සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ
විහාර මන්දිරය

මොරගල්ලේ අරියවිමල හිමි |
බේරුවල මොරගල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයේ ඉදිකළ පස් මහල් සංකස්සපුර සම්බුද්ධ
රාජමහා විහාර මන්දිරය අද වප්පුර පසළොස්වක පොහෝ දින සිදුකෙරෙන අමාවැස්ස පුණ්‍ය
මහෝත්සවයට සමගාමී ව මේ මස 13 දින සිට 26 දින පැවැත්වෙන ආගමික වැඩසටහන් රැසකින් දෙස්
විදෙස් මහා සඟරුවන වැඩමකර, සතර පේරුවේ දායකකාරකාදීන් එක්ව සම්බුදු සසුනට පූජා කිරීම
සිදු කෙරේ.
මොරගල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරය වසර එකසිය පනහකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන
ශ්‍රී ලංකාවේ දක්ෂිණ වෙරළ තීරයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයකි. ශ්‍රී ලංකා අමරපුර
මූලවංශික මහා නිකායේ අතිගරු මහානායක ධුරය දරමින් වැඩවිසූ මෙරට කීර්තිමත් සංඝ
පීතෘවරයාණන් වහන්සේ නමක් වු මොරගල්ලේ බුද්ධසිරි තිස්ස මහා නායක හිමිපාණන් විසින්
මෙම විහාරස්ථානය 1897 වසරේ දී ගොඩනැඟීමට කටයුතු කොට තිබේ.
අනතුරුව විහාරාධිපති හිමිවරුන් රැසක් යටතේ ක්‍රමයෙන් සංවර්ධනය වූ මොරගල්ල ශ්‍රී
බුද්ධසිරි මහා විහාරය වර්තමානයේ ඉතා රමණීය, බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර
ලෝක පූජිත බෞද්ධ කේන්ද්‍රස්ථානයකි.
වර්තමානයේ මෙම පුණ්‍ය භූමියේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා
අමරපුර මූල වංශික මහා නිකායේ කාරක සංඝ සභික, සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙන්
පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මොරගල්ලේ අරියවිමල හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට
අනුව චිත්තාකර්ශනීය විහාර කර්මාන්තයක් ලෙස “සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ විහාර
මන්දිරය” මෙම විහාරයන් තුළ ඉදිකිරීම හඳුන්වා දිය හැකි ය.
සම්බුද්ධ චරිතයේ සඳහන් සුවිශේෂී සිදුවීමක් වන “අප මහා තථාගතයන් වහන්සේ තව්තිසා
දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට ශ්‍රී සද්ධර්මය දේශනා කොට නැවත සංකස්සපුරයට
වැඩම කරනු ලැබූ අවස්ථාව“ ප්‍රතිමූර්තිමත් කරමින් මෙම පස් මහල් විහාර කර්මාන්තය
නිමවා ඇත. එසේම සාම්ප්‍රදායික මූර්ති, කැටයම්, සිතුවම් සහ නේක කලා ශිල්පයන්ගෙන්
අලංකෘත ව ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන්ගේ ආකර්ෂණය දිනාගන්නා පරිදි සංකස්සපුර ශ්‍රී
සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය නිර්මාණය කොට තිබේ.
- තුසිත කුමාර ද සිල්වා |