. පාපය වූයේ එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමය. යම් මොහොතක අජාසත් කුමරු ‘ඔව්’ පියා මරමි තීරණය කරගත් මොහොත සිත වරදවා තැබූ මොහොතයි. එතැන් පටන් ඔහු පාපියෙක් විය.

කලකට පසු තමාට ද පුතකු උපන් බව ඇසූ කෙණෙහි ඇති වූ පුත්‍ර ස්නේහයෙන් තම සිත පරාවර්තනය වී පියාගේ ගුණ සිහිවීමේ පටන් ඔහු නිවැරැදි විය. පසුව ජීවක වෛද්‍ය ඇමැතිගේ මෙහෙයවීමෙන් බුදුරදුන් හමුව බණ අසා පැහැදී ශාසනික කටයුතු ද කොට පරලොව අපාගත විය.

කිසිවකු වරදවා සිත පිහිටුවන්නේ නොදැනීම නිසා ය. එනම් කුසල් හා අකුසල් නොදන්නා නිසා ය. කුසල් මේ මේ යැයි දන්නා අය වුව ද අකුසල් නිවැරැදි ව නොදන්නා නිසා වරදවා සිත පිහිටුවා පව් සිදු කර ගනිති. ගණිතය ඉගෙන ගන්නා ශිෂ්‍යයා අභ්‍යාස ගණන් කීපයක් සාදා ගෙනැවිත් ගුරුවරයාට පෙන් වූ විට එයින් කීපයක් හෝ සියල්ලම හෝ වැරැදි විය හැකි ය. එහෙත් ඔහු ඒවා සාදාගෙන ආවේ සියල්ල හරි ඇතැයි සිතාගෙන විය හැකි ය. එහෙත් වැරැදි ඇත. ගුරුවරයා පෙන්වා දෙන විට ඔහුට ද එය වැරැදි බව පෙනෙන්නට හැකි ය. එම ගණිත ක්‍රමය හොඳින් ඉගෙන දැනගත් පසු ඔහුගේ එම ගණන් නොවරදී. එමෙන් අකුසල් නිවැරැදි ව නොදන්නා නිසා වරදවා සිත පිහිටුවා බොහෝ දෙනා වරද්දා ගනිති. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ව මෙන්ම කුසලාකුසල කර්මය පිළිබඳව ද නොවරදවා සිත පිහිටුවා ඒවා සිදුකිරීම අවශ්‍ය වන්නේ ය.

මනාකොට නිවැරැදිව සිත පිහිටුවා සසර සැරිසරමින් ගෙන ගිය උතුම් ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන් බුදුන් බුදු වූ සේක. එම චිත්ත ප්‍රණීධියට “මනෝප්‍රණීධානය” යි ද “බෝධිචිත්තය” පිහිටුවීම යැයි ද කියනු ලැබේ. ලොව්තුරා සුවයෙන් සැනසී දුකින් මිදීමට මෙන්ම ලෞකික වශයෙන් දුක් කරදරවලින් මිදීමට ද මේ ධර්ම න්‍යාය හෙවත් සම්මාපණීහිත චිත්තය අතිශයින් උපයෝගී වන්නේ ය.

තවද අසාර දෙය සාර යැයි ද, සාර දෙය අසාර යැයි ද, සාවද්‍ය දෙය නිරවද්‍ය යැයි ද, නිරවද්‍ය දෙය සාවද්‍ය යැයි ද, අසුබ දෙය සුබ යැයි ද අනිත්‍ය දෙය නිත්‍ය යැයි ද, දුක්ඛ දෙය සුඛ යැයිද ගැනීම වරදවා ගැනීමක් හෙවත් වරදවා සිත පිහිටුවීමක් ලෙස වදාරා ඇත. එසේ සිත වරදවා පිහිටුවා ගෙන සිදු කරන සියලු කටයුතුවලින් තමාට වරදින්නේ ය. තමා ම රැවටෙන්නේ ය. නොවරදින මඟ එය නොවේ.

බුදු දහමෙහි ‘නොවරදින මඟ‘ වශයෙන් දෙසූ දහම් අතර ශ්‍රේෂ්ඨම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධයි. එසේම අබෞද්ධ විද්වත් ලෝකයාගේ ද ඉමහත් ගෞරවයට ලක්ව පවතින දහම් මඟකි. මේ වනාහි හුදෙක් ඤාණ මාර්ගයක් නොව ජීවන මාර්ගයක් ද වේ. නිවැරැදි ව සිතෙන් සිතන හැටි, නිවැරැදි ව කයින් කටයුතු කරන හැටි, නිවැරැදි ව වචනයෙන් කතා කරන හැටි මේ අංග අටෙන් ප්‍රකාශ වේ. ආර්යයෝ නම් සෝවාන් ආදී මඟපල පත් උතුමෝ ය. ඔවුන්ගේ පිළිවෙත හෙවත් ක්‍රියාමාර්ගය සම්මා දිට්ඨි ආදී අංග අටෙන් යුක්තයි. එහි අන්තය ඒකාන්ත වශයෙන් දුකින් මිදීමයි. නිවන් දැකීමයි. තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ ඒ සඳහා ම යොමු වී සිටිති. නැතහොත් සිටිය යුතු ය. එවිට ඊට නොවරදින මඟ වන්නේ යට කී අටඟි මඟම යි. පොත පත කියවීමෙන්, ඉගෙනීමෙන් සහ බණ ඇසීමෙන් මෙහි විස්තර වටහා ගත යුතු ය.

තවද බුදුරජාණන් වහන්සේ විසින් නොවරදින මඟ වශයෙන් ධර්ම පර්යාය හෙවත් ක්‍රම රාශියක් වදාරා ඇත. ඒ අනුව ක්‍රියා කළ සිතුම් පැතුම් තුළ නොවැරැදුණු උතුමන් පිළිබඳ ආදර්ශ ජාතක කතා වශයෙන් හා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා වශයෙන් සාහිත්‍යගත ව ඇත්තේ ය. මෙම කතා මාර්ගයෙන් දහම් කරුණු වටහා දීම බාල පරපුරට වඩාත්ම ඵලදායක වන්නේ ය.