75 වැනි ජන්ම දිනය සමරන නිවුන්හැල්ලේ
ධම්මරක්ඛිත නාහිමි
ශාස්ත්‍රපති,
තඹවිට විමලවංස නාහිමි
සමනල කඳු පියසින් හමා එන සුළඟින් භෝභමාන වූ කුරුගඟ අද්දර සුන්දර මිටියාවතක රමණීය
අරණක් ඉදිකොට හුදී ජනයාට නිවන් දොරටු විවර කළ කුරුවිට බටතොට ආනන්ද ධම්ම
විහාරාධිපති, කුරුවිට ශාසනාරක්ෂක බල
මණ්ඩලයේ උපසභාපති, සිරි සුභූති දහම් පාසලේ
ප්‍රධානාචාර්ය, සද්ධර්ම කීර්ති ආනන්ද රේවතාභිධාන, සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශ්වයේ
කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක, විචිත්‍ර ධර්ම කථික නිවුන්හැල්ලේ ධම්ම රක්ඛිත
නාහිමියන් 2025 ඔක්තෝබර් දහතුන් වැනි දිනට හැත්තෑපස් වැනි වියට පා තැබූහ.
කෑගල්ලේ රුවන්වැල්ලේ නම් රමණීය නගරයට මායිම් ව දෙහිගම්පල් කෝරළයේ මෙගොඩ පත්තුවේ
ඉඹුලාන නිවුන්හැල්ලේ දී 1950 වප් මස දහතුන් වන සිකුරාදා පින්වත් පුත් කුමරෙක් මෙලොව
එළිය දුටුවේය. මවුපියන් වූයේ ඇම්.කේ. කරෝලිස් සිඤ්ඤෝ මහතා හා ඇම්.ඩී. ඇලිස් නෝනා
මහත්මියයි. වයස පහ ලැබීමත් සමඟ මේ දරුවා ඉඹුලාන විද්‍යාලයට ඇතුළත් විය.
1971 අගෝස්තු 6 වැනිදා ඉංගිරිය, බෝධිනාගල වන සෙනසුනේ දී ඔලබොඩුවේ ශ්‍රී රේවත
ධම්මකිත්ති නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස නිවුන් හැල්ලේ ධම්මරක්ඛිත නමින් පැවිදි
දිවියට ඇතුළත් විය. බෝධිනාගල වනසෙනසුනට අයත් හිනිදුම, ලුණුගල ආරණ්‍ය ලෙව්වන්දූව
මණ්ඩාගල විවේක සෙනසුන, පිළියන්දල විවේක සේනාසනය, අලුත්ගම ධර්ම ප්‍රදීප යෝගාශ්‍රමය
ආදී ස්ථානවල විටින් විට වැඩ වසමින් මුන්වහන්සේ බණ දහම් ප්‍රගුණ කළහ.
1978 ජූලි මස දහතුන් වන දින ඓතිහාසික මහනුවර අස්ගිරි මහා විහාරයේ දී උතුම්
උපසම්පදාව ලැබීය. උපසම්පදා වී ටික කලකින් පසු මිනිසුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත
උලල්ලාවිට, දෙයියාගල තම සොඳුරු අරණ වෙත වැඩම කරන්නට යෙදුණාහ. විචිත්‍ර දිය ධාරාවන්
හා ගල්ගෙවල්වලින් සලන්කෘත වූ මෙය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ ය. වසර
විස්සක් පමණ මෙහි වැඩ වාසය කරමින් සිටින කාලය තුළදී කුරුවිට බටතොට ලෙන නම්
ප්‍රසිද්ධ ව තිබුණු ස්ථානයෙහි ආගමික වතාවත් සිදු කරන්නට ගිහි පාලක මහත්මයකු විසින්
කරන ලද ආරාධනයට අනුව 1999 ජූලි මාසයේදී එහි වැඩම කරන්නට යෙදුණාහ. වසර පහක පමණ
කාලයක් එහි වැඩ වසමින් ජාතික, ආගමික, සාමාජික කර්තව්‍යයෙන් පමණක් නොව සුභූති නමින්
දහම් පාසලක් ද පවත්වාගෙන ගියහ.
ප්‍රදේශවාසී දායක පින්වතුන් හා අවට විහාරස්ථානවල නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් කුරුගඟ
අසල අලුතින් පන්සලක් ඉදි කරන්නට කටයුතු කළහ. ආනන්ද ධම්ම විහාරස්ථානය නමින් අලුත්
ස්ථානය නම් කරන ලදි.
වසර කිහිපයක් ගත වන විට ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් හා තවත් සියලු අංගයන් එකතු කර
ගැනීමට නාහිමියන්ට හැකි විය. සුභූති දහම් පාසලත් දිනෙන් දින ප්‍රදේශයේ ජනප්‍රිය
දහම් ආයතනයක් බවට පත් වූයේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ උත්සාහය නිසයි.
ගැඹුරු ධර්මය සරල ව පහදා දීමේ හැකියාව සහජයෙන්ම අප ලොකු හාමුදුරුවන් වහන්සේ සතුවිය.
දක්ෂ වූ ධර්මධර විනයධර තෙරපාණන් වහන්සේ නමක් වූ මුන් වහන්සේ කුරුවිට, එරත්න බටතොට
ආදී ප්‍රදේශවල විහාරස්ථානවලට පමණක් නොව ජනී ජනයාට නැතිව බැරි හාමුදුරුවන් වහන්සේ
නමක් විය. උන්වහන්සේගේ ජාතික, ආගමික, සාමාජික සේවාවන් පිළිබඳ සතුටට පත්වූ සියම් මහා
නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක, අනුනායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ සංඝ සභාව
කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට තීරණය කළේය. ඒ අනුව සද්ධර්ම
කීර්ති ශ්‍රී ආනන්ද රේවතාභිධාන යන ගෞරව නාමය සහිත එම පදවිය 2017 වර්ෂයේ දි පිරිනමන
ලදී. උන්වහන්සේ විසින් කරන ලද ජාතික, ආගමික, සාමාජික කර්තව්‍යයන්ට ඇගයීමක් ලෙස
උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස හා සුභූති දහම් පාසල දායක පිරිස විසින් කඨින පින්කමට
සමගාමීව මෙම ආශීර්වාද පින්කම 2025 ඔක්තෝබර් 11, 12, 13 යන දිනයන්හි පරිත්‍රාණ ධර්ම
දේශනා, බෝධි පූජා හා සඟ සතු මහා දානමය පින්කම් සිදු කෙරිණි. තෛ‍්‍රනිකායික නායක
අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ කොටගත් මහ සඟරුවන හැටනමක් විෂයයෙහි සඟ සතු දානය
දොළොස්වන දින දහවල් සිදු කෙරිණි. මෙම පුණ්‍ය මහිමයෙන් නාහිමියන් හට චිරාත් කාලයක්
සසුන් කෙත අස්වද්දන්නට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා! |